මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී මිනිසා හා අමනුෂ්‍යයන් අතර පවතින වෙනස්‌කම පිළිබඳව පලමුව අවබෝධ කළ යුතුය. ඒ සඳහා බුදු දහම ඇසුරින් කරුණු විමසීම යෝග්‍ය වේ. හේතුව ශරීරය පිළිබඳව ගැඹුරු අරුතක් බුදුදහමින් ගෙන එන බැවිනි.
නාම – රූප යනු ශරීරයයි. නාමය නම් සිතය. රූපය නම් ශරීරයයි. ශරීරය සෑදෙන්නේ ඇට සම් මස් ලේ නහර ආදියෙනි. මේ ශරීරයට නාමය හෙවත් සිත නැතිනම් පැවැත්මක් නැත. එසේම නාමයටද ශරීරය හෙවත් රූපය නැතිනම් පැවැත්මක් නැත. ඒ අන්දමින් මේ විශ්වය තුළ ශරීර වර්ග දෙකක් පවතී. එනම් භෞතික ශරීර සහ සූක්‍ෂම ශරීර වශයෙනි.
භෞතික ශරීරවලින් විශිෂ්ටවූත් ප්‍රධානවූත් ශරීර ඇත්තේ මනුෂ්‍යයනට පමණි. ඊළඟ සත්වයා තිරිසන් සතුන්ය. මනුෂ්‍යයන් භාෂාව සිරිත්විරිත් අතින් වෙනස් වූවත් ශරීරවලින් එක සමානය. ස්‌වරූපය වෙනස් වුවද ශරීර එක සමානය, තිරිසන් සතුන් සිරිත් විරිත් මෙන්ම ශරීරරවලින්ද වෙනස්‌ය. කෝටි ප්‍රකෝටි ගණන් තිරිසන් සත්වයෝ අපට විවිධ ස්‌වරූපවලින් දැකගත හැකිය.
තිරිසන් සතුන්ද, පුදුම හිතෙන විදියේ වැඩ කරන, ඒවගේම සිරිත් විරිත් පවතින අයුරු අපට “ඇනිමල් ඩිස්‌කවරි” වැනි චිත්‍රපටිවලින් නැරඹිය හැකිය. ඒ කිසිවකටත් වඩා මනුෂ්‍යා පරදවන්නට කිසිම තිරිසන් සතෙකුට කිසිදාක හැකියාවක් නැත. ඊළඟට සූක්‍ෂම ශරීර ඇති අමනුෂ්‍ය කොට්‌ඨාසවලින් විශිෂ්ට වන්නේත් ප්‍රධාන වන්නේත් දෙවියන්ය. විද්‍යාඥයන් සෘෂිවරුන් වැනි මිනිසුන් මෙන් දෙවිවරුන්ද සිටිති. ඒ විෂ්ණු කතරගම නාථ වැනි මහේශාඛ්‍ය දෙවිවරුන්ය. ඒ අයගේ ශරීර අපේ ශරීර මෙන් දැකිය නොහැකිය ස්‌පර්ෂ නොවන ශරීර විශේෂයකි. එබැවින් ඒවා සූක්‍ෂම ශරීර වෙයි.

මිනිස් ශරීරය
මිනිස් ශරීරය නිර්මාණය වන මූලධර්ම අපි ගන්නා ආහාර තුළ පවතින බව අපි විශ්වාස කරන්නෙමු. විටමින්, යකඩ, කාබෝහයිඩ්රේට් ආදී වශයෙන් හඳන්වමු. නමුත් බුදු දහම අනුව ඒවා සම්මුතිධර්ම වෙයි. විදර්ශාණාවට අනුව ඒ සම්මුති ධර්ම විනිවිද පරමාර්ථ ධර්මය වශයෙන් ගත් කළ අපගේ ශරීර හැඩගැස්‌ම සංවර්ධනය පැවැත්ම සියල්ල ඇතිවන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි යන විශ්ව මූලධර්ම හතරෙනි. මේ සියල්ලද කැටිවූ විද්‍යාත්මක නාමය වන්නේ “පරමාණු” යන්නය.
පරමාණුව යන නිර්මාපකයද නැවත වර්ග දෙකක් වෙයි. එනම් පූර්ණ පරමාණුක සහ අර්ධ පරමාණුක වශයෙනි. අප මේ කතාකරන්නේ ශරීර නිර්මාණය වන අන්දම පිළිබඳවය. මෙසේ පූර්ණ පරමාණුකවලින් සෑදුන ශරීර හිමිව ඇත්තේ මනුෂ්‍යයන්ටත් කෝටි ප්‍රකෝටි තිරිසන් සත්වයන්ටත්ය. එයින් මනුෂ්‍යයන් ප්‍රධානය. අර්ධ පරමාණුක ශරීර ඇත්තේ දෙවියන් ප්‍රමුඛ සියලු අමනුෂ්‍යයන්ටය. එයින් දෙවියන්ම විශිෂ්ඨ වෙයි. ප්‍රධාන වෙයි.
පූර්ණ පරමාණුක ශරීරය හිමි මනුෂ්‍යයාට අවශ්‍ය වේලාවට ශරීරය සිහින් කිරීමට විශාල කිරීමට හැකියාවක් නැත. අස්‌ථි පංජරයක් හිමි බැවින් එවැන්නක් කළ නොහැක. එබැවින් ආපෝ තේජෝ වායෝ පඨවි යන විශ්ව මූලධර්ම හතරෙන් මනුෂ්‍යයාටත් සතුන්ටත් පඨවි කොටස ප්‍රධානවී, පවතී. එනිසා වායුවක් මෙන් කුඩාවීමේ විශාලවීමේ හෝ ගමන් කිරීමේදී වේගයෙන් ආලෝකයක් ගලා යන්නාක් මෙන් මිනිසා ඇතුළු තිරිසන් සතුන්ටත් ඉක්‌මනින් ගමන් කළ නොහැක.

අමනුෂ්‍යයන් සතු ශරීරය
දෙවියන් ප්‍රමුඛ අමනුෂ්‍යයන් ට වායෝ කොටස ප්‍රධාන වී බලවත්වී තිබේ. එනිසා එම ශරීර හැකිළීමට කුඩා කිරීමට විශාල කිරීමට හැකියාව තිබේ. එනිසා වේගවත් ගමනක් හිමිවේ. එය මේ උදාහරණයෙන් දකින්න පිට්‌ටනියක මෙහා කෙළවරේ සිට හොඳ විදුලි පන්දමක් එහා කෙළවර යම් ඉලක්‌කයකට එල්ලකර බොත්තම එබූ සැනෙකින් එළිය ඒ ඉලක්‌කය මත පතති වන වේගය මෙන්ය.
එසේම මේ ආපෝ තේජෝ වායෝ පඨවි යන පරමාර්ථධර්ම වනාහී වැගිරෙන ගලායන යන ගතිය (ආපෝ) උෂ්ණය පාට ගින්දර ආලෝකය ගඳ සුවඳ (තේජෝ) හැකිලෙන පිම්බෙන ඇදෙන පැතිරෙන ගතිය (වායෝ) තද මටසිලුටු රලු ගති (පඨවි) ලෙසත් හඳුනා තිබේ. සෑම සත්ත්වයෙක් මෙන්ම ගස් වැල් ඇළ දොළ කඳු හෙල් යකඩ ගල් වැනි ආදී සෑම වස්‌තුවක්‌ම නිර්මාණය වූයේ මේ විශ්ව මූලධර්ම හතර විවිධ මට්‌ටමට සංයෝග වීමෙනි.
ඊළඟට ප්‍රධාන කාර්ය භාරය වන්නේ මේ විශ්වක්‍රියාකාරී මූලධර්ම සක්‍රීය කිරීමට ක්‍රියාත්මක කිරීමට විශ්වයෙන්ම විශේෂිත බලයක් අවශ්‍යවීමය. ඒ බලය වනාහී සූර්යයාය. විශ්වයේ සියලු පැවැත්ම ඇත්තේ ඔහු මතය. ඔහු හීලියම් දහනය කරමින් පතුරන ගින්දර රශ්මිය ආලෝකය විද්යුතය ඇතුළු විවිධාකාර කිරණ ශක්‌ති සමඟ විශ්වය පුරා පතුරවයි. ඒ ඔහුගේ ආලෝකය තුළිනි. එසේ ඒකාකාරී වූ ආලෝකය ධාරා තරු මත ගැටෙයි. කුජ – බුද – ගුරු – ශුක්‍ර – ශනි – සඳු වැනි ග්‍රහ ලෝක මතය.
මේ එකිනෙක ග්‍රහ ලෝක මත වදින සුර්යයාගේ ඒකාකාරි ආලෝකය දහරා ඒ ඒ ග්‍රහ ලෝකවලට ආවේනික ගති ගුණවලට හැපී විවිධාකාර වෙයි. එසේ විවිධාකාරවූ “කිරණ ජාලා” සියල්ලක්‌ම සඳ මත පතිතවෙයි. එසේ පතිතවී විශ්වය පුරා පැතිරයයි. ඒ එක් එක් ග්‍රහලෝකවලින් එන සියලු කිරණ එකම අවුල් ජාලයකි. එය විශ්වය තුළ ගලායමින් කෝටි ප්‍රකාර විවිධ සැලසුම් අනුව විශ්වය නිර්මාණය වෙයි.
රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළත උපාංග සියගණනක් පවතී. “සර්කිට්” කියා ඉංග්‍රීසියෙන් අපි හඳුන්වමු. ඒවා ග්‍රහලෝක ලෙස අපි හඳුන්වමු. රූපවාහිනියට විදුලිය සැපයීම සුර්යා වෙයි. මේ විදුලිය සෑම උපාංගයක් හරහාම නිමේෂයෙන් ගමන් කරයි. ඇසිපිය හෙලන මොහොතක් වුවද විදුලි දහරාව පළමු උපාංගයේ ගුණයත් රැගෙන දෙවන උපාංගයටගොස් එම ගුණාංගයත් රැගෙන තෙවන උපාංගයටත් යමින් සියලු උපාංග හරහා ගමන් කර එම මිශ්‍ර කරගත් සියලු ගුණාංග තිරය මත ප්‍රතිඵල වෙයි. හිරු සඳු ග්‍රහලෝක ප්‍රමුඛ සත්වයා තුළද මේ ක්‍රියාවම සිදුවෙයි.
මනෝ විඤ්ඤාණය
මේ කිරණ දහරා මනුෂ්‍යයාට හෝ අමනුෂ්‍යයන් හෝ තිරිසන් සත්වයන්ට සම්බන්ධ වන්නේ මනෝ විඤ්ඤාණයටය. අමනුෂ්‍ය යාටද මනෝවිඤ්ඤාණය පවතී. එනිසා ඔහුට දැනීම ඇසීම පෙනීම යන සියලු සංවේදිතා පවතී. අෙච්තනික නිසා ජීවීන් වන ගස් වැල් වලටද එක්‌තරා අන්දමක විඤ්ඤාණයක් පවතින බව බුදු දහමේ දැක්‌වෙයි. එසේම මෑත කාලීන උද්භිද විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව ගසක් කැපීමට පෙර ගස් කපන්නා ඈත සිටම සුදානම් වෙද්දී එම ගසෙන් ශෝකී කිරණ දහරා නිකුත් වන බව සොයාගෙන තිබේ. ඒ ගස් වැල් වලටද විඤ්ඤාණය පවතින හෙයිනි.

සුපේශල ශික්‍ෂාකාමී ආර්යමාර්ගික භික්‍ෂූන් වහන්සේලාට ගසක මල් කොළ කැඩීම පැළ ඉදිරීම ආදී දේවල් බුදුරජාණන් වහන්සේ තහනම් කොට විනය පනවා ඇත්තේ උන්වහන්සේ ඒ බව මනාව අවබෝධකර සිටි බැවිනි.
කෙනකුගේ මනෝ විඤ්ඤාණය සකස් වී ඇත්තේ මේ සසරගමන තුළ තමන් කළාවූ කුසල් හා අකුසල් අනුවය. මේ භවය ලබාගැනීමට උපකාර වූ ජනක කර්මය සකස්‌වූ පෙර භවයේ අවසන් සිතට ප්‍රතිඵලද මේ භවයට වැඩියෙන් ලබාගත හැකි පිහිටීමකි.
දිනපතා කේන්ද්‍ර පරීක්‍ෂාවේදී වැඩිම පිරිසක් පෙර භවයේ කළ අකුසල්වල ප්‍රතිඵල අත්විඳින බව පෙනේ. බලාපොරොත්තු පූර්ණ ලෙස සඵල නොවීම නිසා කැමති දේ නොලැබීමේ දුකට ලක්‌ව සිටී. ලෙඩදුක් සතුරු කරදර නිසාද එසේ දුක අත්වෙයි. එසේම ආශාවන් ඉමක් කොණක් නොමැති ලෙස සිත්වල ඉපිද වදදෙයි. එසේම ඉර්ෂ්‍යයා වෛර – ක්‍රෝධ – පස්‌පව් ආදිය නිසා යළි පව් උපදමින් පෙර පව් බල ශක්‌තිමත් වෙයි.
මිනිසාට මහ දශා අන්තර් දශා විදශා මෙන්ම ග්‍රහ ගෝචරය අනුව එකී කිරණ ජාලා මනෝ විඤ්ඤාණයට ඇතුළුවී මෙසේ දෛවය ක්‍රියාත්මක වෙයි. මිනිසකු වන්නේ පෙරපින් මූලිකව ජනක කර්මය ගොඩනැගුණ බැවිනි. නමුත් පෙර පව්ද ජනක කර්මයට සම්බන්ධව පැමිණේ. කෙනකුගේ දියුණුවට සංවර්ධනයට අවහිර බාධක පමුණුවා ඒවා විපාක සලසයි. ආත්ම ගණන් කළ පව් හෝ පිං පවතින්නේ මනෝ විඤ්ඤාණය තුළය. මෝහණය කිරීමෙන් පෙර භවය ගැන කියන්නේ ඒ මනෝ විඤ්ඤාණයෙනි.
අමනුෂ්‍යයන් වී ඉපදීම
අමනුෂ්‍යයන් වී උපදින්නේද මනුෂ්‍යයාමය. ඔවුන් ජීවත්ව සිටි අවධියේ සෑම දෙයක් කෙරෙහිම තෘෂ්ණාවෙන් වේලී පස්‌පවේ ගිලී වෛර ක්‍රෝධ තුළම සිට දහම ගැන ගැඹුරු දැනුමක් නොගෙන ජීවත් වූ අයයි. ඒ තුළින්ම දැකීම ඇසීම විඳීම යන සංවේදිතා තෘප්තිමත් කර ගනිමින් පොහොසත් හෝ දුප්පත් මධ්‍යම හෝ වත් පොහොසත් කමින් ජීවත්වූ අයයි. ඒ ජීවන රටාව මිස එය වෙනස් කරන දහම් ඥණයකින් තොර අවසන් චුති සිතක් ලැබ යක්‍ෂ ප්‍රේත පිසාච කුම්භාණ්‌ඩ ආදී දුක්‌බර අමනුෂ්‍ය ආත්ම ලබයි.
ඔවුන්ටද අර්ධ පරමාණුක වූ නොපෙනන නොඇසෙන නොදැනෙන ශරීරයක් වුවද මනෝ විඤ්ඤාණය එයමය. ඔහු මියගියේ කුමන ග්‍රහ දශාවකද ඒ අවසන්වූ තැන (මරණයෙන්) සිට ඉදිරියටත් ඒ දශාව පූර්ණ වශයෙන් අශුබතා ඇති කළ හැක. පෙරපින් පුබුදු කළ සුබ දශාවක නම් තරමක් සුබ අමනුෂ්‍ය ආත්ම භවයක් විය හැක. බලවත් පිං පුබුදු කළ දශාවක් නම් දෙවි මිනිස් යන සුගති ආත්මයක් විය හැක.
දෙවියෝද වර්ග දෙකකි. පිං දහම් මෙන්ම භාවනාදී ක්‍රියාවල යෙදී ඥණය අවදිකළ අය ඉහළ තලයේ දෙවිවරු වෙයි. දානමානාදී කුසල් කළ අය පහළ තලයේ දෙවිවරු වෙති. සියලු ග්‍රහ ලෝකවල කිරණ ජාලා ඔවුන්ගේ මනෝ විඤ්ඤාණය තුළ පව්බල ඉතාම සෘන තත්ත්වයෙන් පවතින නිසා කුමණ නපුරු ග්‍රහයෙකුගේ වුවද කිරණ ශක්‌ති යහපත් අතටම කරකැවේ.

මනුෂ්‍යයාට ග්‍රහ අපලවලදී දානමාන බෝධිපූජා ආදී ක්‍රියා නියම කරන්නේ ඔහුගේ පිංබලය වැඩිකිරීමටය. එවිට අපල කිරීමේ හැකියාව පහළ බසින බැවිනි. පව් නිසා අමනුෂ්‍යයන්වූ අයට එකී ග්‍රහ දශාවන් තව තවත් නපුර ලබාදෙයි. කුසගිනි පිපාසා මෙන්ම අනෙකුත් සියළු ලෞකික ආශා බලවත් වෙයි. නමුත් ඒ කිසිවක්‌ම නොලැබෙයි. ඒ නිසා දුකම දැඩිලෙස අත්වෙයි.
දෙවියන්ට අසුබ ග්‍රහ දශා වුවද සුබ දෙන්නාක් මෙන් ආශාව ක්‍රෝධය වෛරය තේරුම් නොගත් අමනුෂ්‍යයන් සුබ දශාවක් ලැබුවත් අසුබ ඵල අත්වෙයි. එනිසා ඔවුන්ගේද ආයු කාලය මෙපමණ යෑයි කිව නොහැකිය.
We found this article from Divaina on 2014/05/04.