දරුවන්ගේ අනාගතයට ජ්‍යෙතිෂය පිටුවහලක්‌ කරගමුද?

1464
දරුවන්ගේ

මෙම වකවානුව තුළ අද සමාජයේ සුවිශේෂ කරුණු කිහිපයක්‌ කෙරෙහි මිනිසුන්ගේ අවධානය දැඩිව යොමුවී ඇත. ඒ අතරින් ප්‍රධාන වශයෙන් දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි මිනිසුන්ගේ අවධානය පෙරටත් වඩා යොමුවී ඇත. ඇත්තටම එය ඉතා හොඳ කාරණයකි.

අධ්‍යාපනය තුළින් උගත් නැණවත් දරු පරපුරක්‌ බිහිවීම රටේ දියුණුවට මහඟු පිටිවහලකි. එම නිසා මේ බව හොඳින් දන්නා දෙමාපියන් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දීමට නිරන්තරයෙන්ම වෙහෙසෙයි. එය ඉතා හොඳ ක්‍රියාවකි. නමුත් අප දරුවන් යොමුකළ යුත්තේ නිවැරදිව හා ක්‍රමානුකූල ලෙසයි. නැති නම් එය දරුවාට මහත් පීඩාවක්‌ ගෙන දී අධ්‍යාපනය කඩා වැටීමට හේතුවක්‌ විය හැක. අද හැම දෙමාපියෙකුගේම අරමුණ තම දරුවා උසස්‌ රැකියාවක්‌ සඳහා සරිලන පුද්ගලයකු කිරීමයි. ඒ සඳහා දෙමාපියන් වෙහෙසෙයි.

උපතින්ම ගෙන ආ දස්කම්

නමුත් අප මතක තබාගත යුතු දෙයක්‌ තිබේ. එනම්, සංගීත කලාව කෙරෙහි දක්‍ෂකම් දක්‌වන දරුවෙකු ගණිතය හෝ විද්‍යාව වැනි විෂයවලට යොමු කරමින් අනාගතයේ වෛද්‍යවරයෙකු ඉංජිනේරුවකු කිරීමට උත්සාහ කරන වෑයම නිෂ්ඵලය. මන්ද යත් අප උපතින්ම ගෙන ආ ශාස්‌ත්‍රයක්‌ අප සෑම දෙනා තුළ ඇත. එබැවින් අප යා යුතු නිවැරදි මග අප හරි හැටි අවබෝධ කර ගනිමින් දරුවන් ඒ ක්‍ෂේත්‍රයට නැඹුරු කිරීමට උත්සාහ කළ යුතුය. දරුවාට යායුතු මග පෙන්වා දිය යුතුය. ඒ සඳහා ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය නම් වූ මා හැඟි ශාස්‌ත්‍රය ඉතා අගනේය.

රාශි 12 ක්‌ තුළ තමන්ගේ ජීවන ගමනේ අනාගතය අපූර්ව ආකාරයට ග්‍රහයන් තුළින් දැකිය හැක. එබැවින් දෙමාපියන් වශයෙන් ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳ සැලකිලිමත් වීමේදී තම දරුවා වඩාත් දක්‍ෂතාව දක්‌වන්නේ කුමන ක්‍ෂේත්‍රයටදැයි කලින්ම හඳුනා ගත යුතුය. ඒ සඳහා ජන්ම පත්‍රය මනා පිටිවහලක්‌ ලබාදෙයි. 3 වැනි රාශියෙන් බාල කාලයේ අධ්‍යාපනයද 5 වැනි රාශියෙන් ප්‍රමාණාත්මක අධ්‍යාපනයද, 9 වැනි රාශියෙන් උසස්‌ අධ්‍යාපනයද නිවේදනය වේ. 9 වැනි රාශිය 12 වැනි හා 3 වැනි රාශියේ බලය අනුව විදේශ අධ්‍යාපනය ගැන අවබෝධයක්‌ ලබාගත හැක.

ප්‍රධාන වශයෙන් ජන්ම පත්‍රය තුළ 5 වැනි රාශිය, 5 වැනි රාශිය අධිපති ග්‍රහයා, අධ්‍යාපන කාරක බුධගේ ශක්‌තිය හා අධ්‍යාපනය තුළින් ලබන රැකියාව යන කරුණු බැලීමට කේන්ද්‍රයේ දස වැන්න දස වැන්න අධිපති ග්‍රහයා වැනි කරුණු මෙන්ම නවාංශකයේදී ලග්න කේන්ද්‍රයේ 5 වැනි ස්‌ථානයට අධිපති ග්‍රහයන්ගේ බල, දුබලතා එසේම 5 වැනි ස්‌ථානයට සම්බන්ධ ග්‍රහයන් ගමන් කළ නැකැත් වාරය හා ගුරු ග්‍රහයාගේ බල දුබලතාවය වැනි සුවිශේෂ කරුණු කෙරෙහි ඉතාමත් සූක්‍ෂමව හා නිවැරදි ලෙස ජන්ම පත්‍ර පරීක්‍ෂාවක්‌ තුළින් අවබෝධ කරගත හැක.

එනම් 5 වැන්න, 9 වැන්න අධිපති ග්‍රහයන් බලවත්වීම තුළ උසස්‌ අධ්‍යාපනයට හිමිකම් කියන අතර එසේම අධ්‍යාපන කාරක බුධගේ ඇති සම්බන්ධය (සංයෝග වීම, ශුභ දෘෂ්ඨ වීම) වැනි තවත් කරුණු තුළින් අනාවරණය කර ගත හැක. 5 වැන්න අධිපති, 9 වැන්න අධිපති කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව වී සිටීම උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට හේතුවක්‌ වේ. එසේම ප්‍රඥකාරක, ධන කාරක ගුරුගේ ශුභ පිහිටීම අනුව අධ්‍යාපනයෙන් ශුභ ඵල උදාකරගත හැක.

දරුවන්ගේ

කේන්ද්‍ර තුළ බලවත් ලෙසට පිහිටා ඇති ග්‍රහයන්

එක්‌ එක්‌ කේන්ද්‍ර පරීක්‍ෂාවේදී එම කේන්ද්‍ර තුළ බලවත් ලෙසට පිහිටා ඇති ග්‍රහයන් අනුවද ඔහු හෝ ඇය යා යුතු ක්‍ෂේත්‍රය පහසුවෙන් අවබෝධ කර ගත හැක. උදාහරණයක්‌ ලෙස කේන්ද්‍රය තුළ බුධගේ බලවත් වීම තුළ පොත්පත් ලේඛන කලාව, ජනමාධ්‍ය වැනි ක්‍ෂේත්‍රයේ ඉදිරියට යැමෙන් විපුල ඵල නෙළා ගත හැක. එසේම කුජගේ බලවත් වීම තුළ ආරක්‍ෂක අංශවල, ඉඩම් සම්බන්ධ රැකියා වැනි ක්‍ෂේත්‍ර තුළ නිරත වීමෙන් උසස්‌ ප්‍රතිඵල ලබාගත හැක. එබැවින් (මෙලෙස කේන්ද්‍රයේ බලවත් ග්‍රහයන්ට හිමි අධිපතිත්වය මත අවබෝධය ලබාගත හැක.) දෙමාපියන් වශයෙන් දරුවා විශේෂත්වය දක්‌වන්නේ කාර්මික අංශයටද, සාහිත්‍ය අංශයටද යන වග අවබෝධ කර ගනිමින් දරුවා නිවැරදි මාවතකට යොමු කළ හැකිය.

ජන්ම පත්‍රය තුළින් අධ්‍යාපනය ගැන විමසීමේදී ප්‍රධාන වශයෙන් ලග්න කේන්ද්‍රයේ 5 වැන්න, 9 වැන්න, 11 වැන්න හා 3 වැනි රාශිය පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරයි. එම රාශි අධිපතියන්ගේ බල, දුබලතාවය අනුව ජන්මියා ළඟා කර ගන්නා අධ්‍යාපන මට්‌ටම ගැන යම් අවබෝධයක්‌ ලබාගත හැක. මෙම රාශි තුළට පාප රාශීන්ගේ සම්බන්ධයක්‌ (රාහු, කුජ, ශනි) ඇතිවීම තුළ අධ්‍යාපනය තුළින් ඇතිවන දුර්වලතා හඳුනාගත හැක. අධ්‍යාපනයට සම්බන්ධ වන බුධ, ගුරු, පුර චන්ද්‍ර ශුභ කේතුගේ සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳව දැනගත හැකිය.

එසේම ගතකරන මහ දශාව, අතුරු දශාව අධ්‍යාපනයට කරන බලපෑම, අධ්‍යාපනයට සම්බන්ධ ග්‍රහයන් නවාංශක කේන්ද්‍රයේ පිහිටා ඇති ආකාරය හා එම ග්‍රහයන් ගමන් කරන නැකැත් වාරය අධිපතිගේ ස්‌වභාවය අනුව ජන්මියාගේ අධ්‍යාපනය පිළිබඳව අදහසක්‌ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයාට මනා ලෙස අවබෝධ කරගත හැක. එබැවින් නිවැරදි ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයකු වෙත ගොස්‌ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ලබාගත හැක. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන කාලය තුළ රාහු, ශනි වැනි පාප ග්‍රහයන් පීඩිත ලෙස ලබා ඇත්නම් එය මනාව අවබෝධ කරගෙන එම ග්‍රහ රාශිවලට කළ යුතු වත්පිළිවෙත් සිදුකරමින් ජන්මියා නිවැරදි මාවතට යොමුකරමින් අධ්‍යාපනය ලබන කාලය තුළ ඇතිවන බාධක කම්කටොළු මැඬගෙන ජය ගැනීමට අවශ්‍ය ශක්‌තිය ධෛර්යය ලබාදිය යුතුය.

දරුවන්ගේ

ජන්මියාගේ ජන්ම පත්‍ර පරීක්‍ෂාව ඉතාමත්ම නිවැරදි ලෙස සූක්‍ෂමව පරීක්‍ෂා කරමින් එම ජන්මියා යා යුතු නිවැරදි ක්‍ෂේත්‍රය හඳුනා ගනිමින් ඒ තුළ දරුවා යොමු කරවීම දෙමාපියන් වශයෙන් කළ යුතු වැදගත්ම කාර්යය වේ. නැත්නම් දුවන්නන් වාලේ අපේ දරුවා වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවෙක්‌, කළමනාකරුවෙක්‌, ගායකයකු ආදී වෘත්තීයවේදියකු කිරීමට ගන්නා වෑයම නිෂ්ඵල ක්‍රියාවකි. එබැවින් අප දරුවාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර නිවැරදිව හඳුනාගත යුතුය.

දරුවන්ගේ අධ්‍යාපනය

චිත්‍ර ශිල්පියකු වීමට දක්‍ෂතා දක්‌වන දරුවා ඉංජිනේරුවකු කිරීමට දරන වෑයම නිෂ්ඵලය. නමුත් ඉංජිනේරුවකු වුවද දක්‍ෂ චිත්‍ර ශිල්පියකුද විය හැක. එය ඔහුගේ හෝ ඇයගේ ඇති ශක්‌තිය අනුවයි. එබැවින් අප එම ශක්‌තිය මනාව හඳුනාගත යුතුය. එවිට දෙමාපියන් වශයෙන් දරුවන්ට නිවැරදි මාවත පෙන්නා දී දරුවන් ඒ සඳහා යොමු කළ යුතුය. නමුත් දෙමාපියන් දරුවන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතුය. එසේම ජන්මියාට කෙතරම් ප්‍රබල ග්‍රහචාර තත්ත්වයන් තිබුණත් නිවැරදි පරිසරයක ජීවත් නොවන්නේ නම් නොමඟ යන ප්‍රවණතාවය වැඩිය. මේ නිසා තරුණ ප්‍රජාව ගැන විශේෂ අවධානයක්‌ දෙමාපියන් වශයෙන් යොමු කළ යුතුය. අද අපට ඇසෙන ප්‍රවෘත්ති තුළින් එය කෙතරම් සත්‍යදැයි ඔප්පු වේ. එබැවින් ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය නම් අනර්ඝ විද්‍යාවෙන් නිවැරදි අවබෝධයක්‌ ලබාගෙන අනාගත දරු පරපුර යහපත් මඟකට යොමු කිරීම අප සියලු දෙනාගේම යුතුකමයි.

දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව අන් කවරදාටත් වඩා මෙම වකවානුව තුළ උනන්දු වීම ඉතා අගනේය. එසේම දරුවාට යහපත් මනසකින් යුතුව අධ්‍යාපන කටයුතු කරලීමට අවශ්‍ය ඉඩ ප්‍රස්‌ථාව ලබාදිය යුතු අතර දරුවාගේ විශේෂ දක්‍ෂතා හඳුනාගෙන ඒ තුළින් නිවැරදි මගට යොමු කිරීම ඉතා අගනේය.

We found this article from Divaina on 2013/11/10.