[ratings]
මල්වර වීම යනු ස්‌ත්‍රියකට සිදුවන පළමුවන රජස්‌ශුද්ධියයි. මෙය පළමු ඔසප්වීමේ ආරම්භක අවස්‌ථාවයි. මෙම සංසිද්ධිය තුළින් දැරියක වැඩිවියට පත්වීම වශයෙන්ද, අපගේ සංස්‌කෘතිය තුළ විශේෂිතවූ අවධානයක් යොමු කිරීමට සෑම දෙමාපියකුම කටයුතු කිරීම තුළින් පැහැදිලිවේ. දරු ගැබක් දැරීමට සුදුසු පරිදි ශරීරය පිළිසකර වීම මේ මගින් සිදු වේ. නමුත් මෙම ක්‍රියාවලියේ ආරම්භක අවස්‌ථාව සිදුවූ වේලාව, දිනය, තිථිය, මාසය, නැකත යනාදී කරුණු කාරණා පිළිබඳව පෙර සෘෂිවරු විසින් පලාපල ප්‍රකාශ කර ඇත.
එහිදි පළමු රජස්‌ශුද්ධිය සිංහල මාස ක්‍රමයට අනුව නවම් මස, මැදින් මස, වෙසක් මස, පොසොන් මස, නිකිණි මස, වප් මස, උඳුවප් යන මාසයකදී පුර පක්‍ෂයේ සුභදිනක සුභ තිථියකදී සිදුවිණි නම් යහපත් බව ශාස්‌ත්‍රීය පොත පතෙහි සඳහන්ව ඇත.
සමෘති චන්ද්‍රිකාවෙහි මෙසේ දැක්‌වේ.
චෛත්‍රෙ ස්‍යාත් ප්‍රථමතෙ_ෘතූ – නාරී වෛධව්‍යභාගනී
වෛශාඛෙ ධනපුත්‍රාඪ්‍යා- ජ්‍යෙෂෙඨ රොගාන්විතා තථා
ශූචෞ මෘතප්‍රජා ප්‍රොකතා – ශ්‍රාවණෙ ධනධන්‍යදා
නභෙස්‍ය දුභ_ගා කලිෂටා – අශවිනෙ ච තපසවිනී
ඌ ජෙ_ප්‍යයුෂමතී නාරී- මාග_ශර්ෂෙ බහුප්‍රජා
පෞෂෙ තූ ප්‍රංශවලී නාරී – මාඝෙ පුත්‍රසුඛාන්විතා
ජාලගුනෙ ශ්‍රීමති සාධවී – ක්‍රමානමාඝඵලං සමෘතම්
ඉහත සොලෝකය අනුව මල්වරවීමේ පල බක්‌මසදී ප්‍රථම ඔසප්වීම සිදුවුණි නම් එම ස්‌ත්‍රිය/ දියණිය වැන්දඹුවක් වේ. වෙසක් මසදී ප්‍රථම මල්වරය සිදුවුණි නම් ධනධාන්‍ය සම්පත මෙන්ම පුත්‍ර සම්පත්තිය ලබන්නියක වේ. මෙය පොසොන් මසදී සිදුවුණි නම් ඇය රෝගී ලියක් වේ. ඇසළ මසදී සිදුවුණි නම් දරුවන් වැරෙන ලියක් වේ. නිකිණි මසදී සිදුවී නම් ඇය ධන ධාන්‍ය සම්පත්තිය නොඅඩුව ලබන තැනැත්තියකි. බිනර මසදී නම් ඇය පින්මද කිළිටි තැනැත්තියක් වේ. වප් මසදී නම් තපස්‌වරියක් වේ. ඉල්මසදී නම් ආයුෂ ඇති ලියකි. උඳුවප් මසදී නම් බොහෝ දරුවන් ඇත්තියක් වේ. දුරුතු මස කුලටාවක් වේ. නවම් මසදී මල්වරය සිදුවුණි නම්, සුවපත් දරුවන් ඇත්තියක් වේ. මැදින් මසදී ප්‍රථම මල්වරය සිදුවුණි නම්, ශ්‍රීමත් සත් ගුණවත් තැනැත්තියක් බව සඳහන් වේ. එමෙන්ම මෙම ප්‍රථම මල්වරය පුර/අව පක්‍ෂ වශයෙන් විමසීමේදී පුර පක්‍ෂයේ සිදුවුණි නම් සිල්වත් තැනැත්තියක් බවත්, අවපක්‍ෂයේ දිනක සිදුවිණි නම් ඇය කුලටාවක හෙවත් කුලය නසන්නියක් වන බවත්, දක්‌වා ඇත. මෙම අවස්‌ථාව සඳු, බුධ, ගුරු, කිවි යන දිනයක සිදුවී නම් සුභ බවත්, රිවි දින නොහොත් ඉරිදා දිනක නම්, රෝගී නොහොත් ලෙඩ ඇත්තියක් වන බවත්, සඳු දින පතිවත රකින්නියක් වන බවත් කුජ දින නොහොත් අඟහරුවාදා නම්, දුඃත ලියක් වන බවත්, බුධ දින නොහොත් බදාදා නම් සුභ ඇත්තියක් බවත්, ගුරු දින හෙවත් බ්‍රහස්‌පතින්දා දිනක නම් ශ්‍රීයෙන් යුත් ලියක් බවත්, කිවි දින නොහොත් සිකුරාදා දිනයකදී නම්, බැතිමත්තියක් බවත්, ශනිදා හෙවත් සෙනසුරාදා දිනක ප්‍රථම මල්වරය සිදුවුණි නම්, ඇය කිළිටි තැනැත්තියක් බවත් සඳහන්ව ඇත. කෙසේ නමුදු, ප්‍රථම සෘතුවීම මල්වරය කිනම් දිනයකදී වූවා රාත්‍රි කාලයේදී සිදුවුණි නම් ඇය කිළිටි තැනැත්තියක් බව සඳහන් ව ඇත.
ප්‍රථම මල්වරය සුවණ, දෙණට, සියාවස, සිත, අනුර, මුවසිරස, රේවතී, අස්‌විද, පුස, හත, රෙහෙණ, උතුරුපල්, උතුරුපුටුප, උතුරු=සල යන නැකතදී සිදුවිණි නම් සුභය.
ප්‍රථම මල්වරය මුල, පුනාවස, මා , විසා, කැති යන නැකතකදී සිදුවිණි නම් මධ්‍යම වශයෙන් සුභය.
ප්‍රථම මල්වරය බෙරණ, දෙට, අද, අස්‌ලිය, පුවපුටුප, පුවසල=. පුවපල් යන නැකතකින් සිදුවිණි නම්, අසුභ බවත් පෙන්වාදී ඇත.
භද්‍රා තිථියෙහි, සමාප සංක්‍රාන්තියෙහි, අමාවක රික්‌තාවෙහි, උදය, මද්දහන, සවස, සන්ධ්‍යා තුනෙහි, සවවන හා දොළොස්‌වක තිථිවල, වෛධෘත නම් 27 වැනි යෝගයෙහි උණ ප්‍රදරාදී ව්‍යාධියෙහි, අටවක, සූර්ය චන්ද්‍ර ග්‍රහණවල, ව්‍යතිපාත නම් දසසත් වන යෝගයෙහි, මහාපාත යෝගයෙහි යන මේ යෝගවල ප්‍රථම සෘතුවීම, මල්වරය අසුන බව ශාස්‌ත්‍රපතී පොතෙහි සඳහන්ව ඇත.
මේ අනුව පළමු රජස සිදුවීමෙන් අනතුරුව ස්‌නානය සඳහා දැරියගේ උපන් නැකට ගැලපනෙ පරිදි හත, සා, අස්‌විද, මුවසිරස, අනුර, දෙණට, රෙහෙණ, උතුරුපුටුප, උතුරුපල්, උතුරුසළ දෙට යන සුභ නැකතක් යෙදුණු පුර හෝ අව පක්‍ෂයේ 2- 3-5-7-10-11-13 යන තිථියක, සඳු, බුධ, ගුරු, කිවි යන දිනක, වෘෂභ, මිථුන, කටක, තුලා, ධනු හෝ මීන රාශියක් උදාව පවතින විටකදී ප්‍රථම දිය නෑම සුභය. ස්‌නානයෙන් පසුව එදිනට හිමි ග්‍රහයාට අයත් වර්ණයෙන් පිළියෙළ කර ගත් ඇඳුම් ආයිත්තම් අන්දවා ශුභ හෝරාවකින් හා සුභ පංචම කාල හෝරාවකින් ගෙට ඇතුළු වී දෙමාපිය වැඩිහිටියන්ට ආචාර කිරීම කළ යුතුයි.
ස්‌නානය කරවීමේදී ගන්නා ඖෂධ වර්ග පිළිබඳව දැන උගත් හෙළ වෙදැදුරු මහතකුගේ උපදෙස් ලබාගෙන පිළියෙළ කිරීම මැනවි.
We found this article from Divaina on 2012/01/27.
Also Sinhala to English Google word to word translation can be found here