Friday, September 12, 2025
Homesiනිවසක්‌ තැනීමට ඉඩමක්‌ සුදුසු කරගන්නේ කෙසේද!

නිවසක්‌ තැනීමට ඉඩමක්‌ සුදුසු කරගන්නේ කෙසේද!

[ratings]

නිවසක්‌ තැනීම සඳහා ඉඩමක්‌ තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු බොහෝ ඇත. නුසුදුසු ඉඩමක්‌ හිමි කෙනෙකු නිවස තැනීමට පෙර පළපුරුදු වාස්‌තු උපදේශකවරයකුගේ උපදෙස්‌ ලබා ගෙන ඉඩමෙහි වාස්‌තු දෝෂ ඉවත් කරවා ගත යුතුය. මේ සඳහා සමහර විට සෑහෙන මුදලක්‌ වියදම් කිරීමට සිදුවේ. එහෙත් දොස්‌ සහිත ඉඩමක නිවස තනා කරදර විඳිනවාට වඩා මුදලක්‌ වියදම් කර දොස්‌ ඉවත් කර ගැනීම ප්‍රඥාගෝචරය.

ඉඩම් කැබලි විවිධාකාර හැඩයෙන් යුක්‌තය. දේශීය වාස්‌තු විද්‍යාවේදී විවිධ හැඩයෙන් යුක්‌ත ඉඩම් වර්ග දහසයකට බෙදා ඇත. හතරැස්‌ ඉඩම, සෘජු කෝණාශ්‍රාකාර ඉඩම, වෘත්තාකාර ඉඩම, සතරැස්‌ මැද උස්‌ ඉඩම නිවාස සෑදීමට සුදුසු ඉඩම් වේ. ත්‍රිකෝණාකාර ඉඩම, විෂම ඉඩම, වක්‍ර ඉඩම, දණ්‌ඩ ඉඩම, බෘහත්මුඛ ඉඩම, පොරෝ ඉඩම, සකට ඉඩම, ධනුර් ඉඩම, පනා ඉඩම, කුලු ඉඩම කුර්ම ඉඩම, කූඨ ඉඩම නිවාස තැනීමට සුදුසු තැන.

නිවාස තැනීමට සුදුසු නැති ඉඩම් කැබලි පිළිබඳව කෙටි විස්‌තරයක්‌ පහත දක්‌වමි.

ත්‍රිකෝණ ඉඩම – මුළු තුනකින් යුත් ත්‍රිකෝණ ඉඩමකි.

විෂම ඉඩම – පැති කීපයකින් යුක්‌තය. පැතිවල දිග එකිනෙකට වෙනස්‌ය.

වක්‍ර ඉඩම – කරත්ත රෝදයක හැඩයෙන් යුක්‌ත වේ.

දණ්‌ඩ ඉඩම – ලී කොටසක හැඩය ඇති පළල අඩු දිග වැඩි ඉඩමකි.

බෘහත් මුඛ ඉඩම – මිනිස්‌ මුහුණක හැඩය ඇති ඉඩමකි

පොරෝ ඉඩම – පොරෝ තලයක හැඩයෙන් යුක්‌තය.

සකට ඉඩම – කරත්තයක හැඩය ඉඩමකි.

ධනුර් ඉඩම – දුන්නක හැඩය ඇත.

පනා ඉඩම – පනා බෙරයක හැඩයෙන් යුක්‌තය.

කුලු ඉඩම – කුල්ලක හැඩය ඇත.

කුර්ම ඉඩම -ඉදිබුවකුගේ පිටේ හැඩය ඇත.

කූඨ ඉඩම – වේ තුඹසක හැඩය ගත් ඉඩමකි.

නුසුදුසු හැඩයෙන් යුත් සමහර ඉඩම්වල ඉතා පහසුවෙන් වාස්‌තු දෝෂ ඉවත් කර ගත හැකිය. සමහර ඉඩම්වල දෝෂ ඉවත් කර ගැනීම ඉතා දුෂ්කරය. පළලට වඩා සියයට විසි පහක්‌ දිගින් යුත් සෘජු කෝණාශ්‍රාකාර ඉඩම් නිවාස තැනීමට සුදුසුය. පළල අඩි සියයක්‌ නම් දිග අඩි එකසිය විසි පහක්‌ විය යුතුය.

ඉඩම සමතලා නම්, එම ඉඩමද ශුභඵල ලබා දෙයි. බෑවුම් සහිත ඉඩම් සුදුසු පරිදි සකසා ගත යුතු වෙයි. සතර පැත්තෙන්, තුන් පැත්තකින් හෝ දෙපැත්තෙන් බෑවුම් සහිතව පහළ පිහිටා ඇති ඉඩම් සුදුසු නැත. එය වාස්‌තු දෝෂ සහිතය. අනෙක්‌ අතින් එවැනි ඉඩම්වල වැසි ජලය බැස යාමේ ක්‍රම සැකසීමද දුෂ්කරය. මුදල් වියදම් කර පස්‌ පුරවා එවැනි ඉඩම් සකස්‌ කර ගත හැකිය.

නිවසට පැමිණෙන මාර්ගයට වඩා උසින් පිහිටි ඉඩම් ශුභයි. එවැනි ඉඩම්වල නිවාස තැනීමෙන් නිවසේ අලංකාරයද වැඩි වේ. ඉඩම මාර්ගයට සමාන උසින් පිහිටියේ නම් අත්තිවාරම අඩියක්‌ හෝ අඩි එක හමාරක්‌ හෝ උසට ගැනීම සුදුසුය. එවිට වැසි ජලය බැස යාමේ ක්‍රම සකස්‌ කර ගැනීම පහසුය.

සමතලා කළ නොහැකි බෑවුම් සහිත ඉඩමක නිවාස තැනීමේදී සාලය සහ කෑම ගන්නා කාමරය උස්‌ව තැබීම යහපත්ය. මුළුතැන් ගෙය පමණට වඩා පහත් නොකළ යුතුය. පඩි පෙළ කීපයක්‌ නැඟêමත් බැසීමත් ගෙදර නිවැසි අයට කරදරයකි. දිනකට ගෘහිණියක්‌ මුළු තැන් ගෙයත් නිවසේ ප්‍රධාන දොරටුවත් අතර, කීවාරයක්‌ ගමන් කරන්නේද? ඇය වයසට පත්වන විට පඩි පෙළ සහිත නිවස ඇයට මහත් කරදයක්‌ විය හැකිය. දණහිස්‌ අමාරුව පාදවල අසනීප ඇති අයට මෙවැනි නිවාස මහත් වදයකි.

ඉඩමේ හරි මැද උතුරු කටුව තබා දිසා සතර සහ අනු දිශා සතර නිවැරැදිව සොයා ගන්න. ඉන් පසුව ඉඩමේ බෑවුම පවතින්නේ කුමන දිසාවකට දැයි ඔබට වැටහෙනු ඇත. ඉඩමේ බෑවුම උතුරට හෝ නැගෙනහිරට හෝ ඊසාන දිසාවට හෝ ඇත්නම්, එය ඉතා ශුභයි.

බෑවුම වයඹට හෝ දකුණට හෝ පවතින්නේ නම් මධ්‍යස්‌ථය. බටහිරට හෝ නිරිතට හෝ ගිනිකොණට බෑවුම තිබේ නම් එය අශුභයි.

වගුරු බිමක්‌ හෝ පහත් බිමක්‌ ගොඩ කිරීමේදී මෙන්ම, උස්‌ බිමක්‌ කපා සමතලා කිරීමේදී ද බෑවුම ශුභ දිශාවකට වැටෙන ලෙස සකස්‌ කළ යුතුය. බෑවුම සහිත ඉඩමක්‌ සමතලා කිරීමට නොහැකි අවස්‌ථාවලදී මට්‌ටම් කීපයකට නිවස තනන්නේ නම් ඒ ගැන ඉතා කල්පනාකාරී විය යුතුය. ඉඩමේ උස මට්‌ටමේ සිට කොන්ක්‍රීට්‌ තට්‌ටුව සමතලාවට දමා එයට යටින් ගරාජය හෝ ගබඩා කාරමය හෝ තැනීම ඉතා ශුභයි.

මෙවැනි අවස්‌ථාවලදී පළපුරුදු වාස්‌තු විද්‍යා උපදේශකවරයකුගේ උපදෙස්‌ අනුගමනය කිරීම මැනවි.

We found this article from Divaina on 2011/09/30.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments