දන් දුන්නොත් ලැබෙන්නේ මෙහෙමයි

1730
දන්
දන්

දුන් දේ සුවඳයි. නුදුන් දේ ගඳයි කියා කියමනක්‌ද අපි අතර තිබේ. එහි අර්ථය ලෝක ධර්මතාවයට අනුව සත්‍යයකි. අපි හැමෝම මිනිස්‌ කුලයේ උන්නෝ වෙමු. මිනිස්‌ කුලයට පැමිණීම ද ඉතාමත් ම දුෂ්කර දෙයකි. දන් දීමෙන් ආයු – වර්ණ – සැප – බල – ප්‍රඥා යන ලෞකික පංච සමාපත්තිය ලැබෙයි. එහෙම දන් දී ඒ සියල්ලට හිමිකම් කියන අය බ්‍රහ්ම — දේව – මිනිස්‌ යන මේ කුල තුනෙන් එකක උපදී.

බ්‍රහ්ම – දේව – යන කුලවල ඉපදීමට දන් දීමෙන් පමණක්‌ ම හැකියාවක්‌ නැත. විශේෂයෙන් ම බ්‍රහ්ම කුලය එයට විශේෂ වෙයි. සිත දමනය කර සත්‍යාවබෝධය ඇති කරන්නට සත්‍ය ලෙස සීලයෙහි යෙදෙමින් ද, සමථ විදර්ශනා වැනි භාවනා තුළින් ද මනා කොට සිත දමනය කළ ඇත්තෝ බ්‍රහ්ම හෙවත් බඹලොව උපදී. මහ දන් පවත්වා ශීල සමාධියෙන් ද යම් පමණකට සිත තැනූ ඇත්තෝ ඉහළ දේව තලවල උපදී. දන් දීම තුළ උපදවාගත් පංච සමාපත්ති ඇත්තෝ පහළ දෙව් ලොව තුළ උපදී. දන් දීමෙන් ද සාමාන්‍ය ලෙස සත්‍ය අවබෝධ කළ ලෞකික සැපයට ඇලුම් කළ ඇත්තෝ මිනිස්‌ කුලයේ උපදී.

මෙහිදී අප කතා කරන්නේ මිනිස්‌ කුලය පිළිබඳවයි. සමාජය දෙස බලන විට ලෞකික සැප සම්පත් අතින් ඔවුන් විවිධය. ඇතැම් අය ඉහළය. තවත් අය මධ්‍යම වශයෙනි. තවත් අය සාමාන්‍ය මට්‌ටමෙනි. තවත් අය එයටත් පහළය. මෙලෙස වාර්ගීකරණයක්‌ සිදුවන්නේ ඔවුන් දන් දී ඇති ප්‍රමාණයට ය. සිත සම්මා දෘෂ්ඨයට පත් කරගත් ප්‍රමාණයට ය. මේ තත්ත්වය කේන්ද්‍රයක 9 වන භාවාධිපතිගේ පිහිටීම 9 වැන්නේ පිහිටීම – ලග්නාධිපතිගේ පිහිටීම – 04 වැන්න 10 වැන්න 02 වැන්න මෙන්ම ශුක්‍ර ගුරු ආදී ග්‍රහයන්ගේ පිහිටීම් අනුව කෙනෙකුගේ ලෞකික පංච සමාපත්තිය පිළිබිඹු කරයි.

දන්

මිනිස්‌ ආත්ම භාවය

මිනිස්‌ කුලයට හෙවත් ආත්ම භාවයට පැමිණීමට සුළුවෙන් එම පිං බලය ගොඩනගා ගැනීමෙන් පුළුවන්කමක්‌ නැත. දානය සම්බන්ධයෙන් මනා ලෙස නිවැරැදි ලෙස අවබෝධයක්‌ ලබා ගත යුතුය. දානයේ ඵල හීනවන අවස්‌ථාද පවතී. විශේෂයෙන් මිනිස්‌ භවයක්‌ ලැබීම අති දුෂ්කර දෙයක්‌ බව බුද්ධ දේශනාවේ වෙයි. මිනිසුන් ලෙස ඉපිද රජවරු, මැතිවරු, සිටුවරු, දුප්පතුන් ලෙස විවිධ දේවලට විශේෂඥයන් ලෙස කොපමණ කටයුතු කළත් ඔවුන් ඊළඟ භවයේ මනුෂ්‍යයන් වී ඉපදේද යන්න සැක සහිතය. ඊළඟ භවයෙත් අපි මුණ ගැසෙමු කියා යම් අය ප්‍රාර්ථනා කළත් එය ඉටුවේද යළි මිනිසුන් වී ඉපදේද යන්න මේ බුද්ධ වචනයෙන් අවබෝධ කරන්න.

දිනක්‌ බුදුන් වහන්සේ ශ්‍රී හස්‌තයේ මහපටඟිල්ලේ නියපොත්ත මත වැලි ටිකක්‌ තබා මහණෙනි මහපොළවේ පස්‌ ද මේ නියපොත්තේ ඇති පස්‌ ද වැඩිපුර ඇත්තේ යෑයි විචාළ සේක. එවිට භික්‍ෂුන් වහන්සේලා විවිධ උපහැරණ දක්‌වා මහපොළවේ පස්‌ වැඩි බව පැවසූහ. එය උපමා කොට බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක.

මහණෙනි, මිනිසුන් සමඟ අනෙකුත් අවශේෂ සත්ත්වයෝ සමඟ මේ මහ පොළොවේ වෙසෙන සත්ත්වයෝ එපමණටම සිටින්නේය. මනුෂ්‍ය භවයකට මේ අතරින් එන්නෝ මේ නියපිට ඇති පස්‌ තරමට ස්‌වල්ප දෙනෙකි යනුවෙන් වදාළහ. දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදී භාවයකට පත්වීම දුෂ්කර දෙයක්‌ වන අතර, එසේ ඉපදීමට හෝ නිවන් ලැබීම පිණිස හෝ අත්‍යාවශ්‍ය වන ප්‍රධාන දේවල් අතරින් එකක්‌ වන්නේ දන් දීමය. සෙසු කරුණු දෙක ශීලය හා භාවනාවයි.

දානය හෙවත් දීම

එබැවින් අපගේ මාර්තෘකාව වන දානය හෙවත් දීම පිළිබඳ කරුණු විමසා බලමු. දීම ඇත්තටම තමන්ට බොහෝ දේ ලැබීමට කරන ආයෝජනයකි. මහා ව්‍යාපාරිකයෝ පෙර භවයේ මහත් සේ දන් දුන් අයයි. එබැවින් මෙලොව ලෞකික සැප සම්පත් ලැබීම පිණිස මෙලොවෙත් එක්‌තරා දීමක්‌කරයි. එම ‘දීම’ සකස්‌ වූයේ පෙර භවයේ දුන් දන් වලිනි. මෙලොව සැප විහරණය පතා කරන ඒ දීම යම් යම් දේවලට මුදල් යොදවා මුදල් ඉපයීම වෙයි.

තවත් සමහර අයට ඉඩකඩම් යාන වාහන වස්‌තු සම්පත් යම් පමණකට ලැබේ. එයත් පෙර දුන් දන් අනුවය. මේ දන්දීම නිසා මෙලොවදී ලබන සැප සම්පත් ද එම පෙර දන් දුන් ස්‌වරූපයටම ආවේණික වෙයි. එනම් ඒ දන් දුන් ආකාරයට ගැලපෙන පරිදි මෙලොව සැප සම්පත්වල ස්‌වභාවය නිර්මාණය වෙයි. උදාහරණයක්‌ ගතහොත් කෙනෙක්‌ රථයක්‌ මිලයට ගෙන සුවසේම එයින් ගමන් කරයි. ආපදා අඩුය. තව කෙනෙක්‌ රථයක්‌ ගෙන ගමන් බිමන් කළත් එය නිතර ආපදා නිසා වියදම් වැඩිවෙයි.

දන්

දානයේ තුන් ආකාර

මෙසේ සිදුවීමට දන් දුන් ආකාරය වැදගත් වෙයි. එනිසා ඒ පිළිබඳ ප්‍රථම කොට අවබෝධයක්‌ ලැබිය යුතුය. දානය තුන් ආකාර වන බව බුද්ධ දේශනාවේ එයි. එනම් 1. වෘත්තනිශ්‍රිත දානය 2. විවෘත්තනිශ්‍රිත දානය 3. උභයනිශ්‍රිත දානය යනුවෙනි. මනුෂ්‍ය – දිව්‍ය, සම්පත් පතා දෙන දානය වෘත්තනිශ්‍රිත දානය වෙයි. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත වූ ලෝකෝත්තර සම්පත්තිය පතා දෙන දානය විවෘත්ත නිශ්‍රිත දානය වෙයි. ලෞකික හා ලෝකෝත්තර සැප එකටම පතා දෙන දානය උභයනිශ්‍රිත දානය වෙයි.

සකල මනුෂ්‍ය ප්‍රජාවෝ මේ ක්‍රම තුන අනුව කටයුතු කරයි. එක්‌ පිරිසක්‌ දිව්‍ය සම්පත් පතා දන්දෙති. එය ඉෂ්ඨ වේ. තවත් අය ලෞකික සැප විඳීමට මිනිස්‌ භව පතා දන් දෙති. එය ද ඉෂ්ඨ වේ. තවත් පිරිසක්‌ දෙව් මිනිස්‌ සැප විඳ නිවන් ලැබීම පතා දන් දෙති. එය ද ඉෂ්ඨ වේ. එසේම සසර ගමන දීර්ඝ වේ. ඉපදෙමින් මැරෙමින් අනන්ත සසරට එක්‌වේ. දන් දුන්නත් සිත දමනය වී නැති නම් මරණාසන්නයේ ආසන්න කර්මයක්‌ ලෙස තමන් කළ නපුරු දෙයක්‌ සිහියට නැඟුණොත් කොපමණ දන් දී තිබුණත් ප්‍රේත – තිරිසන් ආත්මවල උපදිති.

එනිසා ශීල – භාවනා යන දෙක ද විශේෂයෙන් අත්‍යාවශ්‍ය වේ. මරණාසන්න මොහොත ඉතාම අවිනිශ්චිත ස්‌වභාවයකි. වෙනත් වෙලාවක පවතින මේ මේ යයි අවබෝධ වන සිත මරණාසන්න සිත නොවේ. කිසිවක්‌ නොදැනෙන සිතකි. එවිට ක්‍රියාත්මක වන්නේ තමා ජීවත්ව සිටින විට පුරුදු වූ යටි චිත්ත ස්‌වභාවයයි. එය යහපත් ද නැති නම් අයහපත් ද යන තත්ත්වය මත සුබ හෝ අසුබ භවයක්‌ ලැබේ. ඒ නිසා දන්දීම මෙන්ම ශීල භාවනා ද තද ඕනෑකමකින් ඇලුන ගතියකින් තමන්ගේ සිතේ පැවතීම නිසා මරණාසන්න චිත්තය ඒ තුළින් මතු වී දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ මනුෂ්‍ය හෝ භවයක්‌ ලැබේ.

දිව්‍ය හෝ බ්‍රහ්ම භව

දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපත මවුකුසක දස මාසයක්‌ සිරවී ලබන උපතක්‌ නොවේ. එහි උපත සිදුවන්නේ එකෙනෙහිම සියලු ඇඟ පසඟ සහිතව ඉතාම ප්‍රසන්න සිරුරක්‌ හා සළු පිළි අභරණ ඇතිව පහළ වීමකි. දරුවන් වැදීමක්‌ හෝ අසූචි වැනි අපද්‍රව්‍ය පිටවීමක්‌ හෝ දෙවියන්ට නැත. චාතුර්මහා රාජිකය – තාවතිංශය – යාමය – තුසිතය – නිම්මාන රතිය – පරනිම්මිත වසවර්තිය – යන ලෝක හත දානාදී පිංකම් නිසි ලෙස කළා වූ අය උපදින ස්‌ථාන ලෙස ධර්මයේ දැක්‌වෙයි.

මේවා මිනිස්‌ ඇසට නොපෙනෙන ස්‌පර්ශ නොවන මිනිසා නිර්මාණය වූ ධාතුවට වඩා (පරමාණු) ඉතාම සියුම් ධාතුවකින් සැදුන දේව යන සත්ත්වයන් සේම ගස්‌වැල් විමාන ආදියෙන් සමන්විත බව සඳහන් වේ. මරණ බියක්‌ පවා නොදැනෙන රමණීය ස්‌ථානයෝ වෙති. පංච කාමයම රිසි සේ අත්විඳීමට ලැබෙන ලෙඩ දුක්‌, වයස්‌ගත වීමක්‌ නැති කිසිවක්‌ අඩු නොවන වසර තුන්කෝටි හැටලක්‍ෂයක ආයුෂයක්‌ මහලු වීමකින් තොරව ලැබෙන තැන් ය.

එය ද දානයේ ප්‍රතිඵලයන් ය. එනිසා දානය ස්‌වභාව වශයෙන් කොටස්‌ දෙකකි. එනම් කාල දානය හා අසත්පුරුෂ දානය ලෙස වර්ග වේ. එනම් ආගන්තුකයන්ට දන්දීම, ගමනක යෙදී සටින අයට දන්දීම – දුර්භික්‍ෂ අවස්‌ථාවල දන්දීම, ගොවිතැන් කොට ලබන ප්‍රථම අස්‌වැන්නෙන් දන්දීම, රෝගී දුබල අයට දන්දීම වැනි දාන කාල අනුව දෙන දාන වේ. මේවා එකිනෙක විස්‌තර කිරිම දුෂ්කර වේ. ඒ ලිපිය දිග වන බැවිනි.

අසත්පුරුෂ දානය විශේෂයෙන් අවබෝධ කළ යුත්තකි. එය නොමනා ලෙස දන්දීමය. නිතර දන් නොදී කලාතුරකින් දානයක්‌ දීම ද මේ ගණයට වැටේ. දානයක ආනිශංස ගැන අනවබෝධයෙන් සම්මුතියක්‌ ලෙස දෙන දාන (බොහෝ දන්සල් ද මේ ගණයට වැටේ) තත්ත්වයට අනුකූල නොවන පරිදි දෙන දානය ද මේ ගණයට වැටේ. තත්ත්වයට අනුකූල නොවන ලෙසින් හඳුන්වන්නේ වැහි කාලයක අධික සීතල ආහාර දීම, පායන උෂ්ණ කාලවලට අධික උෂ්ණය ශරිරය තුළ ඇතිවීමට ඉඩ විවරවන උෂ්ණ ආහාර දීම ආදියයි. එසේම සීනි රුධිරගත අයට එය වර්ධනය විය හැකි ආහාර දීම ද මෙයට අයත් වේ. මත්පැන් ආදී මත්ද්‍රව්‍ය දීම ද අසත්පුරුෂ දාන වෙයි.

ආහාර දන් දීම

වර්තමාන කාලයේ දන් දෙන විට ද එවැනි දේවල් පිළිබඳ නොතකා විවිධ විවිධ වූ රස කාරකවලින් ඉතා සුමිහිරි ලෙස රස ගන්වා දන්දෙති. බොහෝ විට ශරීරගත විවිධ අසනීපතාවන්ට එය මහත් රුකුලක්‌ විය හැක. එනිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීමට නූතන මිනිසා උනන්දු විය යුතුය. භාවනාදියේ යෙදෙන අයට එවැනි ආහාර ලැබීමෙන් ප්‍රඥාව වර්ධනය වීමට බාධාවක්‌ වන බැවිනි. දන්දීම ජීවිතයක්‌ දුන්නා වේ යනුවෙන් ධර්මයේ සඳහන් වේ.

එබැවින් ලෞකික සැප සලසාගෙන නිවන් අවබෝධයට පතන තැනැත්තන් දිය යුතු සුදුසු දානය මිස හැකිතරම් රස කාරක යොදා ප්‍රණීත කිරීම නොවටනා බව අවබෝධ කළ යුතුය. එලෙසට දන්දීම් අසත්පුරුෂ දාන ගණයට වැටේ.

දන් දීම

මෙම දානවල ආනිශංස ලෙස ඒ ඒ ස්‌වභාවයන් අනුව ඵල ලබා දෙයි. ආයුෂය දානයේ ප්‍රතිලාභයකි. කෙනෙකුගේ ආයුෂයට බලපෑම් කරන රසකාරක යෙදීමෙන් ඒ ප්‍රතිඵලයම තමන්ටත් අත්විය හැක. ඉඩකඩම් කුඹුරු ආදී වස්‌තු ලැබුණත් ඒවාට සොර සතුරු කරදර, නඩුහබ – සතුන්ගෙන් මෙන්ම සොබා දහමෙන් බවභෝග වලට විපත් ද ගෙදර දොර ලැබුණත් එක්‌තැනක්‌ හදන විට තව තැනක්‌ කැඩී යැම වහළය කොපමණ හැදුවත් කොතනින් හෝ ගේ තෙමීම ආදී දේවලට මුහුණ දෙන්නේ දානවල එවැනි විපාක නිසා ය.

මිල මුදල් ඇතත් ගේ දොර තනා ගැනීමට අපහසු වන්නේත්, යාන වාහන ගතහොත් ඒවා නිරන්තර ආපදාවලට ලක්‌වී අනර්ථ ඇති වන්නෙත් දාන දුන් එකී අන්දම අනුවය. එනිසා දන්දීම නිසා ආයු – වර්ණ – සැප – බල – ප්‍රඥා යන ලෞකික පංච සමාපත්තිය ලබන නමුත් ඒ තුළ විවිධ බාධක ඇති වෙයි. අපල යනුවෙන් හැඳින්වෙන්නේද එකී තත්ත්වයන් ය.

එනිසා දානය වූ උතුම් ක්‍රියාව ඥානාන්විතව සිදුකර ගත යුතුය. බොහෝ කලකට පසු පමණක්‌ දන්දීමෙන් පූර්ණ ලෙස ලෞකික සැපය ඊළඟ භවයට හිමි වේද යන්න ශිල හා භාවනා යන අනෙක්‌ දෙක අනුව තීන්දු වෙයි. සැමටම ධර්ම ඥානය පහළ වී සියලු අපල විපත් දුරු කර ගනිත්වා.

We found this article from Divaina on 2013/11/03.