දරු සම්පත නැති කරන ග්‍රහ පිහිටීම්

1724

උපත යනු ස්‌වභාව ධර්මයේ ක්‍රියාවක්‌. ඒක විකෘති කර නැතිකර දැමීම සොබා දහමේ උදහසට ලක්‌වෙන දෙයක්‌. දරු සම්පත නැතිකිරීම පිළිබඳ පාප විපාක අත්වී දරුණු ප්‍රේත ලෝකවල පවා දුක්‌විඳින ප්‍රේතයින් පිළිබඳ ලොමුදැහැ ගැන්වෙන කථා විමාන හා පේතවත්ථු නම් ත්‍රිපිටක ග්‍රන්ථයෙන් පැහැදිලි කර තිබෙනවා. එසේ දරුඵල නැතිකිරීමේ සිට දරුඵල පැතීම දක්‌වා දිව යන කර්මශක්‌තිය අප නොදැනුවත්වම අපට ක්‍රියාකාරී වෙයි.

එනිසා දරුඵල අහිමි අඹු සැමියන්ද මේ අනවරාග්‍ර සංසාර ගමනේ කොතැනක හෝ කරන ලද පවක විපාකයක්‌ සදාකාලික හෝ තාවකාලිකව හෝ අත්විඳිනවා විය හැක. ඒ කෙසේ ද යන්න පහත විස්‌තර වන කේන්ද්‍ර ඵලාපලවලින් ඔබට අවබෝධ වනු ඇත.

මෙම කේන්ද්‍රය හිමි අය විවාහ වී මාස කීපයකින් රාහු මහ දශාව ලැබුවාය. රාහු දශාවේ වසර 02 මාස 08 ක්‌ පමණ රාහුගේම අතුරු දශාව ගතවෙයි. දරුවන්ට කාරක වන ග්‍රහයා ගුරුය. මේ කේන්ද්‍රයේ ගුරු දෙවන භාවයේ යෝගව සිටී. මෙම කේන්ද්‍රයට නවාංශකය මීන රාශිය වූ නිසා 22 වන දෙර්කාණාධිපති වූයේ එම ගුරු ග්‍රහයාමය. දරුඵල ලබාදෙන 05 වන භාවාධිපති වූ බුධ කේන්ද්‍රයේ 07 වැන්න තුළ සිටිමින් කුජ – කේතු කුජ හා ලග්න ගත රාහුගේ පීඩාවට ලක්‌ව සිටි. දරුඵලවලට කාරක වූ ගුරු ග්‍රහයාම මේ කේන්ද්‍රයේ 08 වැන්න අධිපතියාද වෙයි. ඔහුද රාහුගෙන් පීඩාවට පත්වෙයි. දැන් ඇය රාහු මහ දශාවේ වසර දෙකයි මාසයක්‌ ගතකර ඇත. ඒ කාලය තුළ ඇය දෙවතාවක්‌ම ගබ්සාවී දරුඵල අහිමි විය. මෙම තත්ත්වය ඇතිවූයේ ගැබ්ගෙන මාස 08 කදීය.

දරු සම්පත

දෙවන දරුවාද පිළිසිඳ මාස 08 කට පසු නැවත ගබ්සා වී දෙවන දරුවාද අහිමි විය. ඇයට මෙසේ වූයේ ඇයිද යන්න විමසන විට ඒ තත්ත්වයන් මෙසේ දිස්‌වෙයි. රාහු මහ දශාවේ රාහුගේම අතුරු දශාව වීමත්, දරුඵල සම්බන්ධ ස්‌ථාන අධිපති වූ බුධ, කුජ, කේතු හා මහ දශාපති රාහුගෙන් පීඩාවීමත්, දරුඵල ස්‌ථානය වූ 05 වැන්නද රාහුගෙන් පීඩාවීමත් දරුවන්ට කාරකයා වන ගුරුද රාහුගෙන් පීඩාවීමත් යන කරුණු මත ගබ්සාව සිදුවේ. විශේෂයෙන් දරුවන්ට කාරක ගුරුය. 08 අධිපති වීමත් රාහුගෙන් පීඩා වීමත් සෘජු ලෙස බලපායි. 98 වැන්න මාරකස්‌ථානයකි.

පිළිසිඳ මාස 08 කට පසු ගබ්සාවන් සිදුවීම එයට උදාහරණ වෙයි. කුස තුළදීම මිය යැමට කේතු හා කුජගේ බලය එක්‌වෙයි. මේ නිසා මෙම ගබ්සා දෙකම රාහුගේ මහ දශාවේ රාහුගේම අතුරු දශාව තුළ සිදුවෙයි. මේ අනුව ඉදිරියට එන ගුරුගේ අතුරු දශාව ඉතාමත් අහිතකරය. විශේෂයෙන් කේන්ද්‍රයේ 2 වැන්න මාරකස්‌ථානයක්‌ ලෙස ද නම්කර තිබේ. එසේම 08 අධිපති ලෙස කුජ හා රාහුගේ දැක්‌මට ලක්‌වීමද අශූභ දායකය.

දරුවන්ට කාරක වූ ගුරු ග්‍රහ

ලග්නාධිපති සිකුරුද හත්වන භාවය තුළ යෝගව සිටී. එසේම පුත්‍ර ස්‌ථාන අධිපති බුධත්, සිකුරුත් භාග්‍ය ස්‌ථාන අධිපති සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්‌ව තිබේ. එනිසා සිකුරු අතුරුදශාව තුළ සෙත් ශාන්ති වැනි ආගමික වතාවත් කිරීම තුළින් දරුඵල අපේක්‌ෂා කළ හැක.

දරුවන්ට කාරක වූ ගුරු ග්‍රහයාම 22 වන දෙර්කාණ අධිපතිවිමත් ඔහුත් පුත්‍ර ස්‌ථානය අධිපති බුධත් පුත්‍ර ස්‌ථානයත් රාහුගේ බැල්මට හසුවීමෙන් දරුවන් අහිමි කළ පාපය ඇයට ක්‍රියාත්මක වුවද එම පාපය සිකුරු අතුරු දශාවෙන් විසන්ධි වී එක්‌ දරුවෙක්‌ හෝ හිමිවන භාග්‍යය පවතී.

දරු සම්පත

කුස තුළදීම දරුවන් දෙදෙනෙකු මරා දැමූ පෙර ආත්ම කාර්මය කේතු – කුජ යන ග්‍රහයින් විසින් ඉස්‌මතු කරන ලදී. කේතු ඉතාමත් ගුප්තකාරක ග්‍රහයෙකි. කුඩුකේඩුකම් මෙන්ම යටිකූට්‌ටු සැඟවුනු රහසිගත වැඩවලට හිමිකරුවෙකි. කට්‌ටඩියෙකි. කුජ ක්‍ෂණික ලෙස ලේ සොලවන අනතුරුවලට ලක්‌ කරන්නෙකි. එනිසා දරුඵල නැතිකිරීමට පෙර භවයක රහසිගතව කළ යම් යම් ක්‍රියාමාර්ග හේතුවන අතර එය සක්‍රීය කළේ කුජය.

එය මේ භවයට විපාක ගෙන ඒමේදී එම කේතු හා කුජ යන ග්‍රහයින්ද සම්බන්ධ විය. එය නිසි ලෙස සම්පූර්ණ කිරීමට 08 අධිපති මෙන්ම දරුවන්ට කාරක ග්‍රහයාටද රාහු බලපෑම් කළේය. රාහු විශ්වයේ ප්‍රබල චුම්බක ශක්‌තියකි. කේතුටත්, කුජටත් රාහුගේ චුම්බක බලය දරුවන්ට කාරක වූත් පෙර පව් රැඳුන 08 වැන්න අධිපති වූත් ගුරුට වීක්‍ෂණ හෙලීය. එසේම දරුඵල ස්‌ථානය බාර බුධටත් ලග්නාධිපතිටත් කේතුටත්, කුජටත් ඔහුගේ වීක්‍ෂණ එල්ල කරමින් දරුඵල පෙන්වන 05 වැන්නටද ඔහුගේ කිරණ ගලා ගියේය. ඒ තුළින් පව ක්‍රියාත්මක වී දරු සෙනෙහස රාහුගේ රුදුරු නයි විෂ හෙළා විනාශ කළේය.

එසේ පාප විපාකයන්ට මුහුණ දෙමින් ඇය අතිමහත් වේදනාවකට මෙන්ම සංවේගයට කම්පනයට පත්වූවාය. එපමණක්‌ නොව දරුඵල සම්බන්ධව විශ්වාසය පවා අස්‌ථාවර විය. එසේ මානසික හා ශාරීරික වශයෙන් පාප විපාක ගලා යන්නේය.

භාග්‍ය ස්‌ථානාධිපති වූයේ සෙනසුරුය. ඔහු තමන්ගේ මූල ත්‍රිකෝණය වූ කුම්භ රාශියේම බලවත් පිහිටීමක සිටී. භාග්‍ය ස්‌ථානාධිපති යනු පෙර පිං බලය පිළිබඳ නිවේදකයාය. ඔහුගේ දෘෂ්ටියද 07 වන භාවයට මෙන්ම එහි සිටින ලග්නාධිපති 5 වැන්න අධිපති මෙන්ම කුජ කේතු දෙදෙනාටත් වැදී ඇති බැවින් සහනදායී තත්ත්වයක්‌ පවතී. පුත්‍ර කාරක ගුරුගේ දෘෂ්ඨිය ද සෙනසුරුට ලැබී තිබේ. ගුරු 22 වන දෙර්කාණ අධිපති වශයෙන් සෙනසුරුට දක්‌වන වීක්‍ෂණය එතරම් සුබවාදී නොවන්නකි. සෙනසුරුට වඩා ගුරුගේ තත්ත්වය උසස්‌ බැවිනි. ගුරු විනිශ්චයකාරවරයෙක්‌ හා සමාන ග්‍රහයෙකි. එනිසා ගුරුගේ දැක්‌ම සෙනසුරුට අභියෝගයක්‌ බඳුය.

නමුත් සිකුරු සෙනසුරාගේ අතිජාත මිත්‍රයෙකි. ඔහු භාග්‍ය ස්‌ථානාධිපති වශයෙන් සෙනසුරුගේ බැල්මට ලක්‌වීම නිසා යම් සහනයක්‌ ලැබීමේ ඉඩකඩ පවතී. එනිසා සිකුරු අතුරු දශාවේ මාස 05 දින 21 ක්‌ පවතින සෙනසුරුගේ විදශා කාලය තුළ සාර්ථක දරු පිළිසිඳ ගැනීමක්‌ සිදුවිය හැකිය. එයට සෙත් ශාන්ති වැනි ආගමික කටයුතුවල නියෑලෙමින් සිත වඩාත් ශක්‌තිමත් කළ යුතුය. දරුවා බිහිවෙන තෙක්‌ කඩින් කඩ සෙත් ශාන්ති කටයුතු මෙන්ම භාවනාදී කටයුතුවල නියෑලිය යුතුය.

22 වන දෙර්කාණ අධිපති වන ග්‍රහයාගේ තත්ත්වය

විශේෂයෙන් පැවසිය යුතු කරුණ නම් 22 වන දෙර්කාණ අධිපති වන ග්‍රහයාගේ තත්ත්වයයි. විශේෂයෙන් ඔහුට ලක්‌වන දකින භාව සහ ග්‍රහයින් අඩපණ කොට අයහපත උදාකරන්නේ ඔහුයි. ඒ අනුව දරුපල, විවාහය, රැකියාව, අධ්‍යාපනය ආදී තත්ත්වයනට අශුභ ඇතිවීම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා කේන්ද්‍රයේ සිටින තත්ත්වය අනුව ඒ ඒ අතට බලපෑම් ඇතිකරයි.

දැනට 77 වන වියේ පසුවන දරුඵල නොලත් විවාහක කතකගේ ජන්ම කේන්ද්‍රයක්‌ වූ මෙහි දැක්‌වෙන මිථුන ලග්නය දෙස බලන්න. මෙම ලග්නයට නවාංශකය වූයේ කුම්භ නවාශකයයි. එනිසා 22 වන දෙර්කාණ අධිපති වූයේ සිකුරු ග්‍රහයාය. ග්‍රහ මඩුල්ලේ සුබයෙක්‌ වන නමුදු ඔහු මෙම ජන්මාවට 22 වන දෙර්කාණ අධිපති වෙමින් අශුභයෙකුගේ භූමිකාවකට පෙරලෙන්නේ විශේෂයෙන්ම දරු ඵල සම්බන්ධයෙනි. ඇයගේ දරුඵල සම්බන්ධ ස්‌ථානය වූ 05 වන භාවාධිපතියා ඔහුමය. දරුවන්ට කාරකවූ ගුරු ග්‍රහයා සමග ඔහු කේන්ද්‍රයේ කාරක ස්‌ථානයක්‌ වූ 06 වන භාවගතව සිටී. එනිසා දරුඵල ස්‌ථාන අධිපතියාත්. දරුඵලවලට කාරකයා වූ ගුරුත් 5 වැන භාවයෙන් 12 වැන්නේ සිටී, සියලු අහිමි කිරීම් සිදුවන්නේ 12 වැන්නෙනි.

භාග්‍ය ස්‌ථාන අධිපති සෙනසුරුගේ දැක්‌මට ගුරු ශුක්‍ර දෙදෙනා ලක්‌වී තිබුණත් සෙනසුරුටම අයත් 08 වන භාවය තුළ කුජ නිවේදනය වෙමින් උච්ච බලයට පත්වීම නිසා 08 වැන්න වූ පාප ස්‌ථානයේ බලය වර්ධනය වීමෙන් සෙනසුරුගේ බලය දුර්වල මට්‌ටමක්‌ ගනී. එනිසා දරුඵල සම්බන්ධයෙන් බලගතුවූ තහංචිය වඩාත් බලවත්ම විය. මේ නිසා මෙම ජන්මාව කිසිම දරුපලයකට හිමි කාරියක්‌ නොවී මව් පදවියෙන් සදාකාලිකවම වෙන්කර තැබීය. පෙර පාප විපාක අත්කිරීමට වැඩි වශයෙන් රාහුගේ සංයෝගයද බලවත් වෙයි. එහි පුත්‍ර ස්‌ථානාධිපතියාත්, කාරකයාත් දෙදෙනාම 07 වන භාවගත රාහුගේ පීඩාවට ලක්‌ව තිබෙන බව පෙනේ. 07 වන භාවය විවාහ ස්‌ථානයයි. එහි රාහු, රවි සංයෝග වෙයි. රවිට ශනි පෙනේ. විශේෂයෙන් රවි – රාහු – ශනි සංයෝගය පවතින ස්‌ථානයට අදාළ දේවල් විසන්ධි කරන – ඈත් කරන වියෝග කරන තත්ත්වය එම ග්‍රහයින් මතුකරයි.

ඒ නිසාම එම ජන්මාව එක්‌ අවස්‌ථාවක ස්‌වාමිපුරුෂයා විසින් අත්හැර දමන ලදී. දෙවන විවාහයෙන් එසේ නොවුණත් ඔවුනොවුන් අතර එතරම් ප්‍රසන්න බවක්‌ නැත. ඒ අනුව ශාස්‌ත්‍රිය ලෙස බැලීමේදී පෙර භවයක බිලිඳු දරුවන්ට මව් සෙනෙහස අහිමි කරමින් වෙනත් සැමියකු සමඟ දරුවන් හා සැමියා තනිකර දමා වෙන් වී ගිය ක්‍රියාවක්‌ බඳු පාපයක්‌ ලෙස නිගමනය කළ හැක.

We found this article from Divaina on 2014/01/12.