Friday, September 12, 2025
Homesiලොව යුග සතර පිළිබඳ මත විවරණය

ලොව යුග සතර පිළිබඳ මත විවරණය

[ratings]

හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි යන ආගම්වල පෙන්වන පරිදි විශ්වය මහේශාක්‍ය දෙවියකු විසින් නිර්මාණය කරන ලද්දකි. හින්දුන් මේ මැවුම්කරු “මහා බ්‍රහ්මයා” නමින්ද, ඉස්‌ලාම් බැතිමතුන් “අල්ලා” නමින්ද කිතුනු බැතිමතුන් “යොහොවඃ” නමින්ද හඳුන්වයි. ශුද්ධ වූ බයිබලයේත් ශුද්ධ වූ කුරාණයේත් දැක්‌වෙන පරිදි විශ්වයේ නිර්මාණය අවුරුදු පන්දාහකට වැඩි නොවේ. එහෙත් වෛදික ග්‍රන්ථවල දැක්‌වෙන අන්දමට පෘථිවියේ වයස වසර 362,880,000 කට වඩා පැරණිය. ක්‍රි. පූර්ව හයවැනි සියවසේ භාරතයේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ මැවුම්කරුවකු ඇතැයි තිබූ මතය මිථ්‍යාවක්‌ බවත්, ලෝකයේ මුල නොපෙනෙන බවත් පෙන්නුම් කළ සේක. බුද්ධ කාලයේ පහළ වූ ජෛන ආගමද මැවුම්කරුවකු ගැන තිබූ මතය ප්‍රතික්‍ෂේප කොට ඇත.

වෛදික ග්‍රන්ථ අනුව ලෝකය යුග 4 කට බෙදා වෙන් කොට ඇත. භගවත් පුරාණයේත්, ඓතිරීය බ්‍රාහ්මණයේත් මේ ගැන දීර්ඝ විස්‌තර සඳහන්ය. මෙයින් පළමු යුගය වන කෘත යුගයට වර්ෂ 17,28,000 ක්‌ද ත්‍රෙතා යුගයට වර්ෂ 12, 96,000 ක්‌ද ද්වාපර යුගයට වර්ෂ 8,64,000 ක්‌ද කලියුගයට වර්ෂ 4, 32,000 ක්‌ද වෙන් කොට ඇත.

කෘත යුගය

“කලිඃ ශයාතො භවතී – සංජීවා නස්‌තු ද්වාපරඃ – උත්තිෂ්ඨ සෙත්‍රාතා කෘතංභවති සම්පද්‍යා තේචරං”

ඓතරීය බ්‍රාහ්මණයෙහි සඳහන් ඉහත කී ශ්ලෝකයෙන් පැවසෙන පරිදි කෘත යුගය ඉතා උතුම් යුගයක්‌ බවත් එය ඇවිදින යුගය බවත් අදහස්‌ වේ. මහා භාරතයේද මේ ගැන කරුණු දැක්‌වෙයි. මිනිසුන් රත් භාජනවල බොජුන් ගත් අතර ඉතා දියුණු යහපත් මිනිසුන් බවද ප්‍රකාශ වේයි. ආර්යයන් ඉන්දියාව දක්‌වා විහිදෙමින් සත්ව පාලනය කළ අවධිය මෙසේ දැක්‌වීයෑයි සිතේ. අභ්‍යන්තර ගැටුම්වලින් තොරව සමාදානයෙන් සිටි ඔවුන්ට කරදර නොමැති විය. මෙසේ වර්ෂ 17,28,000 ක්‌ ගෙවී ගියේය. ලෝකයේ යහපත සඳහා වරින්වර මනුලොවට සම්ප්‍රාප්ත වූ මහා විෂ්ණු දෙවියෝ මේ යුගයේද මත්ස්‍ය, කුර්ම, වරාහ, නරසිංහ යන අවතාරවලින් පහළ වූ බව වෛෂ්ණවයෝ කියති. නවීන විද්‍යාවටත්, චාල්ස්‌ ඩාවින් පඬිතුමාගේ පරිණාමවාදයටත් එකඟව හින්දු ධර්මයේ විෂ්ණු අවතාර දක්‌වා ඇති බව කිව යුතුය. ජීවීන් මුල්ම ජලයේ පහළ වූ බවත්, අනුක්‍රමයෙන් පසුව දිය ගොඩ දෙකේම වාසයට හුරු පුරුදු සතුන්ද අනතුරුව තිරිසන් සතුන්ද ඉන් පසුව අඩක්‌ මිනිස්‌ ලකුණු හා අඩක්‌ සිව්පා ලක්‌ෂණවලින් යුක්‌ත සතුන්ද පහළ වූ බව ජීව විද්‍යාව කියයි. විෂ්ණුගේ පළමු අවතාරය මාළුවෙකි. දෙවැනි අවතාරය දිය ගොඩ දෙකෙහිම විසිය හැකි කුර්මයාය (ඉදිබුවාය). තෙවැනි ඌරු අවතාරයකි. ඉන්පසු අඩක්‌ මිනිස්‌රුවකින්ද, අනෙක්‌ අඩ සිංහ රූපයෙන්ද යුක්‌ත “නරසිංහ අවතාරය” පහළ විය.

ත්‍රෙතා යුගය

ත්‍රෙතා යුගයේදී මහා බ්‍රහ්මයා යාගය ලොවට දුන්නේය. යුගයකින් නව යුගයකට පිවිසීමට ලොකුම දායාදය වූයේ යාග කිරීමය. විෂ්ණු දෙවියෝ මේ යුගයේදී, වාමන, පරිශූරාම, රාම, චන්ද්‍ර යන අවතාරයන්ගෙන් පහළව වික්‍රමයන් කළහ. රාමායන කාව්‍යයේ යාගයන්ගේ පල මහත් විභූතියෙන් වර්ණනා කර ඇත. සූර්ය වංශයට අයත් කකුස්‌ත, ත්‍රිසංකු, හරිශ්චන්ද්‍ර, මරුදත්ත, සාගර, අංශුරාම, රඝූ, අජ, දශරථ, රාම යන රජවරුන් මිහිපිට රාජ්‍ය කළේ ත්‍රෙතා යුගයේදීය. මිනිසුන්ගේ පරාමායුෂ මෙකල අවුරුදු 10000 ක්‌ බවත්, මිනිසාගේ උස තුදුස්‌රියනක්‌ බවත්, ආහාර වැළඳුවේ රිදී භාජනවල බවත් මිනිසුන් දාන ධර්ම චර්යාවෙහි යෙදෙමින් උග්‍ර තපස්‌ රැකි බවත් භගවත් පුරාණයෙහි දැක්‌වෙයි. එසේම ත්‍රෙතා යුගයේදී මිනිසුන්ගේ පව් කොටස්‌ එකකි. පින් කොටස්‌ තුනකි. කිසිදු රෝගයක්‌ මිනිසුන්ට නොතිබිණි. මේ යුගයේ සටන් ගැන දීර්ඝ විස්‌තර රාමායනයේ එයි. අවුරුදු 12,96,000 ක්‌ මේ යුගයට අයත්ව තිබී ඉකුත් වී ඇත.

ද්වාපර යුගය

ද්වාපර යුගයේදී මිනිසුන් ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පත්විය. ඓතරීය බ්‍රාහ්මණයෙහි පෙන්වා ඇත්තේ මේ යුගය මද ගමනින් යුක්‌ත වූ බවය. මිනිසුන් තඹමෙන් වටිනාකමින් අඩු කොට පෙන්වා ඇත්තේය. මේ යුගයට අයත් වර්ෂ 8,64,000 ක්‌ දැනට ඉකුත් වී ගොසිනි.

කලියුගය

දැනට අප පසුවන අවධිය කලියුගය හැටියට හඳුන්වයි. ක්‍රි. පූර්ව 3102 දී ආරම්භ වූ කලියුගයට වර්ෂ 4,32,000 කි. වෛදික මතය අනුව ඉතාම පිරිහුණ යුගය කලියුගයයි. කලියුගය අවසානයේදී ලෝක විනාශයක්‌ සිදුවේ. එකල්හි ලෝක සංරක්‌ෂක මහා ශ්‍රී විෂ්ණු දෙවියෝ කල්කි අවතාරයෙන් ලොව පහළ වී ධර්මය පිහිටුවන බව වෛෂ්ණවයෝ කියති.

ලෝක විනාශයක්‌ ගැන බෞද්ධ පොත පතේද සඳහන් වේ. බෞද්ධ මතය අනුව අවසාන කල්පය වූ මේ කල්පය මහා භද්‍ර කල්පය හෙවත් යහපත් කල්පය ලෙස සැලකේ. මිනිසා ආහාර නිපදවීම අතින් පමණක්‌ නොව වෙනත් නව නිෂ්පාදන සෙවීම අතින්ද මෙම යුගයේ දියුණුවට පත්වී ඇත. නමුත් මිනිසාගේ උසස්‌ ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් පිරිහෙන ලකුණු ඇති බව පැහැදිලිය.

සෑම වෙලාවේදීම බලාපොරොත්තු රහිත දේ සිදුවන විටෙකදී පුදුම නොවන ඇතැම් අය “කලියුගයේ හැටි ඔහොම තමා” යනුවෙන් කීමට පුරුදු වී ඇත.

බෞද්ධ මතය අනුව නව නිෂ්පාදන අතින් දියුණු වී ඇතත් වෛදික මතය සනාථ කරමින් ඉතාම පිරිහුණු යුගය හැටියට කලියුගය සඳහන් කළ හැකිය.

We found this article from Divaina on 2012/03/16.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments