Sunday, June 14, 2026
HomesiHoroscopeසුමිහිරි සුන්දරත්වයේ හිමිකරු සිකුරු

සුමිහිරි සුන්දරත්වයේ හිමිකරු සිකුරු

විශ්වයේ පරමේශ්වරයා වූ සූර්ය රජු විසින් ඒක සෛලික ඇමීබාවාගේ සිට අති දැවැන්ත හස්‌තිරාජයා දක්‌වා වූ අපා දෙපා සිවුපා බහුපා සත්ව සන්තතියත් ඒක සෛලික ක්‌ලැනීඩේ මිනාප් සුනිල නිසසල ගගන තලය සිප ගන්නාසේ පෙනෙන තරමටම උස්‌ මහත් වූ මහා වෘක්‍ෂ රාජයන් දක්‌වා වූ අනේක ප්‍රකාර තුරු ලතා සමුදායක්‌ භූ තලය මත ස්‌ථාපනය කරන ලද අතර එක්‌ එක්‌ සත්ව හා ශාක විශේෂයන්ට අනන්‍ය වූ ලිංගික හෝ අලිංගික හෝ කිසියම් ක්‍රමවේදයකින් ස්‌වකීය වර්ගයා බෝ කොට පවත්වාගෙන යාමට අවශ්‍ය විධි විධානද සලසනු ලැබ ඇත. වර්ගයා බෝවීමේ මෙන්ම බෝ කිරීමේ ක්‍රම විධි හා පවත්වාගෙන යාමේ ක්‍රමෝපායයන් කොතරම් සංකීර්ණ වුවද, ලෞකික විෂය ක්‍ෂේත්‍රයට අදාළ වූ ඒ සියල්ලෙහි භාරකාරත්වය හා කළමනාකාරීත්වය විශ්ව පාලක සභාව විසින් අරුණෝදයේදී පහන් තරුව ලෙසද, සන්ධ්‍යාවේදී ඉරබටු තරුව ලෙසද ඉර හඳ පහළ වූදා පටන් මිනිසා විසින් දක්‌නා ලද ඉතා දීප්තිමත් කාන්තිමත් සිකුරු ග්‍රහයා වෙත පවරනු ලැබ ඇත.

ලොව ස්‌වාභාවික ශේ්‍රෂ්ඨතම මල්ටි විටමීනය වන මීපැණි නිපදවන මී මැස්‌සාගේ ගුමු ගුමු නාදයත් එයින් ප්‍රමුදිතවන නන් විසිතුරු මල් පෙතිවල සුමුදු සුසිනිදු බවත්, රොන්සුණුවල සෞම්‍ය බවත්, මල්පැණි වල සුමධුර බවත් ඇතුළු සත්ව හා ශාක ප්‍රජනනයට සම්බන්ධ වන මිහිමත ඇතිතාත් ආහ්ලාදජනක සියලුම දේ සුන්දරත්වයට අධිපති සිකුරුගේ පාලනයට යටත්වේ.

ආදරය, සෙනෙහස, ඇල්ම, ආලය, ප්‍රේමය, ආශාව, කාමය, රාගය, ආදී පද වලින් කියෑවෙන, හැඟෙන, දැනෙන සියල්ලෙහි හිමිකරුවා වන්නේද සිකුරුමය. මක්‌ නිසාද යත් ඒ සියලු දැ ලොව සප්‍රාණික සියල්ලෙහි බෝවීමටද පැවතීමටද අත්‍යවශ්‍ය වන බැවිණි.

“ශුක්‍ර” යනු ඉපැරැණි ජ්‍යෙතිෂ මූල ග්‍රන්ථ සිකුරු ග්‍රහයාට දී ඇති සුප්‍රසිද්ධ සංස්‌කෘත නාමයයි. එසේම “ශුක්‍ර” යන්නෙන් පුරුෂ ශරීරයේ සප්තම ධාතුව හෙවත් පරම ධාතුව එනම් මානව ශරීර ක්‍රියාකාරීත්වයේ අති පරිශුද්ධ අග්‍ර ඵලය වන ශුක්‍රධාතුවද ගැනේ. (ස්‌ත්‍රී ඩිම්බ සෛලයද අදාළ වේ.) ශුක්‍ර ධාතුවේ අධිපතියාද විසිතුරු බවට අධිපති සිකුරුමය.

ස්‌ත්‍රී පුරුෂ ප්‍රජනන කාර්යය සඳහා අත්‍යවශ්‍ය ප්‍රේමය සහ රාගය උත්පාදනය සහ උද්දීපනය කරනු පිණිස අවශ්‍ය රූප සම්පත්තිය සුන්දරත්වය ලස්‌සන, අලංකාරය, මේවා සාධනයෙහිලා උපකාරීවන මල්, ආභරණ, රන් රිදී මුතු මැණික්‌, සුගන්ධාලේපන, සුවඳ විලවුන්, සේද වැනි සිනිදු සුමුදු ඇඟලුම් ද, විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ආකර්ෂණය, යෞවනය, යෞවන යෞවණියන් හා යෞවන වයස, ප්‍රේම සම්බන්ධතා, විවාහය, විවාහයක කල්පැවැත්ම, විවාහයෙන් පසු ගෙදර දොර කටයුතුද සිකුරුගේ පාලනය යටතේ පවතී.

මානව පරපුර නොකඩවා ඉදිරියට පවත්වාගෙන යාමට පංචකාම සම්පත්තියේ සහ සම්බන්ධතාව අත්‍යවශ්‍ය බව අවධාරණයකරණ විශ්ව පාලක සභාව පංච භෞතික ශරීරයක්‌ හිමි පසිඳුරන් සහිත මි.සො. අන්තවාදී නොවී මැදිහත් බවින් යුතුව පරපුර ඉදිරියට ගෙන යැමේ අරමුණ පෙර දැරිව පමණක්‌ පසකම් සැප වින්දනය කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය වන මෘදු පිරිසිදු ගුණයට සහ චරිතාංග එනම් කාරුණික බව මිත්‍ර ශීලී බව, යහපත් අෙන්‍යාන්‍ය සම්බන්ධතා

සහෝදරත්වයෙන් යුතුව කටයුතු කිරීම හිතෛෂීභාවය, විනීතකම, හැදිච්චකම, ගුණයහපත්කම, සමාජශීලීබව, සමාජයට ප්‍රියතාව, විශ්වාසය කඩ නොකිරීම අන්‍යයන් අතරේ යහපත් අදහස්‌ පැතිරවීම, සමානාත්මතාව, සමාදානයට සහ සහයෝගීතාව පදනම් කරගෙන කටයුතු කිරීම ආදියද ගුරුගේ පුත්‍රයා සේ සැලකෙන නමුදු ස්‌ත්‍රී ග්‍රහයකු වන සිකුරුටම පවරන ලදහ.

මිනිස්‌ සිත තුළ ශුංගාරය ජනිත කරනු පිණිසද, ශික්‌ෂණය කරනු පිණිසද උසස්‌ රසඥතාවක්‌ ඇති කොට වින්දනාත්මකව නමුත් විනයාත්මකව ලොවෙහි සියල්ල දකින්නට ලබන්නට විඳින්නට අවශ්‍ය වන, සංගීතය, වාදනය, ගායනය, නෘත්‍යය, රංගනය, කාව්‍යය, සාහිත්‍යය චිත්‍රනය, ආදී සෞන්දර්ය කලාවන්ගේ හිමිකාරිත්වයද සිකුරුට පැවරී ඇත.

එපමණක්‌ නොව පසිඳුරන් පිනවීමට උපකාරීවන රංගකාලා, සුඛෝපභෝගී භාණ්‌ඩ නිපදවන ආයතන හා වෙළෙඳ සැල් ගුවන් තොටුපළ, උඩුමහළ, සඳළුතල, ආහාරගැනීම සඳහා ඇති ශාලා ආපන ශාලා, මංගල භෝජන ශාලා, සායනාගාර, වාජීකරණ චිකිත්සාගාර, වීදුරු නිපදවන කම්හල්, නාවික තොටුපළ ආදිය ස්‌ථාන හා ආයතනද සම්බන්ධ භාරකාරීත්වය සහ කළමනාකාරීත්වය දරන්නේද සියලුම අලංකාර ස්‌ථානවලට අධිපතිත්වය දරන සිකුරුමය.

පෙර ආත්මභාවයන් හිදී අන්තවාදී නොවී මැදිහත් සිතින්, ආත්ම දමනයෙන් යුක්‌තව, නිවැරදිව පංචකාම සම්පත්තිය භුක්‌ති වින්දේ නම්, ඔහු හෝ ඇය මේ ආත්ම භාවය ආරම්භ කරමින් මෙළොව එළිය දකින මොහොතේ ස්‌වකීය ජන්ම පත්‍රයෙහි රාශි බල භාවබල දෘෂ්ටිබල යෝගබල පූර්ණව මෙම අපූර්ව සිකුරු ස්‌ථානගත වෙමින්, සාමාන්‍ය උස ඇති, තළෙලු දිලිසෙන සමක්‌ සහිත, අණ්‌ඩාකාර ලක්‌ෂණ මුහුණක්‌ද, රැළි ගැසුණු හිස කෙස්‌ද. ප්‍රසන්න කාන්තිමත් ඇස්‌ද (ස්‌ත්‍රියක්‌ නම් සිනාසෙන විට වළ ගැසෙන කම්මුල් ද ඇති) ප්‍රිය උපදවන සිනාවක්‌ මෙන්ම, මිහිරි කටහඬක්‌ද හිමි, කාමභෝගී වූ පරිපූර්ණ ලක්‌ෂණ ශරීරයක්‌ ලබාදෙන අතර ස්‌වකීය මහදශා අන්තර් දශා භාව ගෝචර කාල වලදී සියලු යස ඉසුරු සහ පහසුකම් වලින් ආඪ්‍යව ලක්‌ෂණ ගේ දොර විසිතුරු උද්‍යාන මෙන් අලංකාර වතුපිටි ඉඩ කඩම් දැඩි දසුන් යාන වාහන ලබාදෙමින් ප්‍රීතිමත් සැපවත් ජීවිතයක්‌ද අති සාර්ථක විවාහයක්‌ උරුමකොට නළුවකු හෝ නිළියක හා සමාන ස්‌වාමියකු හෝ භාර්යාවක මෙන්ම විශ්වයේ ආශීර්වාදය ලත් දක්‌ෂ දරුවන් ලබාදෙමින් උපරිම සුඛෝපභෝගී ජීවිතයක්‌ හිමිකර දෙයි.

එසේම පෙර ආත්මභාවවලදී යමකු මානව වර්ගයාගේ පැවැත්ම උදෙසාම පවත්නා පංචකාම සම්පත්තිය අනිසි ලෙස අයුතු ලෙස අවිධිමත් ලෙස පරිභෝජනය කළේ නම් සිකුරු ඔහුගේ ජන්ම පත්‍රයෙහි දුර්වල තැනෙක දුර්වල ලෙස ස්‌ථානගත වෙමින් වෙනස්‌ වන සුළු ආලය, ආලය පිළිබඳ කටයුතු නිසා සිතට දුක්‌ ඇතිවීම, විරුද්ධ ලිංගිකයන් නිසා විවිධ කරදර, තරුණ වයසට නොගැලපෙන ලෙස ජීවත්වීමට සිදුවීම, කාමාශාවන් තෘප්තිමත් කරගැනීමට ගොස්‌ විවිධ කරදර විපත් සිත් පීඩා ඇති වීම, විවාහය ප්‍රමාද වීම, නුසුදුසු විවාහයක්‌ සිදුවීම, විවාහ නොවී සිටීම, විවාහ ජීවිතය මිහිපිට අපායක්‌ වීම, දික්‌කසාද වීම, අපල වෙන්වීම් හා අකාල මරණ නිසා තනි වීම, නිරන්තරයෙන් දැල්වෙන කාමාග්නිය නිවාගත නොහැකි වීමෙන් ඇතිවන කාමෝන්මාදය, කාමය පිළිබඳ අශිෂ්ට වැරදි, විකෘති ලිංගික ආශාවන්, කාම මිත්‍යාචාරය, විවිධ කාම අපරාධ, චරිතය නරක්‌කර ගැනීම, විවිධ අපචාර වලට පෙළඹී නීතියට හසුවී නින්දා අපහාස සහිතව සිරගතවීම, සමාජයෙන් කොන්වීම, යනාදී පස්‌ කම් සැප පිළිබඳ ඉතා අවාසනාවන්ත දේ සිදුකිරීම අනිවාර්ය වෙයි.

උපතින් සිකුරු බලවත්ව උපන් අය, එනම් පස්‌කම් සැපයෙහි සීමා නොඉක්‌මවූවන්, නිරෝගිමත්ව ප්‍රසාද ජනක ශුක්‍ර ධාතුවටද හිමිකම් ලබන අතර, කම්සැප පිළිබඳ වැරදි කළවුන් සෙම් ගෙඩි, බෙල්ල මහත් වීමේ (උගුර සිහින් වීමේ) රෝග, මුත්‍ර රෝග, වකුගඩු දුර්වල වීම, සමාජ රෝග, ලිංගික බෙලහීනතාව නිසා නිරන්තර අසහනයට පත්වීම, භයානක ලිංගික රෝග, විශේෂයෙන් දියවැඩියාව වැනි තමා අවට ඇති රසම රස මසවුළු දෙස බලමින් ඒවා නොකා නොබී සිටීමට සිදුවන කර්මජ (කර්මය නිසා ඇතිවන) රෝග පීඩාවන්ට ගොදුරුවීමද අනිවාර්ය වන්නේමය.

සිකුරු ගුරු මෙන්ම උපරිම ශුභ ඵල දෙන ග්‍රහයෙකි. නමුත් අපල ගෙන දීමේදී දුර්වල සෙනසුරුට දෙවැනි නොවේ. නිරන්තර මානසික අසහනය ගෙන දෙන නින්දා අපහාස අපවාදයන්ට ගොදුරුවන අතිශය පීඩාකාරී දැඩි කරදර දුර්වල සිකුරු ගෙනදෙයි.

We found this article from Divaina on 2014/05/25.

RELATED ARTICLES

Most Popular

Recent Comments