[ratings]
සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළ නැකැත්වලට ප්‍රමුඛ ස්‌ථානයක් හිමිව ඇත. දළදා පෙරහැර ප්‍රධාන කොට අප රටේ පැවැත්වෙන සියලු බෞද්ධ ආගමික කටයුත්තක්‌ම ආරම්භ වන්නේ සුබ නැකතකිනි. එසේම බෞද්ධ ජන ජීවිතයේ සෑම වැදගත් අවස්‌ථාවකදීම සුබ නැකැත් පිළියෙල කරගනු ලැබේ. අනෙකුත් ජන කොටස් තුළද සුබ නැකැත් කෙරෙහි සෑහෙන තරම් විශ්වාසයක් පවතී. ඒ නිසා සුබ නැකතට අප රටේ විශේෂ ස්‌ථානයක් හිමිවේ. මෙය අතීතයේ සිටම පැවැත එන අපගේ ඓතිහාසික සංස්‌කෘතික උරුමයකි.
පැරැණි හෙළදිව දරුවකු ඉපදීමට පෙරත් සුබ නැකැත් බලා ඇත. මවකට හත්මස පිරෙන විට ගණිතයකු ගෙන්වා නැකැත් පරීක්‍ෂාකර කිරිමව්වරුන් පත්කිරීම සිදුකර ඇත. ගැබතුළ සිටින දරුවකුට මාස 7 යනු තීරණාත්මක කාලයකි. දරුවාගේ ආයු පරික්‍ෂා කළ යුතු හොඳම වෙලාව එයයි. නොපවතින දරුවකුට කිරිමව්වරු පත්කර ඵලක් නැත. ඒ නිසා ප්‍රබල අවශ්‍යතාවක් හා අභියෝගාත්මක වගකීමක් ජ්‍යොතිෂවේදීන් ඉටුකළ මොහොතක් ලෙසට මෙය වැදගත් වේ. කාව්‍යශේඛරයට අනුව උපන් දරුවා පියාට පෙන්වීමටද නැකතක් සාදා තිබේ.
නම් තැබීම හා බත් කැවීම පුරාණයේ සිටම සිදුකර ඇත්තේ සුබ නැකතකිනි. සීහබා සීහවල්ලි දෙදෙනාට නම් තැබීම හා බත්කැවීම සත්මසකින් පසු යෙදුණ සුබ නැකතින් එකවර සිදුකළ බව සිහබා අස්‌නේ සඳහන් වේ. මුහුර්ත චින්තාමනිය මෙයට වෙනස් අදහසක් දැරුවත් පහළ ඌවේ නැකැත්පොත ඉහත චාරිත්‍රය පිළිගෙන ඇත. නම් තැබීමේදී උපන් නැකතට හිමි අකුර හෝ සීහෙන නැකතකට හිමි අකුරකින් නම් තැබීම වර්තමානයේ සිදුවේ. පැරැණි ලක්‌දිව උපන් නැකතම පාදක කරගෙන නම් තබා ඇත. එය අසුබ වූ විට පමණක් වෙනත් නමක් යොදාගෙන ඇත. ඒ අනුව අනුර නැකතින් අනුරාධ, බෙරන නැකතින් භරණ, පුෂ නැකතින් පුෂ්‍යදේව, රෙහෙන නැකතින් රෝහණ යන නම් තබා තිබේ.
සුබ නැකතින් ආභරණ පැළඳ වූ බව පට්‌ටබන්ධන මංගල්‍ය හා කඩුබැඳි මංගල්‍ය සුබ නැකතින් සිදු කිරීමෙන් පෙනීයයි. පට්‌ට බන්ධනය යනු නළල්පට බැඳීමයි. රජතුමාට හා අගමෙහෙසියට සුබ නැකතින් නළල් පට බැඳ ඇත. දෛවඥ කාමෙනුවේ මේ සඳහා විස්‌තර ඇතුළත් වේ. බුවනෙකබා රජු ධර්මපාල කුමරුට සුබ නැකතකින් ආභරණ පැළඳ වූ බව සීතාවක හටනෙහි සඳහන් වේ. සුබ ගමන් ඇරැඹීමට සුබ නැකැත් යෙදූ බවට බොහෝ ඉතිහාසගත තොරතුරු ඇත. සැලළිහිණි, ගිරා, නීලකොබෝ දියසැවුල් ආදී සංදේශ රැගෙන එම පක්‌ෂීන් පිටත් වන්නේ සුබ නැකතිනි. පළමුවැනි හා දෙවැනි පැරකුම්බා රජවරු ගමන් බිමන් පිටත්වූයේ සුබ නැකතින් බව මහාවංශය කියයි. මන්දාරම් පුවතට අනුව සෙනරත් රජු මඩකලපුව බලා පිටත්වන්නේ සුබ නැකතකිනි.
විවාහය සඳහා සුබ නැකැත් යොදා ගැනීම අතීතයේ සිටම සිදුව ඇත. ඒ පිළිබඳ ඉතා වැදගත් සටහනක් තොටගමු ශ්‍රී රහල් හිමියන්ගේ කාව්‍යශේඛරයේ තිබේ.
ඵලද පබ ඉක්‌බිති – සත්වන තැන ගහන් නැති
මොහොතු සඳ බල ඇති – විවා මඟුලට සෙද පටන්ගති
රාහුල හිමියන් ජ්‍යෙතිෂයේ විශාරද පඬිවරුවනකි. විවාහයට සුබ මොහොත පැවැසුයේ එබැවිනි. දෙවැනි පැරකුම් නරනිඳුද එවැනිම දැනුමක් සහිත වූහ. කව් සිළුමිණෙහි එතුමා සඳුට රෝහිණී. නැකත මෙන් පබාවතියට කුස ගැළපුණ බව සඳහන් කරයි. සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හිමියන්ගේ මෙම සටහනින්ද පැරැණි ලක්‌දිව විවාහ නැකැත් ගැන අවබෝධයක් ලැබිය හැක.
මෑණියෝද ඔබ ගොසින් සරණ විචාරා නිලකොට කැඳවාගෙන යන්ට නිසි නැකතකුත් විචාරාලා නිසි නැකතින් ගෙනවුත් පුතණුවන්ට පාවා දුන්හ. විවාහය සුබ නැකතින්ම පෙර සිටම සිදුවූ බවට මෙය හොඳ නිදසුනකි.
දෙවනපෑතිස් යුගයේ පටන් සියලුම රජවරුන් ඔටුනු පැළැඳවූයේ සුබ නැකතිනි. අභිෂේකය සුබ නැකතින්ම වියයුතු බව මහාවංශය කියයි. මහ පැරැකුම් නිරිඳුගේ අභිෂේකය සමෘද්ධිමත් නක්‍ෂත්‍ර මුහුර්තයෙන් සිදුකළ බව මහාවංශයේ සඳහන්ව ඇත. පොළොන්නරු හැටදාගෙයි සෙල්ලිපියේ සාහසමල්ල රජුගේ අභිෂේකය සිදුවූ නැකත සටහන් වේ. සවැනි පැරකුම් මහරජුගේ අභිෂේකය සුබ නැකතින්ම වූ බව රාජාවලිය කියයි. රාජාධිරාජසිංහ රජුගේ අභිෂේකය ශකවර්ෂ 1707 දුරුතු මස අව දශවක තිථියලත් බුධදින පෙරවරු දසපැය වෙලාවට යෙදුණ සුබ නැකතින් සිදුවිය. රාජාභිෂේකය සුබ නැකතින් සිදුවූ බවට ඕනෑතරම් ඓතිහාසික සාධක දැක්‌විය හැක.
එපමනක් නොව රාජ්‍යයට අයත් සියලු ප්‍රධාන තනතුරු භාරගැනීමද පුරාණයේ සිටම සුබ නැකතින් සිදුවූ බවට තොරතුරු මහාවංශයේ ඇත. යුවරජු සේනාපති මෙන්ම අග මෙහෙසියද සුබ නැකතින් නළල් පට බැඳිය යුතු බව දෛවඥ කාමෙනුව කියයි. සිංහල රාජාවලිය ආරම්භයේ සිට මේ දක්‌වාම මෙම චාරිත්‍රය නොනැසී පවතී.
යුද කටයුතු සඳහා නැකැත් යොදා ගැනීමද හෙළ රජවරුන් විසින් සිදුකර ඇත. රජ කුමරකුගේ උපතේ සිට අභාවය දක්‌වා සියලු කටයුතුවලට නැකැත් යොදාගෙන තිබෙන අතර ලංකාවේ සිදුවූ ජයග්‍රාහී මහ සටන් සියල්ලටම නැකැත් යොදාගෙන තිබේ. සෙනරත් රජු සමයේ දෙවැනි රාජසිංහ කුමරු රන්දෙණිවෙල මහා සටනට පිටත් වූයේ ඇසළ මස අව එකොළොස්‌වක තිථියලත් ගුරුදින පුවපල් නැකතිනි. 1636 සිදුවූ ගන්නොරුවේ සටන සඳහා පිටත්වූයේ මැදින් මස පුර තියවක ලත් රිවිදින පුෂ නැකතිනි. පළමුවැනි රාජසිංහ කුමරු මුල්ලේරියා සටනට නික්‌මුණේද මහ පැරකුම්බා රජ සියලු සටන්වලට ගියේද ප්‍රබල යමකාල නැකැත්වලිනි.
යුද්ධය සඳහා පිටත්වීම යුද්ධ ආරම්භ කිරීම පමණක් නොව කඩු සකස් කිරීමටද නැකැත් යොදාගෙන ඇත. මිනිසුන් නැකැත් අනුව දේව, රාක්‍ෂ, මනුෂ්‍ය වශයෙන් ගණ තුනකට බෙදා ඇත. ආයුධ වර්ගද ඒ අනුව වර්ග කර තිබේ. ඒවායේ දිග අනුව මෙය සිදුකර ඇත. එසේම ඒවායේ යෝනි පලද පරීක්‌ෂාකර ඒ ඒ හේවායාට සුදුසු ආයුධ ලබාදී ඇත. මේවා හුදෙක්‌ම අපේ දේශීය ජ්‍යෙdතිෂයට අයත් සිද්ධාන්ත අනුව කර ඇති දේය.
පුරාතනයේ සිට සියලු උත්සව සඳහා නැකැත් යොදාගෙන තිබේ. සූර්ය මංගල්‍යය හෙවත් අවුරුදු උත්සවය, දළ¹, පූජෝත්සවය, කාර්තික මංගල්‍යය හා දෙවියන් සඳහා වූ සියලු පූජා උත්සවවලදී සුබ නැකැත් යොදාගෙන ඇත. මෙම සිරිත් අද දක්‌වාම පවත්වාගෙන එනු ලැබේ.
සියලු නිවාස, රජමාලිගා, වෙහෙර විහාර ආරම්භ කරන ලද්දේ සුබ නැකැත්වලිනි. දුටුගැමුණු රජතුමා වෙසක් පොහෝදින විසා නැකතින් මහාථූපය ආරම්භ කළේය. එහි මංගල ගඩොල් තැබීම මැදින් පුර පෝදින උත්‍රසල නැකතින් සිදුවිය. උත්‍රසල නැකතින්ම මඟුල් උළු තබන ලදී. ධාතු තැන්පත් කිරීමද මැදින් පෝදින උත්‍රසල නැකතිනි. මේ අයුරින් ලක්‌දිව අනෙකුත් විහාර ආරාමද සුබ නැකැත් අනුව ගොඩනගා තිබෙන අතරම වර්තමානයේද මෙවැනි දේ සිදු කරන්නේ සුබ නැකැත් අනුවය.
ගම්, නගර, බළකොටු සියල්ල රජ සමයේ ඉදිවූයේ සුබ නැකැත් අනුවය. සුප්‍රකට අනුරාධ නගරය ඉදිවූයේ අනුර නැකතිනි. අස්‌ගිරි තල්පතින් කියෑවෙන්නේ පැරකුම් රජුගේ නියමය පරිදි සිරිවර්ධන සේනාධිකාරී කුමරා කටුපුළු නුවර බළකොටුවක් ඉදිකිරීම ආරම්භ කළ බවයි. මෙවැනි බොහෝ නිදසුන් ඉතිහාසයේ හමුවන අතර පැරැණි රාජධානි ඉදිකිරීමට සුබ නැකැත් යොදාගෙන ඇත.
බත බුලතින් රට සරුකිරීමට හෙළ නිරිඳුන් ඉදිකළ විශ්මිත මහවැව් ඉදිකළේ සුබ නැකැත් අනුවය. සපුගස්‌තැන්න සෙල්ලිපියේ ඇති මේ සටහන එයට උදාහරණයකි.
ශ්‍රී පරාක්‍රමබාහු පසළොස්‌වනු උඳුවපැ අව තියවක කිරිල්ල මොට ඇළ අමුණු අවුරුදු තුන් හාරසියයක් අනාදිම තිබුවායි කීහෙයින් ඉරිදා පුෂයෙන් පටන්ගෙන යනුවෙනි.
බුදුරදුන් කිසිවකුගෙන් නැකැත් විමසීමක් නොකළද සියලු ප්‍රධාන දේ සිදුකර ඇත්තේ තෝරාගත් සුබ වේලාවකට අනුවය. බුදු නුවණින් ඒවා පසක් කොට දැනගත් බැවිනි. මේ අනුව දම්සක් පැවැතුම් දේශනාව ඇසළ මස පුන් පෝ දින උත්‍රසල නැකතින් සිදුකළ බව බුත්සරන පවසයි. බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමන දුරුතු පුර පෝදිනට වන් ගුරුදින පුසේ නැකතින් සිදුවූ බව රාජාවලිය හා රාජරත්නාකරය පවසයි. මිහිඳු හිමියන්ගේ ලංකාගමනය පොසොන් මැදි පෝ දින මුල නැකතින් සිදුකළ බව සමන්ත පාසාදිකාවේ ඇත. ශාසනික කටයුතු සඳහා අදටත් සුබ නැකැත් යොදා ගන්නේ මේ නිසාය.
මේ සියලු කරුණු අනුව නැකත සිංහල බෞද්ධ ජන ජීවිතයේ අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන බව කිව යුතුව ඇත. එය අපේ සංස්‌කෘතික දායාදයකි.
We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here