අකුසල කර්ම කේන්දරයෙන් පෙන්වන හැටි මේ ලිපියෙන් සාකච්ඡා කරනු ලබයි. කෙනෙක් මෙලොව උපදින්නේ පෙර භවයේ මරණාසන්න චිත්තයෙන් බිඳී එන චුති සිත ( අවසන් සිත) අනුවය. බුදු දහමට අනුව මරණාසන්න සිත ඒ අවසානයට තවත් භවයක් කරා ගමන් කරන්නේ එයට එක්‌වූ තවත් විශේෂ ශක්‌තියක් සමගය. මෙය මහා ගැඹුරු සිදුවීමක් බැවින් මෙය මනාව තේරුම් ගැනීමට රේරුකාණේ චන්දවිමල හිමියන් ලියූ චතුරාර්ය සත්‍යය නම් පොතේ 106 වැනි පිටුවට ඔබගේ අවධානය යොමු කරමි.
ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහල වන්නා වූ අවස්‌ථාවෙහි එය හා සමග තවත් රූප ස්‌වල්පයක් පහළ වන්නේය. ඒ සියලුම රූප පිංඩය මිනිස් ඇසට නොපෙනෙන තරම් කුඩා දෙයකි. එයට කලල රූපයයි කියනු ලැබේ. ඒ කලල රූපය මතු හටගන්නා වූ ශරීරයට බීජය වන්නේය. ප්‍රතිසන්ධි විඤ්ඤාණය සහිත වූ මේ කලල රූපය මියගිය තැනැත්තහුගේ ශරීරයෙන් ආ දෙයක් නොව අමුතුවෙන් හටගත් දෙයකි. නමුත් ප්‍රතිසන්ධි චිත්තය ඒ මියගියා වූ පුද්ගලයාට අයත් බැවින් අලුත් භවයේ උපදින තැනැත්තා මියගිය පුද්ගලයා මිස අන් කෙනෙකුත් නොවේ.”
මේ වැකිය ඉතාම සරල කර පැවසුවොත් මෙසේය. ප්‍රතිසන්ධි චිත්තය (මරණාසන්න චුති සිත (ඊළඟ භවයට යන සිත) හෘදය වස්‌තුවේ ක්‍රියාකාරීත්වය ඇනහිටින ගමන් ඉතිරි වූ සිතයි. එයට රූප ස්‌වල්පයක් ඇතුළු වෙනවා යෑයි පැවසේ. මිනිස් ඇසට නොපෙනෙන බැවින් ඒවා අපට තරංග ශක්‌ති ලෙස උපකල්පනය කළ හැක. කුමන තරංගද? තමන් විසින් කළ කුසල් හෝ අකුසල් දෙකය. මේ නොපෙනෙන රූප පිණ්‌ඩය වන්නේ එයයි. එය විඤ්ඤාණය වූ අවසන් සිතෙන් බිඳී ආ ප්‍රතිසන්ධි හෙවත් තවත් භවයකට යොමුවන සිතට මේ රූප ඇතුළු වෙයි.

නොපෙනෙන ක්‍රියාවන්
බුදුරජාණන් වහන්සේ “රූප” යනුවෙන් බොහෝ තැන්වල හඳුන්වා ඇත්තේ නොපෙනෙන ක්‍රියාවන් පිළිබඳවය. පරමාණුව – තරංගය යනුවෙන් හැඳින්වීම ඇරඹෙන්නේ වැඩි වශයෙන් ඉලෙක්‌ට්‍රොනික් යුගය තුළිනි. එලෙස ප්‍රතිසන්ධි චිත්තයට ඒ රූප කොටස් එකතු වූ පසු මතු හටගන්නා ශරීරයට “බීජය” වන බව ඒ චතුරාර්ය සත්‍ය දේශනාවට පසුබිම් වූ අභිධර්ම කොටසින් කියවේ. මෙයින් අදහස් වන්නේ මියගියේ මිනිසෙක්‌ද ඔහු ඊළඟට උපදින්නේ මිනිසකු, දෙවියකු, බ්‍රහ්මයෙකු, තිරිසන් සතෙකු අපායගාමියෙකු ලෙසද යන්න එකතු වූ රූප කොටසින් කිsයවෙන බවය.
මෙම රූප කොටස ඔහු කළ කුසල් හෝ අකුසල් දෙක වනු ඇත. තිරිසනෙක් ලෙස උපදින්නට ඔහු මිනිස් මනසින් තිරිසන් වැඩකර පව් උපදවා ගත යුතුය. දෙවියෙක් වන්නට පිං කර තිබිය යුතුය. මේ අන්දමට භවයක් සකස්‌වීමේදී එය පවත්වා ගැනීමට මේ විශ්ව කුණ්‌ඩලියේ ග්‍රහ තාරකාවන්ගේ ශක්‌ති සම්බන්ධ විය යුතුවේ. එය රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක වීමට එයට විදුලිය සපයා තිබීම මෙනි. විදුලිය නොදුන්නොත් එය ක්‍රියාත්මක නොවේ.
ඉතා වැදගත් හෝ නොවැදගත් හෝ වැඩසටහන් නිර්මාණය කර විසුරුවා හැරියත් රූපවාහිනියට විදුලිය තිබුණොත් ඒවා නැරඹිය හැකිය. නැතිනම් නැරඹීමට නොහැක. ඒ උදාහරණය සේම නැවතත් උපදින මිනිසා හෝ දෙවියා හෝ තිරිසනා හෝ අපායගාමියා හෝ ක්‍රියාත්මක වන්නේ ග්‍රහ තාරකාවන් සපයන බලයෙන් ඔවුන්ගේ කල රූපය වූ අකුසල කර්ම හෝ පින සක්‍රීය වීමෙනි.
අපට සමීපතම මනුෂ්‍ය වර්ගයා ගැන බැලුවොත් දරුවකු ඉපදුන අවස්‌ථාවේ වේලාවට කේන්ද්‍රයක් සාදා ගැනීම සකල ජනතාවම අමතක නොකරන දෙයකි. එසේ සාදාගන්නා කේන්ද්‍රයේ අවසානයට අසවල් ග්‍රහයාගේ මහ දශාවෙන් ශුද්ධ අපහැරණ හැර ඉදිරියට සිටි ශේෂය වර්ෂ මෙපමණය. මාස මෙපමණය. දින මෙපමණය කියා සඳහනක් පවතී. එම පුද්ගලයාගේ කර්ම ශක්‌තිය අභිනව භවයේ ආයු කාලය පුරා ගලායන අන්දම දැක්‌වීමේ සටහනය.

මිනිසුන්ගේ පමණක් නොව සකලවිධ සෑම සත්වයකුටම මේ නවග්‍රහයන්ගේ අධිකාරිත්ව බලයට යටත් වීමට සිදුවේ. එනම් තම තමන්ගේ රූප කොටස හෙවත් පව හෝ පින සක්‍රීය වන්නේ නවග්‍රහයන්ගේ කිරණ ශක්‌ති නිසාය. ඉහත දැක්‌වූ උත්පත්තියෙන් හිමිවන කුමන ග්‍රහයකුගේ හෝ දශාශේෂයෙන් මෙලොව උපදින මනුෂ්‍යයන්ගේ පමණක් නොව සෑම තිරිසන් සතෙකුගේත් දෛවය ගලා යයි. මිනිසාගේ නම් පරමායුෂය වසර 120 ක් ලෙස ගණන් ගනිමින් මේ දශාවන් ගණනය කර තිබේ.
මිනිස් සිත
මිනිස් සිත සංකීර්ණය. එය තීක්‍ෂණව විනිවිද දකින්නට උත්සාහ කළහොත් එහි තණ්‌හාව, කරුණාව, මෛත්‍රිය, මුදිතාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය, උඩඟුකම, උගත්කම, මෝඩකම මේ ආදී සෑම දෙයක්‌ම එකට මිශ්‍රව එකතු වී පවතී. පෙර භවයන් හිත් මේ සියල්ල එකට කැටිවී මිශ්‍රවී තිබිණි. ඒ එකිනෙක සංකීර්ණතා මුල්වීමෙන් උපදවාගත් අකුසල කර්ම, කුසල කර්ම තුළින් විඤ්ඤාණය සකස් වී තිබේ. ඒ විඤ්ඤාණයෙන් බිඳී එන ප්‍රතිසන්ධි සිත ඊළඟ භවය නිර්මාණය කරන බව මෙහි මුලින් සඳහන්ව පවතී.
මේ භවය තුළත් ඒ මානසික සංකීර්ණතා එලෙසින්ම පවතී. මේවාට මූලික වන මානසික සංකීර්ණතාවය වන්නේ තණ්‌හාවයි. ග්‍රහයන් නවදෙනා තුළද මෙකී සංකීර්ණතා අඩු වැඩි වශයෙන් විවිධ මට්‌ටමට පවතී. ඒ ඒ ග්‍රහයන්ගේ මහදශා, අන්තර් දශා විදසා වශයෙන් ග්‍රහයන් තිදෙනකුගේ බලපෑම් මිනිසා කරා එළඹෙන විට පෙර භවයේ කරුණා – මෛත්‍රිය වැනි උසස් ගුණාංගවලින් කළ පිං ඵල ලැබීමත් අනෙකුත් අයහපත් ගුණාංගවලින් කළ දේවල්වලට අයහපත් පව් ඵලදීමත් සිදුවේ.

සුබ ග්‍රහයෙක් ලෙස පිහිටන ග්‍රහයා පිං ඵල උදාකරන අතර ඔහු නරක රාශිවල ගමන් කරද්දී අකුසල කර්ම ඵල ඇතිකරයි. මහ දශාධිපති යහපත්ව පිංඵල ලබාදෙන විට අසුබවාදී අතුරුදශාවක් ගෙන එන ග්‍රහයා පෙර පව් ප්‍රතිඵල ලබාදෙයි. එවිට පිංඵල වලට අවහිර බාධක ඇතිවෙයි. මිල මුදල් ලැබීම පිං ඵල ලෙස මහ දශාධිපතිගෙන් ලැබුණත් අතුරු දශාධිපති පවුඵල ගෙනඑමින් විපත් කරදර, ලෙඩදුක් වැඩිකරයි. සුබ ප්‍රතිඵල ලැබෙන විට අසුබ ප්‍රතිඵලද ලැබී එම සුබඵල විනාශ වී යයි. එවැනි තත්ත්වයන් කම්ම විභංග සූත්‍රයෙන් හඳුන්වන්නේ “අකුසල උප පීඩක” නම් කර්ම ශක්‌තිය ලෙසටය.
අකුසල කර්ම උප පීඩක
එහි තේරුම සුබවාදී ලැබීම ඇතිවන විට එයට ප්‍රතිවිරුද්ධව අකුසල් බලයක් ක්‍රියාත්මක වී සුබවාදී ලැබීම් විනාශ කිරීම යන්නය. එයට පීඩාවක් වීම යන්නය. ජන්ම පත්‍රයක් පරීක්‍ෂා කිරීමේදී මේ අකුසල උපපීඩක කර්ම ශක්‌තිය වැඩිවශයෙන් දැකගත හැකිය. සුබ මහ දශාධිපතියාත් සුබ අතුරු දශාධිපතියාත් ක්‍රියාත්මක වෙද්දී නපුරු විද්‍යාධිපතියෙකුගේ දසාව උවද බාධක කරදර ඇති කරයි.
ජන්ම අෂ්ඨම වැනි ඒරාෂ්ඨකවලින් තදබල ලෙස මෙම අකුසල උප පීඩක කර්මය ක්‍රියාත්මක වෙයි. එනිසා කොපමණ සුබ ග්‍රහ දශා ගෙව්වත් ඒරාෂ්ඨක මගින් සියලු සුබඵල විසන්ධි කර දමයි. නපුරු ග්‍රහයකුගේ මහ දශාවක් තුළ ඒරාෂ්ඨක තත්ත්වයන් ඇරඹීම විඳින දුකට තවත් දුකක් එක්‌වීමය. මෙම තත්ත්වය කම්ම විභංග සූත්‍රයෙන් හඳුන්වන්නේ “අකුසල උපස්‌ථම්භක” කර්මය ලෙසය.
කේන්ද්‍රයේ කොටු 12 තුළ පවතින්නේ පෙර භවයේ තම සිත් තුළ පැවැති සංකීර්ණතා ක්‍රියාත්මක වූ ආකාරය අනුව මෙලොව දෛවය සකස්‌වන අන්දමය. හැම දෙයක්‌ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූල හෝ අලෝභ අද්වේෂ, අමෝහ යන කුසල මූල හෝ ක්‍රියාත්මක වූ අන්දමට ප්‍රතිඵල ලැබීමය. වැඩි වශයෙන්ම ජන්ම පත්‍රවල පවතින්නේ පව්වල ඵලයන්ය. බලාපොරොත්තු බිඳීයැම, නොසිතූ කරදර, විපත්, ලෙඩදුක්, අනතුරු, බොහෝ දේ හිඟවීම්, ණයතුරුස්, නඩුහබ, මරණය පවා ඇතිවන්නේ ඒ ඉහත කී තත්ත්වයන් අනුවය. මෙය අවබෝධකර එයින් මිදීමේ මග මෙම ජ්‍යෙතිෂ විද්‍යාව තුළ නැත. ඇත්තේ සැබෑලෙස බුදුදහම තුළය.
We found this article from Divaina on 2013/09/15.