ආරූඪ ලග්නය යනු කුමක්‌ද?

1778
දෙර්කාණාධිපති

සම්ප්‍රදායක ජ්‍යොතිෂයේදී උදා ලග්නය මුළු මහත් ශරීරය නියෝජනය කරන බවට උගන්වයි. ඒ හා සමානව චන්ද්‍ර, සූර්ය, ලග්නද මුළු මහත් ශරීරය නියෝජනය කරන බවත් ජීවිත කාලය තුළදී වන සිදුවීම්වල සැප හෝ දුක නියෝජනය කරන බව පෙන්වන බව අප සිතිය යුතුය. සෑම වර්ග කේන්ද්‍රයකම කරුණු පිළිබඳ සිතා අනාවැකි කීමට පුරුදු විය යුතුමය. මෙතනදී ඔබට මූලික ගැටලුව මතුවේ. වර්ග කේන්ද්‍ර යනු මොනවාද? චන්ද්‍ර කේන්ද්‍රය නොහොත් ජන්ම කේන්ද්‍රය, සූර්ය කේන්ද්‍රය නවාංශකය, දෙර්කාන කේන්ද්‍රය චතුර්තාමිශ කේන්ද්‍රය, සප්තාමිශ කේන්ද්‍රය, දශාමිශ කේන්ද්‍රය නොහොත් රැකියා කේන්ද්‍රය, ද්වා දශාමිශ කේන්ද්‍රය, කාරකාමිශ කේන්ද්‍රය, ත්‍රිශාංශ කේන්ද්‍රය ආදී තවත් කේන්ද්‍ර බොහෝ ප්‍රමාණයක්‌ උදා ලග්නය තුළින් වෙන වෙනම නිර්මාණය කර ගැනීම කළ යුතු අතර ඉහත සඳහන් කේන්ද්‍ර වර්ග කේන්ද්‍ර යනුවෙන් හඳුන්වයි. ඉහත සඳහන් සියලු වර්ග කේන්ද්‍ර තුළින් නොපෙනෙන කරුණු ආරූඪ ලග්නයෙන් හා ආරූඪ පද තුළින් ප්‍රකාශ කළ හැකිය.

මේ නිසා උදා ලග්නය, චන්ද්‍ර, සූර්ය ලග්න නවාංශකය මෙන්ම ආරූඪ ලග්නයට විශාල වටිනාකමක්‌ තිබේ.

ආරූඪ පද ක්‍රමය

ලග්නයෙන් 12 වැන්න දුෂ්ඨ ස්‌ථානය, වැය ස්‌ථානය යනුවෙන් සම්ප්‍රදායික ජ්‍යොතිෂවේදීන් හඳුන්වයි. සියලු ලේඛකයන් එසේ හුවා දක්‌වයි. නමුත් ආරූඪ පද ක්‍රමයේදී තම විවාහයේ ඇතිවීම, නැතිවීම, පැවතීම, පිළිබඳ ඉතා නිවැරදි තීන්දුව ලබා දෙන්නේ 12 අධිපති සිටි රාශිය අනුව ගණනය කර ලබා ගන්නා දෙයයි. මෙය ගෞරි පදය නොහොත් උප පදය වශයෙන් භාවිත කරයි. ජන්ම පත්‍රයේ (4 2) සංකේත අංකය තබන්නේ උප පදය බව හැඟවීමටය. තම මංගල යහන පෙන්වන්නේද උප පදයයි. එම නිසා උප පදය මංගල පදය යනුවෙන් ද සරත් මහින්ද මහතා හඳුන්වයි.

සියලු පාඨකයන්ද 99% ක්‌ ජ්‍යොතිෂවේදීන්ද නොදැන සිටියත් ඔබේ මංගල යහන පෙන්වන්නේ හත්වැන්න පමණක්‌ නොව 12 වැන්නට අදාළ උප පදයයි. අවමංගල යහන පෙන්වන්නේද උප පදයයි.

විවාහය පිළිබඳ හත්වැන්න, හත අධිපති, එසේ නොමැති නම් සිකුරු බැලිය යුතු යෑයි විවිධ ලේඛකයෝ මෙතෙක්‌ පුහු තර්ක ඉදිරිපත් කර ඇත.

නමුත් ගුණපාල මහතා හෝ ඔහුගේ ගෝලයන් හෝ සුදර්ශී රුවන්පුර මහතා හෝ සරත් මහින්ද මහතා හෝ කිසිදු ලිපියක එසේ පවසා තිබේද? නැත.

බෝසත් උපත පිළිබඳ බ්‍රාහ්මණයෝ 108 දෙනෙක්‌ගෙන් කරුණු විමසීමේදී ඒකාන්ත වශයෙන්ම සිදුහත් කුමරා ගිහිගෙය අතහැර ගොස්‌ බුදු වන බව පැවසුවේ කොණ්‌ඩඤ්ඤ තවුසා පමණයි නේද? අනෙක්‌ 107 දෙනාම මත දෙකක සිටියා නේද?

පොරොන්දම හා ආරූඪ ලග්නය

සෑම ජන්මියෙකුගේම විවාහ සහකරු/සහකාරියගේ ලග්නය වනුයේ උප පදය පතිත රාශි නාමය හෝ ඉන් සත්වෙනි හෝ ත්‍රිකෝණ රාශි නාමයකි. නමුත් පළපුරුද්ද ලබාගත් පසු නිවැරදි කලත්‍රයාගේ උදා ලග්නය පැවසිය හැකිය. උප පදය පාප පීඩිතවීම විවාහයෙන් වෙන්වීම පෙන්නුම් කරයි.

උප පදය, උප පදයෙන් දෙවැන්නේ පාපී ග්‍රහයන් සිටීම විවාහ ජීවිතයේ ගැටලු හා වෙන්වීමට පවා සිදුවිය හැකිය.

පොරොන්දම 100% ගැලපුනත් උප පදය පාප පිඩිත නම් මායාකාරී විවාහයෙන් ඒකාන්ත වශයෙන්ම වෙන්වීමට සිදුවේ. (උපුටා ගැනීම සරල උදාහරණ සහිත ආරූඪ ලග්න පොතේ 13 පිටුවෙනි.) විවාහය යනු දැඩි සංසාරික බැඳීමකි. ජන්ම පත්‍රයේ හත්වැන්නට ජ්‍යොතිෂ දත් නොදත් මලපොත අකුරක්‌වත් නොදත්, අතීත වැඩිහිටියන් හා දැනට ජීවත්වන දෙමාපිය බාල මහළු සියලු දෙනාද විශේෂයෙන්ම කපුවන්ද, ජ්‍යොතිෂය සුළුවෙන් දැන ඉගෙන මහා පරිමාණ බෝඩ් දාගෙන ජනතාව මුලාකරගෙන කන අයද හත්වැන්න විවාහක ස්‌ථානය වශයෙන් හඳුන්වයි. පුවත්පත් ලිපි ඊට කදිම උදාහරණයකි.

ආරූඪ ලග්නය

විවාහය හත්වැන්නෙන්, චන්ද්‍ර සූර්ය ලග්නවලින් හත්වැන්නෙන් පමණක්‌ පරීක්‍ෂා කළ නොහැකි බව තරයේ මතක්‌ කරමි. පෙන්වා දෙමි.

නමුත් විවිධ ලිංගික හා මහජන සබඳතා හත්වැන්නෙන් පරීක්‍ෂා කළ හැකිය.

“පැනි කෑවෝ පැනිවල රස දනිති” ඉහත කරුණු උපුටා ගැනීම සරල උදාහරණ සහිත ආරූඪ ලග්න පොතේ 174 පිටුවෙනි.

ආරූඪ පද පිළිබඳ රසවත් ආකාරයෙන් ඉදිරියේදී සරත් මහින්ද මහතා විසින් කරුණු ඉදරිපත් කරනු ඇතැයි සිතමි. එතුමාගේ ලිපි එකකට එකක්‌ බද්ද වන බැවින් නැකත අතිරේකයේ පළවෙන එතුමාගේ ලිපි එකතු කිරීමෙන් ඔබට බොහෝ දේ නිවසේ සිට ඉගෙන ගත හැකිය. එම නිසා පිළිවෙළින් ලග්න 12 පිළිබඳ මතකයේ රඳවා ගතහොත් ඔබට නිවසේ සිට ජ්‍යොතිෂය ඉගෙනීම ඉතා පහසුය.

We found this article from Divaina on 2014/03/30.