සිදුවන දේ හඳහන තුළ ඇත කළ යුත්තේ එය හරියට බලා ගැනීමය

1842
හඳහන

කෙනෙක්‌ උපදින අවස්‌ථාව මුල් කරගෙන සකස්‌ කරන අහස්‌ සිතියම කේන්ද්‍රය හඳහන නැතිනම් වේලාපත්කඩය වේ. එම උපදින මොහොතේ නැගෙනහිර ආකාශයේ ග්‍රහයන් සැදී පැහැදී සිටි අයුරු ඔබේ හඳහන තුළ සටහන් වී තිබේ. තවද නැකත් 27 ක්‌ තිබුණද එදිනට සඳු සිටින නැකත තමාගේ නැකත වේ. උපන් වේලාව අනුව ලග්නය කුමක්‌ද? කියා දැනගත හැක. ඒත් එයින් පලාපල කියන්න උගත්කම තියෙන්න ඕන. ඒ කියන්නෙ තම තමන්ගෙ උගත්කම අනුව තමයි උත්තරය නිවැරැදි වන්නේ. කවුද දක්‌ෂ කියල තම තමන්ම සොයා ගත යුතුයි. නිවැරැදි ජ්‍යොතිෂ්‍යවේදියා උතුම් වස්‌තුවකි. මොකද තුන්වැනි ඇස තියෙන්නේ ඔහු ළඟ. තුන්කල් බලා කටයුතු කරන උදාරතර ජ්‍යොතිෂ්‍යවේදී මහතුන් එදා මෙන් අද ද ලංකාව තුළ ඇත.

අනාගතය ගැන කියන හඳහන

යමෙකුට සිදුවන දේ කීමට හැක්‌කේ හඳහන බැලීම තුළිනි. සිංහල පැය 60 ක්‌ දවසකට ඇති අතර ඉංග්‍රීසි පැය 24 ක්‌ තිබේ. මේ කාලයතුළ ලග්න 12 ක්‌ උදාවී ගෙවී යනු ඇත. එය තමා මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියල අපි කියන්නෙ. පුවත්පත බලන්නෙ වැඩිපුර ජ්‍යොතිෂය දන්න අය නොවේ. එම නිසා කාටත් වැටහෙන අයුරින් යමක්‌ ලියා තැබිය යුතුය. හඳහන සෑම කෙනෙක්‌ම හොඳට බලා ගත යුතු දෙයකි. තමන්ට නරක කාලයක්‌ උදාවෙලා ඇත්නම් එය දැන ගැනීම තුළින් බොහෝ දුරට බේරීමට පුළුවන.

හරියට කියනවා නම් කරුවලේ පාරේ යන කෙනකුට හුළු අත්තක්‌ නැත්නම් විදුලි පන්දමක්‌ දුන්නා වැනිය. ගල මුල වල වගේම සතා සිවුපාවා ආලෝකය නිසා හොඳට පෙනෙනවා ඇත. එමනිසා එයින් මිදී තම ගමන යැමට පුළුවන. ඒක තමයි හඳහන බලා හොඳ නරක දැනගන්න තියන්නෙ. අනික තමයි මහ වැස්‌සක්‌ එන වෙලාවට කුඩයක්‌ තිබුණ විට කකුල් දෙක තෙමුණත් ඇඟට වතුර වැදුණත් ඔළුව බේරාගන්න පුළුවනි. ඒක තමයි හඳහන බලල ඊට අදාළ ප්‍රතිකර්ම කර ගැනීම. හැබැයි ඇඟේ මාළු නටන ප්‍රතිකර්ම නොවේ. කාටත් ඉතා සාධාරණ ප්‍රතිකර්ම ජ්‍යොතිෂ විද්‍යාව තුළ තිබේ. එදා මේ වටිනා ශිල්පය බුලත් අතට කළ බව ඇත්තය. නමුත් කාලය අනුව කේන්ද්‍ර බැලීම අද රැකියාව සඳහා කරන අයද ඇත. ඒවාට අප උරණ විය යුතුද නැත. මොන දේ කළත් සාධාරණ ක්‍රමවේදයක්‌ කරන්නේ නම් එය එලොව මෙලොව දෙකටම යහපත් බව මගේ මතයයි.

කුජ හතේ, සෙනසුරු හතේ කියල විවාහ වෙන්න බැරිද? මිනිහ මැරෙනවා කියල කියන්නේ ඇයි? කුජ දෝෂය හැම ලග්නයකටම එක විදිහට යෙදෙන්නේ නැත. 22 දෙර්කාණාධිපතියා නොහොත් මාරක ග්‍රහයා හැමෝටම එක ග්‍රහයෙක්‌ වන්නේද නැත. සෙනසුරු රජ වුණත් හැමෝටම සැප දෙන්නේද නැත. ගුරු රජ වුණත් එසේමය. මොන දේ වුනත් කේන්ද්‍රය නැත්නම් හඳහන තුළට රිංගා බැලිය යුතුය. එවිට රාජ යෝග, නීච යෝග විපරීත යෝග, පංච මහා යෝග, වගේ හොඳ නරක බල දුබල හොඳින් බලා ගතහැක. සිදුවන දේ හඳහන තුළ තිබේ. මුදලට වහල් නොවී කටයුතු කරන උගත් ජ්‍යොතිර්වේදී මහතෙකුට ඔබේ හඳහන යොමුකර මා කියන්නේ ඇත්තක්‌ද කියල ටිකක්‌ හිතා බලන්න. හොඳ කරන්න දඟලන අයට කැපිලි අද කාලේ බහුලව එන බව ඇත්තකි. නමුත් “කෝප වුණත් රජ මැතිඳුන් ගත නොහෙනා – උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියන කවියක්‌ අහල ඇතිනෙ. ශිල්පය දන්න කෙනා බැබලීම කාටවත් වළක්‌වන්න බැරිය. ඔය කැපිලි කෙටිලි ඔබේ හඳහන තුළද තියෙන්න පුළුවන්. ඒ වාගේම ධන යෝගත් ඒ අතර තිබේ. සිදුවන දේ හඳහන තුළ ඇත.