Tuesday, December 16, 2025
Homesiඔබගේ උපන් දිනයට පලාපල මෙන්න

ඔබගේ උපන් දිනයට පලාපල මෙන්න

[ratings]

කෙනෙකු උපන් දිනයට අනුව, ඔහුගේ හෝ ඇයගේ හෝ පලාපල කිව හැකි ක්‍රමයක්‌ ගැන පසුගිය දිනක විස්‌තරයක්‌ කළ අතර මෙතැන් පටන් ලියන්නේ, උපන් දිනය අනුව එම පලාපලය.

ජනවාරි, පෙබරවාරි ආදී වශයෙන් මාස බෙදෙන පරිද්දෙන්, ජ්‍යෙතිෂ්‍යානුකූලව මේෂ, වෘෂභ ආදී වශයෙන්ද, මාස බෙදෙන අතර මේෂ, වෘෂභා ආදී රාශීන්, ඒ ඒ මාසවල අධිපතිත්වය දැරීමට එලෙස නම් කිරීමට හේතුවය. ඒ ඒ මාස ආරම්භ වන්නේ කැලැන්ඩර් මාසයක තෙවැනි සතියේදී පමණය.

ඒ අනුව ජනවාරි 21 වැනිදාත්, පෙබරවාරි 19 වැනිදාත් අතරතුර කාලයේ, එනම්, කුම්භ රාශිය පිළිබඳ මාසයේa, උපත ලද අයගේ පලාපල මුලින්ම විස්‌තර කිරීමට කැමතිය.

පැන් බඳුනකින් මසුනට දිය වත් කරන පුරුෂයකුගේ රුව, කුම්භ ලග්නයේ ස්‌වරූපය වන අතර පාලක ග්‍රහයා යුරේනස්‌ය.

මීට වසර 70 කට පෙර 1939 දී, උඩුගම්පළ සිද්ධායුර්වේදඥ ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥ ඩී.ඇස්‌. ගුණසේකර මහතා විසින් රචිත “ඔබ උපන්නේ කවදාද?” යන පැරණි ග්‍රන්ථයේ සඳහන් කරුණුද, මේ ලිපි පෙළ ලිවීම සඳහා උපයෝගී කරගත් වග කරුණාවෙන් සලකන්න.

යටකී කාලයේ, එනම් කුම්භ රාශියට අදාළ මාසයේ උපත ලද ගැහැනු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වභාවික ගති පැවතුම් – සැලකිය යුතු මට්‌ටමින් ක්‍රියාශූරය. වැඩක්‌ නොකර කුසීතව සිටන්නට, එනිසා කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. යම් යම් දේවල් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා උපක්‍රම සෙවීම සිරිතය. නිදහස්‌, නිවහල් ස්‌වභාවයකින් සිටීමට නිරතුරුවම කැමැත්ත දක්‌වන අතර සියලු දෙයක්‌ම වාගේ සිය කැමැත්තට අනුකූලව සිදු කිරීම පුරුද්දය. අනුන්ගේ දේවල් සොයා බලන්න කැමැත්තක්‌ නොදක්‌වන තරම්ය.

කිසියම් දෙයකට හේතුපාදක වූ මුල් හේතු සාධක ගැන සිතා බලන්න පෙළඹෙන්නේ, උපක්‍රම සෙවීමේ හැකියාවත්, ක්‍රියාශූරත්වයත් නිසාය. බොහෝ විට ඒ තුළින් විවිධාකාර ප්‍රතිඵල ලැබෙන්න බැරිකමක්‌ නැත. සමහරවිට කුඩා දෙයකින් අලුත් විධියේ යමක්‌ සොයා ගන්නට වුවද ඔවුන්ට පුළුවන. ඔවුන් දෙසට පියවරක්‌ තැබීමට ලෝකයාද නිතරම වාගේ කැමැත්තක්‌ දක්‌වන සුළුය.

ඔවුන් අවංකභාවයේ ප්‍රතිමූර්ති බඳුය. කුම්භ රාශිය පිළිබඳ මාසයේ උපන් කොයිකවුරුත්ම වාගේ, සිතින්ද, වචනයෙන් හා ක්‍රියාවෙන්ද, මිල මුදල් පිළිබඳ කටයුතු වලින්ද, සිය මිතුරු මිතුරියනුත් අවංක අය වෙතැයි අපේක්‍ෂා කරති.

යම් යම් යහපත් ගතිගුණ මෙන්ම අයහපත් ගතිගුණද ඔවුන් තුළ පැවැතිය හැකිය. අසල්වාසීන්ට සංග්‍රහ කිරීමේදී දුර්වල ස්‌වභාවයක්‌ද දක්‌වන සෙයකි. කිසියම් කෙනෙකුගේ අදක්‍ෂභාවය ඔවුන්ට රුස්‌සන්නේ නැත.

ඔවුන් සලකන්නේ ඔවුන් හා සමග ඉතා කුලුපඟව සිටින අය හැර අන් සියල්ලන්ම වරදට බර අය හැටියටය.

තමන්ගේ මනාපයට අනුකූල නොවන්නන් කෙරෙහි ඉවසීමකින්, ඇල්මකින් සිටීම ඔවුන්ට යහපත්ය.

ජීවිතයේ තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය – නිරෝගී මන බඳනා සිරුරක්‌ තිබිය හැක්‌කේ, සනීපවත් භාවය සම්බන්ධයෙන් වාසනාවන්ත ස්‌වභාවයක්‌ ඔවුන් තුළ පවතින හෙයිනි. ශරීරයේ කිසියම් ඉන්ද්‍රියක්‌ දුර්වල නම්, එය ඔවුන්ගේ හෘදය වස්‌තුව පමණය. මුළු ජීවිතයම රඳා පවතින්නේ හෘදය වස්‌තුව මත නිසා, ඒ පිළිබඳව දැඩි අවධානයකින් යුතුව සිටීමට මතක තබා ගත යුතුය. අධික ලෙස වෙහෙස වීමෙනුත් බර වැඩ කිරීමෙනුත්, වැළකී සිටීමට වයස 40 න් පසුව අදිටන් කර ගැනීම යෙහෙකි. දෑස කෙරෙහිද දැඩි අවධානයක්‌ යොමු කළයුතු අතර තරුණ වියට පෙර අවිධියේදී දෑස ආබාධයට ලක්‌විය හැකි නමුත් තරුණ විය ගෙවී යත්ම එවැනි තත්ත්වයක්‌ මතු නොවිය හැකිය.

විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය – අතමිට මිල මුදල්ද, විවේකයක්‌ද තිබෙනවා නම්, විනෝද ගමන්වල නිරත වීමට දක්‌වන්නේ බලගතු කැමැත්තකි. පිට රටවල සංචාරය කිරීමටද එසේමය. එවැන්නකට ඉඩකඩක්‌ නැත්නම්, සුළු සුළු විනෝදාත්මක ක්‍රියාවල නියෑලී සතුටු විය හැකිය. විවේක කාලයන්හිදී යම් යම් සූක්‍ෂම දේවල් තනා හෝ පිරිසක්‌ හා සමග එක්‌ව ක්‍රීඩාවල යෙදී හෝ තෘප්තියක්‌ ලබන්න පුළුවන.

කරන රැකී රක්‍ෂා යනාදිය – උපක්‍රම සෙවීමට හා යෙදීමට ඔවුන් තුළ දක්‍ෂතාවක්‌ පවතින නිසා, වෙළහෙළදාම් කටයුතු සඳහා ඔවුන් සුදුස්‌සන්ය. අදාළ කාලය තුළ උපදින කාන්තා පක්‍ෂයටද, ඔවුන්ගේ ස්‌වාමිත්වය යටතේ කරන රැකී රක්‍ෂාදිය ඉතා යහපත්ය. ඔවුන් තුළ ද පවත්නා උපක්‍රම සෙවීමේ හැකියාව වැඩිදියුණු කර ගතහොත්, කාර්ය සංවිධානය තුළින් ඔවුන්ට අධික ලාබ ප්‍රයෝජන ලබාගත හැකිය.

සිය කාමරය තුළ තිබෙන බඩු බාහිරාදිය නිරතුරු පිළියෙල කිරීම එම කාලය තුළ උපදින කාන්තාවන්ගේ සිරිතකි.

ප්‍රේමය හා විවාහ ජීවිතය – කුම්භ රාශියට අදාළ මාසයේ උපන් අයගේ ස්‌වභාවය වචනයෙන් හෝ ලිපියකින් හෝ සිය ප්‍රේමය ප්‍රකාශ කිරීමට මැලිකමක්‌ දැක්‌වීමය. පිරිමි අය නම්, ප්‍රේමය සඟවන්නන්ය. ඔවුන් යුග දිවි ගමන ආරම්භ කරන්නේ, ඒ සඳහා සිතින් බල කරනු ලැබීමෙන් පසුවය. අසත්‍ය වර්ණනාදියෙන් ප්‍රේමයට අදාළ කටයුතුවලදී ඔවුන්ට බාධා පැමිණෙන්නටද පුළුවන. පෙම් සබඳතාවන්ට සෙස්‌සන් මෙන් සම්බන්ධ නොවන්නටද බැරිකමක්‌ නැත. ගැහැනු පිරිමි දෙදෙනාම එම වකවානුව තුළ උපන් අය වුවහොත් බොහෝ විට එවැනි තත්ත්වයක්‌ උදාවිය හැකිය. විවාහයෙන් පසුව වුවද ඔවුහු ප්‍රේමයෙන් සීමා කෙරුණු අය නොවෙති.

විවාහ ජීවිතයට එළඹ අවුරුදු ගණනාවක්‌ ගත වූවත්, දෙදෙනාගේ, කුලුපඟතාව, සමගිය පෙර පරිදි පවත්වාගෙන යැමට දෙදෙනාම උත්සාහ දක්‌වති.

ශුභ දවස – සඳුදාය

වාසනාව උදා කරදෙන වර්ණය, මැණික්‌ වර්ගය හා ලෝහය – ඔවුන්ට ශුභඵල උදාකරදෙන වර්ණ, නිල් හා කළු වර්ණය. අඹතේස්‌ත මැණික්‌ පැළඳීමෙන් වාසනාව උදාකර ගත හැකිය. වාසනාව උදාකරදෙන ලෝහයක්‌ ඔවුන්ට නැත.

සෑම වසරකම ශුභාශුභ කාල වකවානු – මැයි 21 ත්, ජුනි 21 ත් අතර කාලය හා සැප්තැම්බර් 23 ත්, ඔක්‌තෝබර් 23 ත් අතර කාලයත් ඔවුන්ගේ ශුභ කාල වකවානුය. ජීවිතයේ සෑම ශුභ කටයුත්තක්‌ම එම කාලයන් ඇතුළත සිදුකළ හොත් මහඟු ප්‍රතිඵල නෙළා ගන්න බැරිකමක්‌ නැත.

අප්‍රේල් 20 ත්, මැයි 20 ත් අතර කාලය අශුභ කාලය වන හෙයින්, සියලු කටයුතුවලදී මොළය කල්පනා කොට ප්‍රවේශම් වීම යෙහෙකි.

තමන්ගේ සිතැඟියාවන් පරිදි සියලු කටයුතු මැනවින් ඉටුවන සෙයක්‌ අවුරුද්දේ සමහර මාසවලදී හැඟෙන්නේද සෙසු මාසවලදී ඊට ඉඳුරා පටහැනි ස්‌වභාවයක්‌ හැඟෙන්නේද එම ශුභාශුභ කාල වකවානුවලදීය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments