තීරණ ස්‌ථිර නැති මිශ්‍ර අත් හිමියෝ

0
340
අත්
අත්

අල්ල වටකුරුවීමත් සම සිනිදු වීමත් චෛතසික අත් වල විශේෂ ලක්‍ෂණයක්‌ වෙයි. ඇඟිලි අනුක්‍රමයෙන් සිහින්ව උල්ව පිහිටා ඇති අතර අල්ල මෘදු මාංශපේශීන්ගෙන් නිර්මාණය වී ඇත. අල්ල මොළොක්‌ ස්‌වභාවයෙන් යුතුවද සියුම් රේඛා බහුලව ද දැකිය හැක. අත්ලෙහි සමට යටින් නීල වර්ණයෙන් යුතු ශිරා මාර්ග බොහෝ විට දැකිය හැකි වෙයි. මැදින් ඉඟටියක්‌ මෙන් සිහින් වී ගිය මහපට ඇඟිල්ලක්‌ චෛතසික අත් හිමියන් සතුය. මහපට ඇඟිල්ල දුර්වල බවක්‌ ද පෙන්නුම් කරන අතර අනිත් ඇඟිලි වුවත් එතරම් ශක්‌තිමත් නොවේ. ඇඟිලි තුඩු උල්වූ බවක්‌ දැකිය හැක. ඇඟිලිවල නිය පිහිටා ඇති පුරුක අනික්‌ පුරුක්‌වලට වඩා දීර්ඝ වීමත්, නියපොතු ඉතා තුනීවීමත් උල්වීමත් මෙම අත්වල දැකිය හැකි විශේෂ ලක්‍ෂණයන් වෙති. අනිත් අත්වල මෙන් පිටි අල්ලේ රෝම නොමැත. අත්ලේ පිහිටි රේඛා ද බොහෝ විට තැනින් තැන කැඩී බිඳී ඇති අතර ඒවා දම්වැල් හෝ දූපත් සලකුණුවලින් යුක්‌තය.

තමන් විසින්ම තනාගත් මනෝ ලෝකයක ජීවත් වෙන චෛතසික අත් හිමියෝ අහස්‌ මාළිගා ගොඩනගන්නා නමුදු ඒවා යථාර්ථයක්‌ බවට පත් කර ගැනීමට උත්සාහ කරන අයෙක්‌ නොවේ. යම්කිසි කාර්යයක්‌ කිරීමට මනසින් සැලසුම් කළත් ඒ එකකුදුවත් ක්‍රියාවට නංවන්නේ නැත. චෛතසික අත් හිමියෝ බොහෝවිට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට අපොහොසත් වෙති. දුර්වල ආත්ම ශක්‌තියකින් යුතු අය වෙති. ජීවිතය පිළිබඳව ද සැබෑ අවබෝධයක්‌ නැති ඔවුන් රූපය, ධනය, ඇඳුම් පැළඳුම් වැනි බාහිර දේවල් දේවත්වයෙහිලා සලකති. අලස බව හෙවත් කම්මැලිකම චෛතසික අත් හිමියන්ගේ තවත් දුර්වලකමකි. තමාගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට තරම්වත් උනන්දුවක්‌ නොමැති අය වෙති. නිතර වෙනස්‌වන මානසික තත්ත්වයක්‌ ඇති ඔවුන් කියන දේ ක්‍රියාත්මක නොවේ. අන් අයගේ බස්‌වලට ද බොහෝ විට මුලාවන චෛතසික අත්a හිමියෝ ගුප්ත දේවල් කෙරෙහිද විශ්වාසය තබන්නෝ වෙති. යක්‍ෂ, ප්‍රේත, භූතාත්ම කෙරෙහි මහත් බියක්‌ දක්‌වයි. මෙම අත් හිමියන්ට රෝගයක්‌ වැළඳුනහොත් සුව කළ නොහැකි තරමට බලවත් වෙයි. පොත්පත් කියවීමටද ඔවුන් දැඩි ආශාවක්‌ දක්‌වයි. සංවේදී සිතිවිලි සහිත ඔවුන් තුළ කලාකාමී හැඟීම් ද සිත් තුළ පවතී. විසිතුරු භාණ්‌ඩ හා මල් වැනි දේවල් නිර්මාණය කිරීමටත් එවැනි ද්‍රව්‍ය අලෙවි කිරීමටත් චෛතසික අත් හිමියන් සුදුසු වෙයි. අන් අයට ද දැඩි කරුණාවක්‌ දක්‌වන ඔවුන් තුළ අන්‍යයන්ට උදව් උපකාර කිරීමට පෙළැඹෙන ත්‍යාගශීලී ගුණයක්‌ ද ඇත. නමුත් අන් අය කෙරෙහි අනවශ්‍ය ලෙස විශ්වාස කිරීම ඔවුන් බොහෝ විට කරදරයට පත්වෙති. චෛතසික හස්‌තයක්‌ ඔබ සතු වේ නම් අලස බව දුරුකොට කාර්යශීලී පුද්ගලයකු බවට පත්වුවහොත් ජීවිතය ජය ගැනීමට අපහසු නොවේ.

මිශ්‍ර අත්

මෙතෙක්‌ අපි විස්‌තර කර ඇති අත් වර්ග හයේම පිහිටි යම් යම් සලකුණු මිශ්‍රව සටහන් වී ඇති අත්a මිශ්‍ර අත් ලෙස හඳුන්වනු ලබයි. අනෙක්‌ හැම අත් වර්ගයකටම ආවේණික වූ විශේෂ ලක්‍ෂණ ඇතත් මිශ්‍ර අතට පමණක්‌ම ආවේණික වූ විශේෂ රටාවක්‌ නොමැත. මිශ්‍ර අතක අල්ල බොහෝවිට හතරැස්‌ හැඩයෙන් යුක්‌ත වෙයි. සමහරවිට කෝණාකාර හැඩයක්‌ වීමට ද පුළුවන. ඇඟිලි වුවත් ඇඟිල්ලෙන් ඇඟිල්ලට විවිධ හැඩරුව ගනියි. සමහර ඇඟිලි හතරැස්‌ ආකාර වන අතර උල්වූ ස්‌වභාවයෙන් යුතු ඇඟිලි ද දැකිය හැක. මසින් පිරී ගිය ඇඟිලි වගේම කෙට්‌ටු වී ගිය වකුටු වී ගිය ඇඟිලි ද ඒ අතර වෙයි. මේ අයුරින් ඇඟිලි පහ විවිධාකාර වගේම මිශ්‍ර අත් හිමියන්ගෙ ගති ගුණත් විවිධාකාර වෙයි. පොදුවේ ගත් කල ඔවුන් හැම දෙයක්‌ පිළිබඳව විවිධ දක්‍ෂතා ඇති අය ලෙස සැලකෙයි.

සිත් ගන්නා සුලු මනා දේහයකින් යුත් මිශ්‍ර අත්a හිමියන් අන්‍යයන් රැවටීමට හා තම අභිප්‍රායයන් ඉටු කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදීමටද දක්‍ෂයෝය. දෙබිඩි අදහස්‌වලින් යුතු ඔවුන් නිතර වෙනස්‌ වන සුලු හැසිරීම් රටාවකින් යුතුවෙති. ඔවුන් දන්නා දෙයක්‌ සේම නොදන්නා දෙයක්‌ද නැතිවා සේය. කෙසේ වුවත් මිශ්‍ර අත් හිමියන් සමාජයේ කුමන අයුරකින් හෝ කැපී පෙනීමට උත්සාහ ගනිති. ඒ සඳහා තීක්‍ෂණ ඥනයක්‌ ද ඔවුන් සතුය. මිශ්‍ර අත් හිමියන්ගේ ගතිගුණ වගේම ඔවුන්ගේ විවාහ ජීවිතයත් විවිධත්වයෙන් යුතු වෙයි. බොහෝ විට ප්‍රේම සම්බන්ධතාවන් අනුව විවාහය සිදුවේ. විවාහයට පළමුවද සම්බන්ධතා පවත්වන ඔවුන් විවාහයට පසුවද අනියම් සම්බන්ධතා ඇති කර ගනී. හමුවන හැම අයෙක්‌ සමගම ඉතා සුහදව කතා කරන ඔවුන් ඒ හැම අයෙක්‌ම කුළුපග කර ගනී. මිශ්‍ර අත් හිමියන් අන් අයට කොතරම් උදව් උපකාර කළත් ඔවුන් අසරණ වූ විට කාගෙන් හෝ පිහිටක්‌ නොලැබීම ඔවුන් හට උපතින්ම ලැබූ අසාධාරණයකි. එකම කාර්යයක්‌ නැතිනම් රැකියාවක්‌ එක දිගටම කර ගෙන නොයැම. මෙම අත් හිමියන්ගේ ලොකුම දුර්වලකමක්‌ වෙයි. බොහෝ විට රැකියාවල් වෙනස්‌ කර ගැනීම් දැකිය හැක. කිසිම අවස්‌ථාවක ස්‌ථිර තීරණයක්‌ ගැනීමට මිශ්‍ර අත් හිමියන්ට හැකි නොවේ. ස්‌ථිරව තීරණයක්‌ ගතහොත් ක්‍රියාත්මක නොවේ. එහෙත් ක්‍ෂණිකව යමක්‌ කිරීමට ඔවුන්ට හැකියාව ඇත. වෘත්තියක්‌ වශයෙන් මෙවැනි අයට පුවත් සංස්‌කාරකවරුන්, නීතිඥ , රහස්‌ පරීක්‍ෂකවරුන්, ලේඛකයන් වැනි රැකියා වඩාත් ගැලපේ, ව්‍යාපාරික වශයෙන් සාප්පු, සිල්ලර බඩු, එළවළු පලතුරු හෝටල්, බේකරි වැනි ව්‍යාපාරික අංශවලින් උසස්‌ දියුණුවක්‌ ලැබිය හැක.

We found this article from Divaina on 2013/08/11.