ග්‍රහයන්ගේ නීච වීම බලපාන හැටි

907
නවාංශකයේ
නවාංශකයේ

යම් ග්‍රහයෙකු නීච වීම බලය අඩුවීමට හෝ අපල ගෙනදීමටම හේතුවක්‌ නොවන්නේය. ග්‍රහයා හෝ ග්‍රහයන් උච්චවීමෙන් නෛසර්ගිකව ගති පැවතුම් උසස්‌ කරයි. එසේ නම් නීච වීමෙන් සිදුවන්නේ එකී තත්ත්වයේ අනෙක්‌ පැත්තයි. නමුත් ග්‍රහයන්ගේ ස්‌ථාන අධිපතිකම් අනුව නීච/උච්ච තත්ත්වය වෙනස්‌ විය හැකිය. උච්ච ග්‍රහයා හොඳ ප්‍රතිඵල අත්කර දෙයි. ලග්නාධිපතියා නීච වීමද හොඳ නැත.

රවි ග්‍රහයා නීච වීම – රවි ග්‍රහයා තුලා රාශියට නීච වේ. රවි වැඩි වශයෙන් නීච වන්නේ වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්‌වා උපන් අයටයි. හිරු පොළවට දුරින් ගමන් කරන කාලයයි. එනිසා රවිගේ ආකර්ෂණය පොළවට ලැබීම අඩු වෙයි. ශරීරයේ ලේ දොෂ ඇති වේ. ඇස්‌වල දුර්වලතාද හට ගනී. අත මිට සරු නැත.

සඳු නීච වීම – රාශි චක්‍රයේ 08 වැන්න වූ වෘශ්චික රාශිය සඳුට නීච වෙයි. අව සඳු සමය වඩාත් අපලදායකයි. සඳු නීච වීමෙන් අනුකම්පාවක්‌ හෝ කරුණාවක්‌ ඇති නොවේ. සිතේ රහස්‌ ස්‌වභාවයක්‌ පවතී. චන්ද්‍රයාගේ බල දුබල කම් මැනීමේදී පුර/අව පක්‍ෂ කෙරෙහි අවධානය යොමු කළ යුත්තේය. අවපක්‍ෂය වූ විට ඉක්‌මන් කෝපය ඇති වේ. සෙම් රෝග, ජලයෙන් පීඩා අත්විය හැකිය.

 නීච වීම

අඟහරු නීච වීම – කුජ නොහොත් අඟහරු නීච වන්නේ කටක රාශියේදීය. කුජ කටක රාශියේ නීචවීමෙන් දරදඬු, ගොරෝසු, හිතුවක්‌කාර ගතිය අඩු වේ. කුජගේ වේගවත් ගතිය කටක රාශියේදී හිමින් වෙයි. ශාන්ත ඉවසිල් ගතියක්‌ කුජ නීච වීමෙන් සිදුවේ. විවාහය ප්‍රමාද විය හැකිය. ගේදොර වාසස්‌ථාන පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්‌ උද්ගත වෙයි. තරහකරු සමඟ වුව සමගියෙන් සිටීමට සිතයි.

රාහු නීච වීම – වෘශ්චික, ධනු යන රාශිවලදී රාහු නීචවෙයි. මේ නිsසා කේන්ද්‍ර හිමියා තුළ නොහික්‌මුණු ගතියක්‌ ඇති වේ. කාගේවත් උපදෙස්‌ පිළි නොගනී. ශාරීරික දුබලතාවයන්ද ඇතිවේ. රහස්‌ ගුප්ත ක්‍රියාවල යෙදෙයි. ධනු රාශියේදී ලෝකෝත්තර පැත්තට වඩාත් කැමැතියි. ආධ්‍යාත්මික අංශයෙන් ප්‍රයෝජන ලබයි. මහන්සියේ තරමට ප්‍රතිඵල අඩුයි. ගමන් බිමන් අධික වෙයි.

ගුරු (බ්‍රහස්‌පති) නීච වීම – සෙනසුරුට අයත් මකර රාශියේදී ගුරු නීච වෙයි. කුම්භ නවාංශකයේ සිටීමේදී බලවත් ලෙස නීචවෙයි. ලෞකික දියුණුව උදා වේ. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට කැමැති නැත. ගුණයහපත්කම අඩුයි. කැපී පෙනෙන දුර්වලකම් ඇතිවිය හැකිය. එහෙත් ආර්ථික අතින් දියුණුව සැලසේ. සෙම් රෝග බහුලයි. ගති පැවතුම් යහපත් නැත.

 නීච වීම

සෙනසුරු නීච වීම – කුජට අයත් මේෂ රාශියේදී සෙනසුරු නීච වෙයි. සැප පහසුකම් අඩු කරයි. කම්පාවට අසහනයට පත් වෙයි. වාත රෝග ඇති කරයි. පාරම්පරික දේවල් ලැබීමේ භාග්‍ය උදා වේ. ලෞකික දියුණුව අඩුයි. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. කරදර බාධක ආවත් ඒවා ගණන් නොගනී.

බුධ නීචවීම – ගුරුට අයත් මීන රාශියේදී බුධ නීච වෙයි. හිරුට ආසන්නව බුධ ගමන් කරන නිසා රවිගේ බල දුබලතා අනුව බුධගේ නීච වීම ගැන පිරික්‌සිය යුතුවේ. එනිසා බුධ සමඟ රවි සිටීම හෝ දෘෂ්ටි ලබන අනෙක්‌ ග්‍රහයන් ගැනද සැලකිලිමත් විය යුතුය. සිතේ උසස්‌ බව අඩුකරයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට යහපත් නැත. කථාව අන් අයගේ සිත් නොගනී. පිත් රෝග ඇතිවේ.

කේතු නීච වීම – වෘෂභ, මිථුන රාශිවලදී කේතු නීචවෙයි. වෘෂභ රාශිගතව කේතු සිටීමෙන් සමාජ කටයුතුවලින් දුරස්‌ වෙයි. අන් අයගේ නොසතුටට පත්වෙයි. තමාගේ වාසිය ගැනම වැඩිපුර සිතයි. මිථුන රාශිගත වූ කේතු තමා හැම දෙයක්‌ම හොඳින් දන්නා බවක්‌ අන් අයට අඟවයි. කලාත්මක දේවල් සංගීත නාට්‍ය ප්‍රියකරයි. තම ආසාවන් නිසිපරිදි ඉටුකර ගැනීමට හැකියාවක්‌ නැත.

සිකුරු නීච වීම – බුධට අයත් කන්‍යා රාශියේදී සිකුරු නීචවෙයි. කන්‍යා නවාංශකද සිකුරුට බලවත් සේ නීචයි. ආලය ප්‍රේමය, කාමය ආදී දේවලට එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. විවාහයක්‌ සිදුකර ගන්නේ නම් වැන්දඹු හෝ දික්‌කසාද වූ අයකු හා විවාහවෙයි. තම අදහස්‌ ඒ අයුරින්ම ඉෂ්ට කර ගැනීමට බාධක ඇතිකරයි. එහෙත් තම කාර්යයන් හොර රහසේ කර ගැනීමට උත්සාහ දරයි. සෙම් රෝග ඇතිකරයි.

We found this article from Divaina on 2013/10/20.