අප ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 07 වැනි භාවයේ උපතේදීම දීප්ත තත්ත්වයෙන් තමයි අඟහරු හිටියේ. ඒත් ගොඩක් අය හිතන්නේ අඟහරු 07 ට හොඳ නැහැ කියලනේ. ඇත්ත තමයි සරණ බන්ධනය අසාර්ථක වුණා. ඒත් බලන්න ඒකෙන් ලෝකයට මොන තරම් සේවයක් වුණාද කියල. සියලු සත්වයන්ට තම සංසාර ගමන ආලෝකවත් කරන්න ඕන කරන පාර කියල දුන්නේ උන්වහන්සේ නෙ. මා මේ කියන්නේ දීප්ත තත්ත්වයෙන් උපතේ දී ඉන්න ඕනම නරක ග්‍රහයෙක් හොඳක් මතු කරනවා කියන එක. එතකොට අද බලන්නේ වෘෂභ ලග්නය අයිති ඔයාලට කොහොමද ග්‍රහයො දීප්ත වෙන්නේ කියලා. ඒ වගේම එයාල මොනවද කරන්නේ කියලත් ටිකක් දුරට හොයල බලන එක.
මේ ලග්නය අයිති පඨවි ත්‍රිත්වයට නේ. ඒ වගේම හරි ස්‌ථිරයි. ඒ වගේම එයාලට සීමාවක් තියෙනවා. එයාලත් නොදැනීම ඕනම ගොන් මතයක එල්ලිලා ඉන්නවා. ආත්මාර්ථකාමී ගතිය කොහොමත් වැඩියි. අල්ලක් දෙන්නේ මල්ලක් බලාගෙනම තමයි. මේ හින්දම තමයි ලෝකයේ වෘෂභ ලග්නයේ අය දියුණුවෙලා නැත්තේ. දියුණු වුණත් සල්ලිවලින් තමයි. ඒකත් හරියට අර කීමට කියන්නේ බල්ලගේ බැන්ද මීය වගේ කියල. හැබැයි මේ ගතිය පාලනය වෙනව උපතේදී දීප්ත තත්ත්වයෙන් ග්‍රහයො හිටියොත්. මේ ලග්නය අයිති ඔයාලගේ ලග්නයට සඳු දීප්තයි. ඒ වගේම රාහුත් දීප්තයි. සාමාන්‍යයෙන් ලග්නයේ පුර සඳු හොඳයි කියල කියන්නේ නැහැ.

ඒ වුණත් ඔයාලට අයිති වෘෂභ ලග්නය නම් මේක වෙනස් වෙනව. ඒ වගේම තමයි රාහුයි හඳයි එකට ඉන්න එකත් හොඳයි කියන්නේ නැහැ. ඔය හඳ රාහු අල්ලන්නේ මේ වෙලාවටනේ. හඳ රාහු වගේම ඉර රාහු අල්ලන සතියකට දෙපැත්ත හොඳයි කියන්නේ නැහැනේ. ඒත් වෘෂභ ලග්නය හිමි ඔයාලට මේකත් වෙනස් වෙනවා. මොකද ලග්නයට දීප්ත මේ දෙන්නා ලග්නයේ ඉන්න ඔයාලගේ ලග්නයත් දීප්තයි. එතකොට එතනින් කරන්න බලන්නේ හොඳක්‌ම තමයි. ඒක වෙන්නේ ඔය කවුරු කවුරුත් හිතන විදිහට නෙවෙයි. හඳ කොහොමත් සිතුවිලිවලට මුල් වෙනවනේ. එතකොට ලග්නයේ ඉන්න හඳ කොහොමත් සිතුවිලි නිපදවනවම තමයි. මේ සිතුවිලි තමයි අපි මෙහෙය වන්නේ. අප නොගියපු ඕනම තැනකට හිතෙන් යන්න පුළුවන්. නොකරපු ඕනම වැඩක් හිතෙන් කරන්න පුළුවන්. මේකට ඕන ශක්‌තිය දෙන්නේ ලග්නයේ ඉන්න සඳුම තමයි. ඒකට තමයි තුන්වැනි ඇහකින් බලනවා කියන්නේ.
ලෝකය දිහා තුන්වැනි ඇහකින් බලන්න ප්‍රබල රුකුලක් තමයි ලග්නයේ දීප්තව සඳු සිටීම. ඒ වගේම රාහු හඳට හතුරු වුණත් මෙතැනදී නම් ඒ සිතුවිලි වේගවත් කරනවම තමයි. ඒකට හේතුව මෙතෙන්ට වගේම මේ ලග්නයටත් මේ දෙන්න දීප්තිමත් වීම. ඒ විතරක් නෙවෙයි ලග්නයේ උපතේ දී සඳු ඉන්න එක මවට. ආච්චිලාට, බාලම්මලාට, කුඩම්මලාට අපලයි කියනවනේ. ඇත්ත තමයි බොහෝ වෙලාවට ලග්නයේ දීප්තිමත් මෙයාලගේ මහ දශාවකදී මේ අය අපෙන් කායිකව සදහටම සමු ගන්නවා. ඒ වගේම තමයි ලග්නයේ රාහු පියා, සීයා, බාප්පලා වගේ අයට අපල කරනවා කියන එක. මේකත් ඇත්ත. මේ මහ දශාවන්හිදී මෙයාලත් සදහටම අපෙන් සමුගන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඒක අපලයක්‌ද…? දැන් බලන්න අපේ සමීපතමයෙක්‌ගේ වියෝගයකදී අපට ඇතිවෙන හැඟීම. මොහොතකට අපෙන් තණ්‌හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය වගේ ඒවා ඉවත් වෙනව. එතකොට මේ වෙලාවට ජීවිතය ගැනත් සියුම්ව හිතනවා. මේ ජීවිතය කියන්නේ තාවකාලික නවාතැනක් කියල දැනෙනව.

මේක ගැන හොඳට හිතනකොට ලෞකික ජීවිතයෙන් අපෙන් යමක් වෙන්වෙන කොට සංසාර ගමනට සුවපත් වෙන යමක් අපට එකතුවෙනවම තමයි. එතකොට මේක සමීප නෑයන්ට අපල වුණත් ඔයාලට අපලම නැහැ කියල වැටහෙනවා ඇතිනේ. ඒ කියන්නේ හිත දියුණු වෙනවනේ. එතකොට ඔයාල මේ ලෝකය කියන්නේ සල්ලිම නෙවෙයි කියල තේරුම් ගන්නවා. සල්ලිවලට කරන්න බැරි වැඩ කොච්චර තියෙනවද කියල වටහ ගන්නවා. ආත්මාර්ථකාමීකම ටිකක් හරි අඩුකර ගන්නවා.
තුන්වැනි භාවයේ බ්‍රහස්‌පති
වෘෂභ ලග්නය හිමි ඔයාලගේ තුන්වැනි භාවයේ බ්‍රහස්‌පති තැන්පත් නම් දීප්තයි. බ්‍රහස්‌පති මේ ලග්නයට හතුරුකම් තමයි කරන්නේ. ඒත් තුනේ තැන්පත් මේ ග්‍රහයා දීප්තයි. හොඳ තමයි කරන්න බලන්නේ. හොඳයි කියන්නේ සල්ලි බාගේ ගේදොර ඉඩකඩම් ලබාදීමම නෙවෙයිනේ…?
විශේෂයෙන් මෙතන දීප්තව ඉන්න බ්‍රහස්‌පති ඔයාලගේ ජීවිතය වගේම ඇසුරු කරන්නන්ගේ ජීවිතත් ආලෝකවත් කරනවා. ඒ කියන්නේ යන යන තැන ඔයාලගෙන් ගුරුහරුකම් ගන්න පිරිස වැඩියි. මේ පිහිටීම තියෙන ළමයෙක් වුණත් සමාජයට ආදර්ශයක් වෙනවා. මේ හින්දම බලාගෙන ඉන්න සමහර දෙමාපියො අර ළමයා වගේ හැදෙන්න කියල තමාගේ ළමයටත් උපදෙස් දෙනවා. කවුරුහරි තමන් ආදර්ශයට ගන්නව නම් ඒකෙන් හොඳක් නම් වෙන්නේ අපි දන්නෙත් නැතුව අපිට පින් ලැබෙනව. මේ භවයෙ නැත්නම් ඊළඟ භවය හරි සුවපත් වෙන්න ඒක හේතු වෙනව. ඒ වගේම තමයි මේ භාවයේ නැප්චූන් ඉන්නව නම් ඒකත් බොහෝම හොඳයි. මේ දෙන්නම එකට මෙතන හිටියොත් පවුලට විතරක් නෙවෙයි රටට වගේම ලෝකයටත් අති උත්තම චරිතයක් වෙන්න වාසනාව තියෙනව.

හතරවැනි භාවයේ ප්ලුටෝ
හතරවැනි භාවයේ ප්ලුටෝ ඉන්න එකත් මේ ලග්නකරුවාට දීප්තයි. එහෙත් ග්‍රහලෝකයන්හි ඈතින්ම සිටින්නේ මෙයාය. ඒ වගේම මෙයා එකම ක්‌ෂිරපථයක ගමන් කරන්නෙත් නැහැ. දැනට ඇති තත්ත්වය අනුව මෙම ග්‍රහයාගෙන් සාමාන්‍ය ජීවිතයකට බලපාන දීප්තියක් ලබාදිය හැකිදැයි ප්‍රශ්නකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. වෙනත් ග්‍රහ බලපෑම් අභිබවා මෙම දීප්ත තත්ත්වයන් මතුවන බවකුත් පේන්නේ නැහැ.
05 වැනි භාවයේ බුධ දීප්තයි.
05 වැනි භාවයේ උපතේ දී තැන්පත් බුධ දීප්තයි. මෙතන හරි බලගතු තැනක්. ඒ කියන්නේ අපේ වර්තමාන පින් වගේම ඊළඟ ආත්මයත් පෙන්නන්නේ මෙතනින්. මෙතන තමයි ඉගෙනීම පෙන්නන්නේ. වර්තමානය අනාගතය සැපවත් කරන්න නම් හොඳ ඉගෙනීමක් ඕනම තමයි. ඉතින් මෙතන දීප්තව ඉන්න බුධ එයාලට ඒක නොඅඩුව ලබාදෙනවා. ඒ කියන්නේ වෘෂභ ලග්නේ අය ඉන්නේ සීමා වුණ පටු අදහස එක්‌කනේ. මේ ගතිය මෙතන දීප්තව ඉන්න බුධ වෙනස් කරනවා. ඒ කියන්නේ අර ළිඳක ඉන්න ළිං මැඬියෙක් මහා ජලාශයකට ගිහින් දැම්ම වගේ තත්ත්වයක් තමයි මෙතෙන්දි වෙන්නේ.
06 වැනි භාවය කියන්නේ ඕනම අයෙක්‌ගේ ලෙඩ දුක් වගේම හතුරො ගැනත් කියන තැන නේ. සාමාන්‍යයෙන් මෙතැනත් ග්‍රහයන්ට හොඳයි කියන්නේ නැහැ. ඒ වුණත් මෙතන නරකයි කියල කියන සෙනසුරු ඉන්නව නම් දීප්තයි. ඒ කියන්නේ ලෙඩ දුක් කරදරවලට ඔරොත්තු දෙනව වගේම හතුරො වුණත් මෙල්ල කරගන්න ඕන ශක්‌තිය ලැබෙනවා. ඒ කියන්නේ ඒව ගැන නිතර අවධානයෙන් ඉන්නව කියන එකනේ. 07 වැනි භාවයේ යුරේනස් ඉන්න එකත් දීප්තයි. ඒ වුණත් අපට ගොඩක් ඈත ඉන්න ග්‍රහයෙක් හින්ද ලොකු බලපෑම් කරන්න අමාරුයි. ඒත් ඔය ග්‍රහ යුද්දවලින් එහෙම දිනන මෙයා ඒ දවස්‌වලට අපට ලොකු බලපෑමක් කරන බව නම් පේනවා. ගනුදෙනුවලින් මෙයා ලාභ දෙන්න බලනවා වගේම කේතුත් එක්‌ක එකතුවෙන මෙයා එක තැන ඉඳන් හොඳ ආදායමක් ලබාගන්න ඕන කරන තුන්වැනි ඇහැක් හදල දෙනවම තමයි. වාෂභ ලග්නය හිමි ඔයාලගේ 09 වැනි භාවයේ ඉන්න කුජ දීප්තයි. ඒ වගේම මෙතනින් පෙන්නන්නේ සංසාරයේ අපි එකතු කරපු පින් තමයි. කුජ කියන්නේ නරක ග්‍රහයෙක් කියලනේ මතයක් තියෙන්නේ. හැබැයි මෙතැන ඉන්න කුජ නරක නැහැ. සිහි කල්පනාව ඉතා හොඳයි. තම මිතුරන්ගේ ඕනෑම කරදරයකදී නිර්භයව ඉදිරිපත් වේ. සියුම් ලෙස හතුරුකම් කරන සංසාරගත හතුරො හිටියත් සියල්ලෝම පරාද කරන්න හයිය ලැබෙනවා. විදේශ සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. එයින් තමාට වගේම රටටත් සේවයක් කරනවා.

11 වැනි භාවයේ සිකුරු දීප්ත වේ
11 වැනි භාවයේ උපතේ දී තැන්පත් සිකුරුත් දීප්තයි. ඒ වගේම මෙයා දීප්තිමත් වෙන්නෙ ගුරුට අයිති තැනකනේ. එතකොට හරියට අර පන්සලකට අරුමෝසම් දාගෙන හැඩවැඩ වෙලා, ටිකක් කොටට ඇඳගෙන, සෙන්ට් පවුඩර් එහෙමත් ටික්‌ක වැඩියෙන් දාගෙන ආපු ගැටිස්‌සියක් වගේ තමයි කියල හිතන්නකෝ. ඒ කොහොම ආවත් එයාට පන්සල් භූමියේ දුවන්න බැහැනේ. මඟුල් නටන්නත් අමාරුයිනේ. බණක් එහෙම කියනව නම් ඒකත් අහන් ඉන්න ඕනනේ. පූජාවටත් අත ගහන්න වෙනවනේ. එතකොට මෙයත් නිකන්ම උපාසිකාවක් වෙලා ඉවරයිනේ. සමහර වෙලාවට ඔය කොල්ලො එහෙම ඇහැක් ගහල එහෙම මනමාල බැල්මක් දාන්නේ මේ වගේ අයටනේ. එහෙම නැති අය දිහා බලන්නෙ ගෞරවයකින් නේ. මේක හරියට පෙනුණොත් මෙයත් හිතනව ඊළඟ පෝයට පන්සලට එනකොට සෙන්ට් පවුඩර් අඩු කරන්න.
දණහිසෙන් පහළට වැටෙන්න සුදු ඇඳුමක් අඳින්න. මේ වගේ තමයි මෙතන ඉන්න දීප්ත ග්‍රහයත්. හොඳ සම්බන්ධතා ඇති කරනවා. ජීවිතය සුන්දර කරනව වගේම ශාන්ත භාවයක් ඇති කරනව. මෙයාලට කාන්තාවන්ගෙන් තමයි ලැබීම් වැඩි. ඒ කියන්නේ නවකතාවක් ලීවොත් කාන්තාවන්ට විකුණන්න ලේසියි. පත්තරයක් ගැහුවොත් ඒක කාන්තා වෙනව විතරක් නෙවෙයි කාන්තාවන්ට විකුණ ගන්නත් වාසනාව තියෙනවා. සින්දුවක් එහෙම ලීවොත් ඒකට කාන්තාවො තමයි වැඩි කැමැත්තක් දක්‌වන්නෙ. නීතිඥවරයෙක් වුණොත් කාන්තාවො හිතන්නේ තමන්ගේ ගැලවුම්කරු තමයි මේ කියල. ඒ විතරක්‌ද වැරැදිලාවත් විශේෂඥ දොස්‌තර මහත්තයෙක් වුණොත් ප්‍රසව හා නාරිවේදී වෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. එච්චරක්‌යෑ… හොඳ මුදලාලි මහත්මයෙක් වුණොත් විකුණන්නේ කාන්තාවන්ට ඕන කරන බඩුමුට්‌ටුම තමයි.
12 වැනි භාවයේ රවි
ඒ වගේම වෘෂභ ලග්නය හිමි ඔයාලගේ 12 වැනි භාවයේ රවි ඉන්න එකත් හොඳයි. මෙතනත් හොඳයි කියන තැනක් නෙවෙයිනේ. ඒත් ලැබෙන ආදායම් පාලනය කරගන්න කොහොම හරි ලැබෙනව. හැබැයි ඔය දඩ කොළවලට ගෙවන්න, නඩු කියන්න වගේ ඒවට නම් ටිකක් වැඩියෙන් වියදම් පෙන්නනවා. මේ කොහොම කිව්වත් උපතේ දී ග්‍රහයො එක එක විදියටනේ ඉන්නේ. ඒකෙන් එක එක සංයෝගත් ලබනවම තමයි. මෙහිදී ලැබෙන්නේත් අමුතුම ප්‍රතිපල තමයි. ඒකනේ එක එක්‌කෙනා එක එක්‌කෙනාට වෙනස් වෙන්නේ. ඔය කියන්නේ අතේ ඇඟිලි පහ පස් විදියක් කියල. මේ හැමෝටම සාන්තුවරයො වෙන්න බැහැනේ. ඒ වුණාට සත්පුරුෂයො වෙන්න නම් බැරි වෙන්න බැහැ. සත්පුරුෂයො තමාට වගේම සමාජයටත් ආදරය කරනවා. ඒ ආදරයෙන් සමාජය ආලෝකවත් කරනවා. ඒ ආලෝකය ජීවිතයට පිනක් වෙනව. ඒ පිනෙන් උපදින සෑම ආත්මයකම ග්‍රහයන් දීප්තව පිහිටනව.
We found this article from Divaina on 2014/02/23.