Monday, June 15, 2026
HomeRituals & Consecrationsසෙනසුරු අපල නසන විෂ්ණු ක්‍රාන්තිය

සෙනසුරු අපල නසන විෂ්ණු ක්‍රාන්තිය

මිහිතලය සකල ජීව අජීව වස්‌තු සමූහයේ එකම වාසභූමියයි. ජීවය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය සකල විධ සාධක සම්පත් සම්භාරය පොළොව සතුව පවතී. ස්‌වයංසිද්ධ විශ්ව ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය ලෙස පොළොව නිරන්තරයෙන් පවිත්‍රීකරණයට හා ප්‍රතිචක්‍රීකරණයට ලක්‌ වෙමින් අලුත් වෙයි. මෙම පිරිසිදු කිරීමේ සහ නැවත පිළිවෙළ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ කළමනාකාරිත්වය, විශ්ව රාජ්‍යයේ ප්‍රජාපති වන සූර්යයා විසින් ස්‌වකීය එකම පුත්‍රයා වන ශනීශ්වරට හෙවත් සෙනසුරුට පවරනු ලැබ ඇත.

මානව ශරීරයේ ශිරා නාල තුළ ගලා යන නිල් පැහැය ගත් අපිරිසිදු රුධිරය මෙන්ම ලොව පිරිසිදු කළයුතු අපිරිසිදු සියල්ලෙහි හිමිකරුවා සියලුම අපිරිසිදු ස්‌ථානවලට අධිපති වූ නිල් පැහැයෙන් යුත් යෑයි කියන සෙනසුරුමය.

එපමණක්‌ නොව මිනිසාගේ සිත පිරිසිදු කොට උසස්‌ අධ්‍යාත්මයක්‌ පවත්වාගෙන යැමට කටයුතු සලස්‌වන්නේද ලෝකෝත්තර සුව සහනයම අගයන සෙනසුරුමය. මේ අනුව ලෞකික සුඛ විහරණය නොරුස්‌සන සෙනසුරු විශ්ව රාජ්‍යය තුළ මහා බලවන්තයෙකි.

විශ්වරාජ්‍යයේ නීති, රීති, ප්‍රතිපත්ති සහ සම්ප්‍රදායයන්ට අනුව දැඩි ඉවසීම, අධිෂ්ඨාන ශක්‌තිය, ආත්මදමනය, නීති ගරුක බව, සත්‍යවාදී බව, විශ්වාසනීයත්වය, අවංකභාවය, දූරදර්ශීබව, ස්‌ථිරත්වය, සකසුරුවම්කම හෙවත් අරපිරිමැස්‌ම වැනි මානව සංහතියේ ස්‌ථාවරවූත් යහපත්වූත්, පැවැත්මට අත්‍යවශ්‍ය සාධක සම්බන්ධ භාරකාරත්වය බටහිර වැසියන් ශාන්ත පීතර ලෙස හඳුන්වනු ලැබ ඇති සෙනසුරුට හිමිව ඇත.

යථෝක්‌ත කරුණු සාධනය සඳහා ආගම් හා ආගමික භක්‌තිය සංයමය විචක්‌ෂණභාවය, දේව භක්‌තිය, තපස, භාවනාව, න්‍යාය, ධර්මශාස්‌ත්‍ර දර්ශනාදීන්ගේ නිපුණ බව, චිත්ත ඒකාග්‍රතාව, ලෝකෝත්තර සැනසීම යන විෂයයන්ගේ භාරකාරත්වයද ජීවිතයේ මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරන සෙනසුරුටම පවරනු ලැබ ඇත.

තවද උසස්‌ මනසක්‌ සකසා දෙමින් ලොවෙහි පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන ආගමික පූජ්‍යස්‌ථාන, තපෝවන ආරණ්‍ය සේනාසන, පාඨශාලා, ධර්ම ශාස්‌ත්‍ර ශාලා, වැනි ආයතන පාලනය කරනු ලබන්නේද ස්‌වර්ගගේ යතුර සන්තකයේ ඇතැයි කියන සෙනසුරු විසින්මය.

යමෙකු පෙර ආත්මභාවයන්හිදී ස්‌වභාව ධර්මයට පටහැනි නොවන පරිදි එනම් විශ්ව නීතියට එකඟව කටයුතු කළේ නම් මේ ආත්ම භාවයේදී ස්‌වකීය ජන්ම පත්‍රයේ, සෙනසුරු බලවත් තත්ත්වයකින් බලවත් තැනක ස්‌ථානගත වෙමින් ස්‌වකීය මහදශා, බුක්‌ති (අන්තර් දශා) බාව ගෝචර කාල තුළදී සියලු සැප සම්පත් යස ඉසුරු නිලතල බලතල ලබාදීම, ප්‍රසිද්ධියට සහ ගෞරවයට මෙන්ම පූජනීයත්වයට පත් කිරීම, ඉහළම පෙළේ ධනවන්තයකු කිරීම, කොතරම් පහත් තැනක ජන්ම ලාභය ලැබුවද සිංහාසනය පවා හිමිකර දීම වැනි ලෞකික සැප සම්පත් පිළිබඳ අතිශය බලවත් තත්ත්වයන්ට පත් කිරීමට කටයුතු කරයි.

විශ්ව නීති රීති උල්ලංඝනය කිරීමේ වැරදි සඳහා දඬුවම් ලබාදීමේ වගකීම පැවරී ඇත්තේද සෙනසුරුටය. මිනිසකු මෙලොව ජීවත් විය යුතු ආකාරය නොදන්නේ නම් ඔහුට එය ඉගැන්වීම, නිමක්‌ නැති සසර මඟ කෙටි කොට විමුක්‌තිය ලබාදීම පිණිස මිනිසා දැනුවත් කිරීම උදෙසා සෙනසුරු විවිධ උපාය මාර්ග ක්‍රියාවට නංවයි. ඉවසිය නොහැකි දැඩි දුක්‌ පීඩා ගෙන දීම, දුක්‌ විඳිද්දී තව තවත් දුක්‌ දීම, දිලිඳුකම, අවාසනාවන්තකම, අසීමිත කම්මැලිකම, අධෛර්යය, කම්කටොලු, බලාපොරොත්තු සුන්වීම, බරවැඩ කටුක වැඩවල යෙදීමට සිදුවීම, බලය, වර්ණය පිරිහීම, නිසි වයසට පෙර මහලු බව ඇති කිරීම, පාපයෙහිම ඇලී ගැලී සිටීමට මෙහෙයවීම, අස්‌ථි බිඳීම. අස්‌ථි රෝග, තද ලෙසම දුක්‌ විඳීමට සිදුවන රෝගාබාධ, බලවත් වාත රෝග (ස්‌නායුරෝග) ලාදුරු, පිළිකා පක්‌ෂාඝාත, දරුණු කුෂ්ට වැනි භයානක රෝග බලවත්, නීති ප්‍රශ්න සහ නඩුහබ ඇතිවීම, හිරේ විලංගුවේ වැටීම, තත්ත්වයෙන් පහළටම වැටීම ආදී දරුණු දඬුවම් ලබාදීමද ආයුෂ පාලනය කරමින් මරණය ලබාදෙන “යම” යන විරුදාවලී ලත් සෙනසුරුටම අයත් කාර්යයෝ වෙති.

මෙලෙස මිනිස්‌ සිත පිවිතුරු කිරීමෙහිලා මහෝපකාරී වන, අධිකරණ, බන්ධනාගාර, පුනරුත්ථාපන ආයතන චරිත ශෝධනාගාර, වධකාගාර අපවිත්‍ර ස්‌ථාන, රෝහල්, සුසාන භූමි අධික ලෙස ශ්‍රමය වැය කිරීමට සිදුවන දුෂ්කර කාර්යයන් සහිත කර්මාන්තශාලා පතල් ආදියේ අධිපතිත්වය මෙන්ම කළමනාකාරීත්වයද හිමිවන්නේ අපායේ යතුරට හිමිකම් කියන බැව් කියන සෙනසුරුටමය.

මිහිතලය මත උපන් මිනිසා ස්‌වභාව ධර්මය (විශේෂ නීතිය) අනුගමනය කරමින්, එනම් ලොවෙහි පැවැත්මට බාධා නොකරමින් සද්භාවයෙන් යුතුව ජීවත් වනු ඇතැයි විශ්ව රාජ්‍යය නිරතුරුවම අපේක්‌ෂා කරයි. එසේ ජීවත්වන අයට සුබසෙත සැලසීමත් එසේ ජීවත් නොවන අයට දඬුවම් ලබාදී නිසි මඟට ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් සෙනසුරුගේ වගකීමකි. “ඉවසීම” වනාහී මානව සංහතියේද සමස්‌ත භූතලයේද යහපැවැත්මට සහ තිරසාර භාවයට අතිශයින් මහෝපකාරී වන ගුණාංගයකි. යම් ආත්මභාවයකදී ඉවසීමෙන් තොරව කටයුතු කිරීම නිසා වැරදි රැසක්‌ සිදු කළ කෙනෙකුට, මේ භවය ආරම්භ කරමින් ඔහු උපන් මොහොතේ ජන්ම පත්‍රයෙහි දුර්වල තැනක දුර්වල ලෙස ස්‌ථානගත වෙමින් සෙනසුරු ඉවසීම ප්‍රගුණ කරවීමට කටයුතු කරයි. අනතුරකින් අත් පා කඩා දමා හෝ පක්‌ෂාඝාතය වැනි රෝගයක්‌ සාදා මාස ගණන් ඇතැම් විට වර්ෂ ගණන් සයනයක්‌ මත දිගාවී සිටීමට සලස්‌වයි. ඔහුට ඉවසන්නටම සිදුවෙයි. නැතිනම් කිසියම් වරදකට හසුකොට බන්ධනාගාර ගත කරයි. ඉවසන්නටම සිදුවෙයි. අධික ලෙස ණය වන්නට පරිසරය සකස්‌ කොට නින්දා අපහාස මෙන්ම ණය කරුවන්ගේ විවිධ කරදර දුක්‌ ගැහැට විඳිමින් උපයා සපයාගත් සියල්ල නැති වී යන එන මං නැති නීච තත්ත්වයට පත් වී කටයුතු දුක්‌ ගැහැට විඳින්නට සිදුවන්නේ පෙර භවවලදී කළ බරපතල පාප කර්ම හේතුවෙන් බව වටහාගෙන නිවැරදි යහපත් ජීවිතයක්‌ ගත කිරීමට පෙළඹීම ඉතා ගුණදායකය.

සෙනසුරුගෙන් කිසිවකුටත් ගැලවීමක්‌ නැත. මහා බලපරාක්‍රමයෙන් යුත් විෂ්ණු දෙවිඳුන්ටද බට කැලයකට වී බට කොළ කමින් සෙනසුරු අපලය අත්විඳින්නට සිදුවූ කතාව හුදු ප්‍රබන්ධයක්‌ නමුදු දුරාතීතයේ සිටි මිනිසුන් පවා සෙනසුරුගේ සැබෑ තතු දැනසිටි බව නම් ප්‍රබන්ධයක්‌ නොවේ. සෙනසුරු ලබලා සෙනසුරු ඒරාෂ්ටකය ඇවිත්, සෙනසුරෙක්‌ කඩාපාත් වුණා – හිඟන්නාගේ පාත්තරේට සෙනසුරා කඩා වැදුණා ආදී සිංහල ජන වහරේ එන යෙදුම් පසක්‌ කර දෙන්නේ සෙනසුරා පිළිබඳ ජනවිඥනයේ පොහොසත් බවයි.

සෙනසුරු අපලයකදි හෙවත් ජීවිතයේ අති දුෂ්කර කාලයකදි තමන් අදහන ආගම කුමක්‌ වුවත්, ආගම දහමට අනුකූලවම, සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇතිව, ස්‌වභාව ධර්මයට අනුගතව ජීවත් වීමෙන් පමණක්‌ සහනය ලැබිය හැකි වෙයි.

සෙනසුරුගෙන් වන අපල උවදුරු දුරලනු පිණිස ජ්‍යෝතිෂය පිළිබඳ විවිධ ගුරු කුල අනුදත් උපාය මාර්ග ප්‍රමාණයද දහස්‌ ගණනකි. ඒ අතර බෝධි වෘක්‌ෂය, නුග වෘක්‌ෂය ඇතුළු ඇසුරු කළ යුතු තුරු ලතා සමූහයක්‌ද වේ. සෙනසුරු අපලයේ සැර බාල කරන ගස්‌ වැල් සමූහය අතුරින් විෂ්ණු ක්‍රාන්තිය පැලෑටිය විශේෂ තැනක්‌ ගනී.

විෂ්ණු දෙවියන් හා සෙනසුරු අතර ඇති සම්බන්ධතාව හොඳින් දන්නා නිසාම වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ සෙනසුරු අපලයේදී විෂ්ණු දෙවියන්ගේ පිළිසරණ පැතීමට ජනතාව පුරුදුව සිටිති. විෂ්ණු පර්යාය යෙදුණු සෙනසුරු අපල නසන ශාක ලේඛනය තුළ විෂ්ණුක්‍රාන්තියද පෙරමුණේ සිටී.

විෂ්ණු ක්‍රාන්තිය නිවස ඉදිරිපස මෙන්ම නිවස තුළද කුඩා පෝව්චියක වවා ගැනීමෙන් නිතර දර්ශනයෙන් සහ ස්‌පර්ශයෙන් සෙනසුරුගෙන් වන උවදුරු බොහෝ දුරටම දුරු කර ගත හැක. තාරකා සටහන සහිත දිළිසෙන නිල් පැහැයෙන් යුතු කුඩා විෂ්ණු ක්‍රාන්තිය මල් දෙස උදැසන මොහොතක්‌ බලා සිටීමෙන් පවා දැවෙන තැවෙන සිත නිවෙන ස්‌වභාවය ස්‌ථිරවම පසක්‌ කරගත හැකිය.

“හරි” යනු විෂ්ණු දෙවිඳුන්ට නමකි. “විෂ්ණු දෙවිඳුන් ප්‍රිය කරණ” යන අරුත ඇති “හරිප්‍රිය” නමද විෂ්ණුක්‍රාන්තිය සඳහා යෙදී තිබේ. එදා විෂ්ණු දෙවියන් උදෙසා පිළියෙළ කළ පූජාවට්‌ටියේ සුගන්දවත් මුල් අතර විෂ්ණුක්‍රාන්තිය මුල් ද විය. විෂ්ණු ක්‍රාන්තිය මුල් සිත් සනහන සුගන්ධයකින් යුතු වන අතර, පැරැන්නන් මෙම මුල් කුඩු කොට ගිනි අඟුරට දමා නිවස තුළ දුම් ඇල්ලීම සිදු කළේ විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම තුළින් සෙනසුරු අපල දුරුවී සහනය මෙන්ම සෞභාග්‍යයද ලැබෙනු ඇතැයි යන විශ්වාසය නිසාම විය හැක. කෙසේ නමුත් විෂ්ණුක්‍රාන්තිය මූල සතු ජීවානු නාශක ශක්‌තිය අති විශිෂ්ටය.

විෂ්ණුක්‍රාන්තිය ශ්‍රේෂ්ඨ ඖෂධයක්‌ද වේ. විෂ්ණු ගන්ධි, විෂ්ණු ක්‍රාන්තා, හරිප්‍රිය, නීල පුෂ්පී, සතීනා, ජර්දිකා, හරික්‍රාන්තා අපරාජිතා, නීල ක්‍රාන්තා ආදී සංස්‌කෘත පර්යාය නාම රාශියක්‌ ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත. විෂ්ණු ක්‍රාන්තිය පැලෑටිය පොළොව මත දුවන – පැතිරෙන බහු වාර්ෂික කෙටි වැල් සහිත කුඩා පඳුරකි. කඳ මෙන්ම පත්‍රවල යටි පැත්ත ඉතා සියුම් රෝමයන්ගෙන් ගැවසී ඇත. එදා ලංකාවේ සෑම තැනකම පාහේ සුලබව දැකිය හැකි වූ මෙම වටිනා පැලෑටිය අද දුලභය. කෙටි කලකින්ම වඳ වී යාමටද ඉඩ ඇත. හිරු උදාවත් සමග පිපෙන නිල් පැහැයෙන්යුත් මනස්‌කාන්ත මල් හිරු මුදුන් වන විට පරවී යයි.

විෂ්ණුක්‍රාන්තිය අගනා ඖෂධයකි. ස්‌නායු පද්ධතිය තුළ මෙම ඖෂධය සතු සක්‍රීයතාව විශ්මය ජනකය. මතක ශක්‌තිය වැඩි වීමට විෂ්ණුක්‍රාන්තිය මුල් කොටාගත් යුෂ තේ හැඳි 1-2 පමණ දිනපතා උදේ හිස්‌බඩ පානය කිරීමද එම මුල් තම්බාගත් වතුර අඩුකෝප්ප 1/2 – 1 උදැසන පානය කිරීමද අතිශයින් ගුණදායකය.

විෂ්ණු ක්‍රාන්තිය මුල් සහ සූදුරු යොදා උණු කරගත් එළකිරි පානය කිරීමෙන් ස්‌නායු දුර්වලත්වය දුරලයි. දේශීය වෛද්‍ය ක්‍රමයේ උමතු රෝග චිකිත්සාවේදී විෂ්ණුක්‍රාන්තිය සඳහා ඉතා වැදගත් තැනක්‌ හිමිවේ. මෙහි ඇති නිද්‍රdජනක ගුණය සහ ශාමක ගුණය ප්‍රයෝජනයට ගෙන දේශීය වෛද්‍යවරු උමතු රෝගීන් සුවපත් කරති. මානසික ආබාධ ඇති අයට මෙන්ම මනස සෙමෙන් වැඩෙන දරුවන් සඳහාද මෙය අතිශය ප්‍රයෝජනවත් ඖෂධයකි.

විශ්වයේ පාලකයෝ විෂ්ණුක්‍රාන්තිය මිහිතලය මත බිහි කළේ මානව වර්ගයාගේ සුවසෙත සුබසෙත උදෙසාමය. ඉන් ඵල ප්‍රයෝජන ගෙන ජීවිත සුත මුදිත කර ගැනුම මෙන්ම මතු පරපුර දැනුවත් කිරීමද මතු පරපුර සඳහා මෙවැනි අනගි ඔසු සුරැකීමද විශ්වයේ ආශීර්වාදය ලබා සුවපත් වන්නට හේතු වන්නේමය.

We found this article from Divaina on 2014/05/18.

RELATED ARTICLES

Most Popular

Recent Comments