අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා

1917
අත්ලේ
අත්ලේ

අත්ලේ පිහිටන ග්‍රහ මණ්‌ඩල පිළිබඳව පසුගිය නැකත කලාපවලින් විස්‌තර කළා ඔබට මතක ඇති. අද පටන් ඉදිරියට අපි විස්‌තර කරන්නට බලාපොරොත්තු වන්නේ අත්ලේ පිහිටි රේඛාවන් පිළිබඳවයි. මෙහිදී අත්ලෙහි පිහිටි රේඛාවන් කොටස්‌ දෙකකට බෙදෙයි. ප්‍රධාන රේඛා සහ අප්‍රධාන රේඛා යනුවෙනි. එයින් ප්‍රධාන රේඛාවන් පිළිබඳව අපි පළමුවෙන්ම කතා කරමු. ඒ අනුව ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘදය රේඛාව, දෛවය රේඛාව, කීර්ති රේඛාව, සුබ රේඛාව යන රේඛාවල් ප්‍රධාන රේඛාවන් ලෙස හඳුන්වනු ලබයි. ප්‍රධාන රේඛාවන් පිළිබඳ විස්‌තර කරන්න පළමුව එම රේඛා ආරම්භවන්නේ කොතනින්ද අවසන් වන්නේ කොතනින්ද කියා බලමු. පළමුව ඔබ මේ සමඟ ඇති රූප සටහන බලන්න. ප්‍රධාන රේඛාවන් හය දක්‌වා ඇති අයුරු පරීක්‍ෂා කරන්න. ඒ හැම රේඛාවකටම අකුරු යොදා ඇත්තේ එම රේඛාවන් ඔබට හඳුනා ගැනීමේ පහසුවටයි. මෙම සංකේත යෙදීම ඉදිරි ලිපිවලදීත් පාවිච්චි කරන බැවින් එම සංකේත අකුරු මතක තබා ගැනීම වැදගත් වේ.

ජීවන රේඛාව (ජීජී) මේ සමග පෙන්නුම් කරන රූපසටහනින් ජී. ජී. අක්‌ෂරවලින් පෙන්වන රේඛාව පිළිබඳ දැන් ඔබේ අවධානය යොමුකරන්න. මෙය තමයි ජීවන රේඛාව. සිකුරු මණ්‌ඩලය වටකරගෙන මහපට ඇඟිල්ල වටේට රවුමකින් භාගයක්‌ මෙන් ජීවන රේඛාව පැහැදිලිව තිබෙන පිළිවෙළ ඔබට පෙනෙනවා ඇති. හොඳ ජීවින රේඛාවක්‌ ආරම්භ වන්නේ මහපට ඇඟිල්ලටත් දබරඇඟිල්ලටත් අතර ඇති ස්‌ථානයකිනි. මෙම රේඛාව මැණික්‌ කටු රේඛා මතදී හෝ ඊට ආසන්න ස්‌ථානයකද අවසන් වෙයි.

ශීර්ෂ රේඛාව (ශී ශී) ශීර්ෂ රේඛාව පටන් ගන්නේත් ජීවන රේඛාව පටන් ගත්ත ප්‍රදේශයෙන්මය. ඒ කියන්නෙ මහපට ඇඟිල්ලත් දඹර ඇඟිල්ලත් අතරින්. එය කුජ තලාව හරහා (අත්ලේ මැද) විහිදගොස්‌ චන්ද්‍ර මණ්‌ඩය ප්‍රදේශයෙන් අවසන් වෙයි. රූප සටහනේ ශී ශී අක්‌ෂර දෙක පරීක්‍ෂා කිරීමෙන් ඔබට ශීර්ෂ රේඛාව හඳුනා ගන්න පුළුවන් වේවි.

හෘද රේඛාව (හ හ)

දැන් බලන්න රූප සටහනේ (හ හ) අක්‌ෂරවලින් සලකුණු කර ඇති රේඛාව දෙස. එය තමයි හෘදය රේඛාව කියල හඳුන්වන්නේ. ගුරු මණ්‌ඩලය ආශ්‍රයෙන් ආරම්භ වෙන මෙම රේඛාව ශනි මණ්‌ඩලය හා රවි මණ්‌ඩලය පසු කරගෙන ගොස්‌ බුධ මණ්‌ඩලයෙන් අවසන් වෙයි. සමහර අයගේ හෘදය රේඛාව බුධ මණ්‌ඩලය ආශ්‍රයෙන් පටන්ගෙන රවි මණ්‌ඩලය පසුකරගෙන ගොස්‌ අත්ල පැත්තට විහිද ගොස්‌ ඇති බවක්‌ දැකිය හැකියි.

අත්ලේ

දෛව රේඛාව (දෛ දෛ)

දෛව රේඛාව පටන් ගන්නේත් බොහෝවිට මැණික්‌ කටු රේඛා ආශ්‍රයෙන්මයි. එම රේඛාව ශනි මණ්‌ඩලය දක්‌වා (මැදගිල්ල මුල) උඩ අතට විහිද යන අතර රූප සටහනේ සලකුණු කර ඇති (ද ද) යන අක්‌ෂර අනුව ඔබට දෛව රේඛාව හඳුනා ගත හැකිවෙයි.

කීර්ති රේඛාව (කිකී)

රූප සටහනේ (කී කී) අක්‌ෂරවලින් පෙන්නුම් කර ඇති රේඛාව දෙස දැන් බලන්න. එය තමයි කීර්ති රේඛාව. චන්ද්‍ර මණ්‌ඩලය පැත්තෙන් හෝ කුජ පැත්තෙන් හෝ මතුවී එය වෙද ඇඟිල්ල දෙසට විහිද යයි. කීර්ති රේඛාවේ ගමන් මාර්ගය හැමවිටම රවි මණ්‌aඩලයෙන් අවසන් වන බව මතක තබා ගත යුතුය. එම රේඛාවට රවි රේඛාව කියල කියන්නේත් රවි මණ්‌ඩලයේ සම්බන්ධතාව නිසාමයි.

සුඛ රේඛාව (සුසු)

චන්ද්‍ර මණ්‌ඩලයෙන් ආරම්භවන සුඛ රේඛාව දෙවැනි කුජ මණ්‌ඩලය හරහා උඩු අත බලා විහිද ගොස්‌ බුධ මණ්‌ඩලයෙන් තම ගමන් මග අවසන් කරයි. රූප සටහනේ (සුසු) අක්‌ෂරවලින් පෙන්නුම් කරන්නේ එම සුඛ රේඛාවේ සාමාන්‍ය පිහිටීමයි.

අත්ලේ

රේඛා සම්බන්ධ වූ පාඨමාලාව සාමුද්‍රිත ශාස්‌ත්‍රයේ ඉතාමත් වැදගත් වූත්, ගැඹුරු වූත් කොටස වශයෙන් හඳුන්වා දිය හැකිය. කෙනෙකුගේ අත්ලේ රේඛා පිහිටන්නේ ඔහුගේ හෝ ඇයගේ පෙර භවයන්හි කළ පින් පව් අනුවය. ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව සහ හෘදය රේඛාව යන ප්‍රධාන රේඛා තුනම පිහිටන්නේ මව්කුස තුළදීමය. මේ නිසා කුඩා දරුවකුගේ වුවත් ජීවන තොරතුරු සෑහෙන ප්‍රමාණයක්‌ ඔහුගේ හෝ ඇයගේ අත පරීක්‍ෂා කර බලා කිව හැක. වයසින් වැඩෙත්ම මොළය දියුණුවීම හේතුවෙන් ජීවත්වෙන පරිසරයෙන් ලබාගන්නා නොයෙකුත් අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට තදින්ම බලපායි.

වයසින් මුහුකුරායත්ම ඇතිවන්නා වූ නොයෙකුත් හැල හැප්පීම් නිසා දරුවාගේ අල්ලේ රේඛා වලටත් යම් යම් වෙනස්‌කම් සිදුවිය යුතුය. පොඩි අයෙකුගේ අතක්‌ බලා කියන අනාවැකිවල යම් යම් අඩුපාඩු තිබිය හැක්‌කේ එම නිසාය. රේඛාවන් අසවල් ස්‌ථානයකින් ආරම්භ වී අසවල් ස්‌ථානයකින් අවසන් වෙනවා යයි ස්‌ථිරවම කිව නොහැක. මා ඉහතින් විස්‌තර කළේ රේඛාවල සාමාන්‍ය පිහිටීම පමණකි. දැන් ඔබ තමන්ගේම අත දෙස බලන්න. මා සඳහන් කළ එම රේඛා තමන්ගේ අත්වල තියෙනවාද කියා මෙවර විස්‌තර කළේ ප්‍රධාන රේඛාවන්වල පිහිටීම පමණයි.පසු ලිපිවලින් එම රේඛාවන් එකින් එක විස්‌තර කිරීමට බලාපොරොත්තු වෙමි.

We found this article from Divaina on 2013/12/01.