අත්පොත් තැබීම හෙවත් අකුරු කියවීම

1824
අකුරු කියවීම

පුංචි කුමර කුමරියන්ට අත්පොත් තැබීම යනුවෙන් හඳුන්වන්නේ අකුරු කියවීම යි. එය පෙර කාලයේ නම් වැදගත්කමක්‌ සහිත සම්භාවනීය අවස්‌ථාවකි. වර්තමානයේ ද ඒ තරමටම නැතත් තරමක්‌ එය ගෞරවයකින් කරනු ලබයි.

දරුවකුට අකුරු කියවන්නේ ශිෂ්ට සම්පන්න ගුණගරුක මෙන්ම ලිවීමේ කියවීමේ හැකියාව ලබා ශිල්ප ශාස්‌ත්‍ර ප්‍රගුණ කරගැනීමටය. ඒ තුළින් ලෝකය විනාශ කරන්නකු නොව ලෝකය තනන්නෙකු කරන්නටය. එනිසා අකුරු කියවීමේ නැකත සමඟ ගොඩනැගුණ බොහෝ කරුණු කාරණා තිබේ. නිවසක්‌ ගොඩනැගීමට, ව්‍යාපාරයක්‌ ඇරඹීමට මෙන් නොව අකුරු කියවීම නැකත බලවත් විය යුතුය. මක්‌නිසාද එයින් මිනිසකු වෙනුවට යක්‍ෂයකු වුවද තැනෙන්නට ඉඩ ඇති බැවිනි.

අකුරු කියවීමේ නැකැත්

කන්‍යා රවි – තුලා රවි – වෘශ්චික රවි යන සූර්ය මාසවල පුර පක්‍ෂයේ දිනයක්‌ අකුරු කියවීම නැකතට යෝග කරගත යුතුය. එයින් උදෑසන වරුව වීම වැදගත් වේ. එසේම දරුවාගේ උපන් නැකතට ගැලපෙන පරිදි පහත සඳහන් නැකැත් උදාවන පංචාංග ශුද්ධිය පවතින සුබ දවස්‌ තෝරාගත යුතුය. පුනාවස – හස – සිත – පුෂ – අනුර – අස්‌විද – සා – සුවන – මුව සිරස – අද යන නැකැත් අකුරු කියවීීමේ නැකැත් සඳහා උත්තම ගුණයෙන් යුතු වෙයි.

උත්‍රපුටුප – උත්‍රසල – උත්‍රපල් – රෙහෙණ – සියාව – රේවතී යන නැකැත් මධ්‍යම වශයෙන් ඵලදායක වෙයි. එසේම දරුවාගේ අධ්‍යාපනය ගමන් කරන්නේ කුමන විෂය දහරාවන් යටතේද යන්න පළමුව විමසා බලා හඳුනාගෙන එයට අදාළව නැකැත් ගැලපීමක්‌ කරන්නේ නම් වඩාත් සුබදායක වේ. උදාහරණ කීපයක්‌ දක්‌වතොත් දරුවාට ඔසු පිළිබඳ (ඖෂධවේදී) දක්‍ෂතා පවතී නම් ඔහුගේ උපන් නැකතට ගැලපේ නම් පුනාවස – සිත – විසා – සියාවස ආදී නැකැත් ද සුබදායක බව පැවසේ. ඉතිහාසය – පුරාවිද්‍යා ආදී විෂයයන්ට දක්‍ෂතා ඇත්නම් මා නැකත සුබ වේ. වෛද්‍ය වෘත්තියට අදාළ අධ්‍යාපනයක්‌ ලබන තත්ත්වය පවතී නම් පුෂ – මූල – සියාවස ආදී නැකැත්වලින් විද්‍යාරම්භය සුබ වේ.

සංගීත – ගායන – නර්තන ආදියේ දස්‌කම් පවතී නම් උතුරුසල නැකත යෝග්‍ය වේ. ගණිත සම්බන්ධ දක්‍ෂතාවන් පවතී නම් යන්ත්‍රොපකරණ සම්බන්ධ දක්‍ෂකම් පවතී නම් මුවසිරස හත වැනි නැකැත් සුබදායක වේ.

එසේම පුර පක්‍ෂයේ ෂටවක – දශාවක – එකොළොස්‌ වන මෙන්ම විසේනිය – දියවක – තියවක යන තිථි පැවතීම ඉතාම යෝග්‍ය වේ. බදාදා – බ්‍රහස්‌පතින්දා – සිකුරාදා ඉතාම සුබ වන අතර ඉරිදා සහ සඳුදා මධ්‍යම වශයෙන් සුබදායකය. එසේම අකුරු කියවන නැකැත් වෙලාවට එළඹෙන තත්කාල ලග්නය මිථුන – කන්‍යා – ධනු – මීන යන ලග්න ඉතා උතුම් වේ. තුලා – මේෂ – කටක – මකර යන රාශි මධ්‍යම වේ.

තත්කාල ලග්නය

විශේෂයෙන්ම අකුරු කියවන නැකතට උදාවන තත්කාල ලග්නය පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමුකළ යුතුය. එකී ලග්නයෙහි 2 වැන්න, 5 වැන්න, 9 වැන්න, 4 වැන්න පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. 5 වැන්න විද්‍යා ස්‌ථානය වෙයි. භාවත්භාව අනුව එහි ක්‍රියාකාරී ස්‌ථානය වන්නේ 02 වැනි භාවයයි. එනිසා 5 සහ 2 අධිපතියන් අසුබව පිහිටීම උක්‌ත කරුණට අසුබ වෙයි. එසේම එම ස්‌ථානවලට අනුව අසුබ දෘෂ්ඨි පතිතවීම ද අසුබ වේ.

උසස්‌ අධ්‍යාපනය ගැන කියවෙන 9 වැනි භාවය ද එසේමය. සාමාන්‍ය දැනුම ගැන පැවසෙන 4 වැන්න ද එසේ නොවී තිබීම අවශ්‍ය වේ. සඳු ග්‍රහයා ලග්නයේ හෝ එහි 06-08-12 යන ස්‌ථානවලත් 06-07 යන ස්‌ථානවල ගුරු ග්‍රහයා සිටීමත් අසුබ වේ. එසේම සිකුරු 0-7 වැන්නේ සිටීම ද අසුභය. එසේ තත්කාල කේන්ද්‍රය පිළිබඳව විමසිලමත් විය යුතුය.

අකුරු කියවීමදී සරස්‌වතී යෝගය ඉතා වැදගත් වෙයි. බදාදා දිනක උදේ රවි බුධ දෙදෙනා කන්‍යා රාශියේ සිටීම, විශේෂයෙන් කන්‍යා රාශියේ මැද බුද පිහිටි අවස්‌ථාව සරසවි යෝගය වෙයි. එසේම සිකුරාදා දිනයක සිකුරු මීන ලග්නයේ 27 වැනි අංශකය තුළ සිටීම ද සරසවි යෝගයයි. එසේම සුබ ග්‍රහයෙක්‌ තම උච්ච රාශියේ සිsටින විට එම ග්‍රහයාට හිමි දිනයේ එම ග්‍රහයාටම හිමි කාලහෝරාව ද සරසවි යෝගය ලෙස ගැනේ. මෙසේ සරසවි යෝග බොහෝ ගණනක්‌ පවතී.

අකුරු කියවීමට පෙර කාලවල වැදගත් උගත් අය තෝරා ගත්හ. ගිහි අය මෙන්ම යතිවරු ද අකුරු කියවූහ. මෙකල සමාජ පරිණාමය සමඟ තරගකාරී වාණිජ රටාවක්‌ පවතින, එකිනෙකා පරයා එකිනෙකා නැගී සිටින යුගයක්‌ බැවින් එවැන්නෝ අද විරලය. එනිසා අද හොඳම ක්‍රමය දෙමාපියන්ගෙන් කෙනෙක්‌ එය කිරීමය. දරුවා කෙරේ සැබෑ කරුණාව හා දරුවාගේ දියුණුව සැබෑ ලෙසට අපේක්‍ෂා කරන්නේත් දෙමාපියන් පමණක්‌ වන බැවිනි.

අකුරු කියවීම

නැකතට අකුරු කියවීමේ දී පෙර චාරිත්‍රය වූයේ පළමුව “ස්‌වස්‌ථි සිද්ධම්” යන වචනය කියවීමය. සියල්ල සිද්ධවේවා යනු එහි අර්ථයයි. එය දරුවා කිව්වා හෝ නැතුවා හෝ කියවන්නා විසින් කිව යුතුමය. ඊට පසු දේවාක්‍ෂර මුල්කොට කියවිය යුත්තේ පහත දක්‌වන අක්‍ෂරයි. ස-ත-ද-ව-ට-ඉ-ඹ – උ – ප – ග – හ – බ – ඊ – සා-ඩා – තා – වා – පා – දා – ඌ – ඕ යන අකුරුය.

තෙවනුව ඉලක්‌කම් කියවිය යුතුය. එකේ සිට දහය දක්‌වා ප්‍රමාණාත්මක වේ. ඊළඟ අවස්‌ථාව අ-ආ-ඇ-ඈ ආදී වශයෙන් හෝඩි පොත කියවීමය. මුල්ම කියවන අකුරු වෙනම කඩදාසියක ලොකුවට ලියාගත යුතුය. ඉලක්‌කම් ද එසේමය. ඊළඟට දරුවාගේ ජය අංකය ලියවා අකුරු ලියවීම ඇරඹිය යුතුය.

එසේ ජීවිතයේ මුලින්ම ශිල්ප හැදෑරීම ඇරඹීමට කරන පුද සිරිත් පිළිබඳ ද පැවසිය යුතුය. විශේෂයෙන් මේ අවස්‌ථාව සරස්‌වතී මෑණියන් සහ ගණදෙයියන් මුල්කොට පුද සිරිත් කරනු ලබයි. ඒ හින්දු චාරිත්‍රානුකූලවය. එහි වරදක්‌ නැත. බෞද්ධ වූ අයට එහි වෙනසක්‌ කළ හැක. සරස්‌වතී මෑණියන්ගෙන් දැනුමත් ගණදෙවියන්ගෙන් නුවණත් ලැබීම පිණිස එසේ කරයි. එයටත් වඩා අවශ්‍ය වන්නේ ප්‍රඥවය. බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥවන්තයෙක්‌ නැති තරම්ය. උන්වහන්සේ ළඟම ප්‍රඥවන්ත වූයේ සැරියුත් මහරහතන් වහන්සේය. එනිසා දරුවාට අකුරු කියවීම ට පෙර දින විහාරස්‌ථානයට ගොස්‌ බුද්ධ පූජා – සංඝයා වහන්සේට ද යම් යම් දේ පූජා කර බෝධි පූජා දිනය පවත්වා දරුවාට සෙත් පතන්න.

අකුරු කියවීම

අකුරු කියවන නැකතට පෙර දරුවා නහවා එදිනම නියමිත ඇඳුමක්‌ අන්දවා සූදානම් කරගත යුතුය. කැවිලි කීපයක්‌ පලතුරු කීපයක්‌ සහිතව දෙවියන්ට ද පූජාවක්‌ තැබීම සුදුසු වේ. උදෑසන එම කැවිලි පලතුරුවලින් නිවසේදී බුද්ධ පූජාවක්‌ පවත්වා පසුව සරස්‌වතී හා ගණ දෙවියන් උදෙසා පූජා තැබීම සුදුසු වේ.

මේ සඳහා කුඩා මේසයක සුදු පිරුවටයක්‌ දමා ඒ මත කෙසෙල් කොළ අතුරා සරස්‌වතී හා ගණදෙවි රූප දෙකක්‌ තැන්පත් කරන්න. ගිතෙල් පහන් දෙකක්‌ ද දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. කැවිලි – පලතුරු ආදිය පුදා පඬුරු කීපයක්‌ ද තබන්න. එසේ තබා නැකැත් වේලාවට හෝ පහන් දල්වා සුවඳ දුම් දී යාතිකා කර සිටිය යුතුය.

නැකැත් වේලාවට නිසි දිසාව බලා ඉහත කී ලෙස දරුවාට අකුරු කියවීම අවසන් කර පුදට තැබූ කැවිලි පෙවිලිවලින් දරුවාට ආහාරයට දෙන්න. එතැනින් අත්පොත් තැබීමේ උළෙල අවසන් වේ.

We found this article from Divaina on 2014/03/23.