අනුන් දෙස අවිශ්වාසයෙන් බලන ධනු ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…

0
74
ධනු
ධනු

දුන්නකින් ඉලක්‌කයට විදීමට සැරසෙන මිනිසෙකු සංකේතවත් කරන ධනු රාශිය රාශි චක්‍රයේ නව වෙනි රාශිය වේ. පුරුෂ හා දක්‍ෂිණ රාශියක්‌ වන ධනු ලග්නයෙන් උපන් අය තමන්ට අයත් නොවන දේ මායිමකටවත් නොගන්නෝ වෙති.

ප්‍රඥාකාරක ගුරු හෙවත් බ්‍රහස්‌පති අධිපතිත්වය දරන ධනු ලග්නයේ උපනුන් උසස්‌ ගුණධර්මවලින් පිරිපුන් එඩිතර යුක්‌තිගරුක කෙලින් වැඩ කරන නිදහස්‌ අදහස්‌ දරන අය වේ. හැම විටම ස්‌වරූප දෙකකින් පෙනී සිටින මොවුන් විටෙක ඉතාමත් කලබලකාරී ඉක්‌මන් කෝපයෙන් කටයුතු කරන අතර තවත් විටෙක දැඩි ඉවසීමෙන් යුතුව සංවරව බුද්ධියට මුල් තැනදී ක්‍රියා කරයි. භාරගත් කුමන කටයුත්තක්‌ වුවද අවසන්වනතුරු අත්නොහරී. හැකි සෑම අවස්‌ථාවකම තම විනීතකම හා ආත්මගෞරවය ආරක්‍ෂා කර ගනී. උපතින්ම චාම් දිවියකට ප්‍රිය කිරීම නිසාත් ගුණධර්ම දියුණු කර ගැනීමේ හැකියාව නිසාත් උසස්‌ තත්ත්වයකට පත්වීමේ වාසනාව ලබන්නෝය.

පරිත්‍යාගශීලී ගුණය මොවුන් තුළ දක්‌නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයකි. තමන් සතු සැප සම්පත් අන් අය වෙනුවෙන් කැපකිරීමට තරම් සැබෑ මිනිස්‌ ගතිගුණවලින් පිරිපුන් චරිතයක්‌ මොවුනට හිමිවේ. නිතරම තරුණ බවින් සිටීමට උත්සාහ කරන අතර බොහෝ විට තම රූපයට වඩා අඩු රූප සම්පත්තියක්‌ හෙබි සහකරුවන් ලබයි. මේ නිසාම ධනු ලග්න හිමි බොහෝ දෙනෙක්‌ අන් අයගේ භාර්යාවන්ට හා සැමියන්ට බෙහෙවින් ඇළුම් කරයි

පුළුල් යුක්‌ති ගරුක අදහස්‌ ඇති සෘජු ගතිගුණවලින් හෙබි ධනු ලග්නයෙන් උපන් තැනැත්තෝ මේෂ රාශියේ උපන් ජන්මීන් සේම උසස්‌ වීමේ දැඩි බලාපොරොත්තු සහිත අයෙක්‌ වේ. යුක්‌ති ගරුක වීම නිසා පොදු සමාජය තුළ ගෞරවයට පාත්‍රවන ධනු ලග්න හිමියා නිතර සතුරන් ඇති කර ගනියි. එහෙත් ඒ බව දැන දැනම තමනට කුමනාකාර පෞද්ගලික අවාසි සිදු වුවද තමන් ඉදිරියේ කවරෙකුට වුවද අයුත්තක්‌ සිදු වුවහොත් එය ඉවසිය නොහැකි වෙයි. වහා මැදිහත් වෙයි. සටනට වුව ද පෙළඹෙයි. තමන් කරන කුමන කටයුත්තක්‌ වුවද නිත්‍යානුකූල ලෙසම කරයි. වාසිය දැක දැකත් යුක්‌ති ගරුක වෙමින් අවාසිය පිළිගනියි.

බොහෝ ක්‍ෂේත්‍රයන් පිළිබඳ පුළුල් අත්දැකීම් පිහිටයි. භාරගත් කුමන කටයුත්තක්‌ වූව ද නිසි ලෙස ඉටු කිරීමට වෙහෙස වෙයි. දැනුමත් ධෛර්යයත් නොඅඩුව පවතින බැවින් කුමන කටයුත්තක්‌ වුවද බිය නැතිව භාර ගනී. එමෙන්ම එය අවසානය දක්‌වා එක සමාන උනන්දුවකින් යුතුව කරන්නේ පටන් ගත් දේ අතර මග නතර කරන මිථුන ලග්න හිමියාට වඩා ප්‍රතිවිරුද්ධ ස්‌වභාවයකිනි.

විවිධ ශිල්ප ශාස්‌ත්‍රයන්ද, ආගමික දර්ශනාදිය ද, මහත් උසස්‌ කොට සලකයි. මුදලට, බලයට නොව එවන් දැනුමැති උගතුන්ට ගෞරව කරයි. ඇසුරු කරයි. බොහෝ විට ධනු ලග්න හිමියා තම රැකියාව බවට පත්කර ගන්නේ ශිල්ප ශාස්‌ත්‍ර දර්ශන ආදියට සම්බන්ධ අංශයක්‌ බව පෙනේ. කරන කියන කුමන කටයුත්තක්‌ වුවද පුළුල් අයුරින් කිරීමට සැලසුම් කරයි. ඇතැම් විට මේ පුළුල් බව නිසාම කටයුතු අතපසු වෙයි. එහෙත් එවන් කටයුතුවලින් ජය ලැබීමේ භාග්‍ය ඔවුනට උපතින්ම හිමිවෙයි.

නිදහසට, සාමයට ගරු කරයි. තම දූ දරුවන්ට, බිරිඳට වුවද හැකිතරම් නිදහස ලබා දෙයි. තමා ද නිදහස්‌ ලෙස ගත කිරීමට බෙහෙවින් උත්සාහ කරයි. ඇතැම් විට සියලු බැමිවලින් නිදහස්‌ වන්නට සිතයි. ඒ සම්බන්ධ ග්‍රහයෝග සුවිශේෂව යෙදුණහොත් ගිහිගෙය හැරයාමට වුවද ඉඩ තිබේ.

අන්‍යයන්ගෙන් නොරැවටීමට ප්‍රවේශම් වෙයි. බොහෝ විට ධනු ලග්න හිමියන්ට සහජ ඉවකින් මෙන් අන්‍යයන්ගේ සිත් දක්‌නා නුවණ පහළව ඇති බැවින් එසේ ප්‍රවේශම් විය හැකිවෙයි. ඇතැම් විට යමෙක්‌ කපටිකමක්‌ කරන බව දැන දැනම ඊට සම්බන්ධ වෙයි. එසේ කරන්නේ ඔහු කෙරේ අනුකම්පාවෙන් විනා කපටිකමට අසු වී නොවේ. නිතර ප්‍රීතියෙන් පසු වීමට උත්සාහ කරයි. කොතරම් විශාල ගැටලුවක්‌ සිත තුළ තිබුණ ද එය අමතක කර දමා සතුටු වෙයි. ඇතැම් විට අනෙකෙකුගේ ගැටලුවකට පිළිතුරු සොයන්නට වෙහෙසෙයි. අන්‍යයන්ට උපදෙස්‌ දෙයි. ඔහුගේ ඇතැම් උපදෙස්‌ ආඥා ස්‌වරූපය ගන්නා බැවින් ඔහුගේ චරිතය මනාව නොහඳුනන්නකු අමනාප වීමට බැරි නැත. සිතෙහි කපටි කමක්‌ නොමැතිව කිවයුත්ත බොහෝ විට ප්‍රසිද්ධියේම කියයි. හිත රිදෙන බව සලකා බොරුවෙන් මුළා නොකරයි.

ධනු ලග්න හිමියාගේ හැසිරීම අන් අයට පූර්ව නිගමන දිය හැක්‌කක්‌ නොවේ. ඇතැම් විට අතදිග හැර අනවශ්‍ය වියදම් පවා කරන ඔහු විටෙක හැසිරෙන්නේ තද මසුරකු පරිදේදෙනි. කෙතරම් බුද්ධිමත් තීරණ ගැනීමට සමතකු වූවද හිටිවනම පොඩි දරුවකු නොකරන තරමේ බොළඳ වැඩක්‌ වුවද කිරීමට පෙළඹෙයි. ධෛර්ය සම්පන්න පුද්ගලයකු වන නමුදු විටෙක දැඩි අලස ස්‌වභාවයක්‌ දක්‌වයි. එහෙත් බොහෝ විට දවසේ වැඩි කාලයක්‌ ප්‍රයෝජනවත් කටයුතු සඳහා මහන්සි වෙයි. දුර්වල ග්‍රහයෝග නැතොත් බොහෝ විට කරන කටයුතුවලින් කුමනාකාර හෝ ජයක්‌ ලබයි.

විනීත ස්‌වභාවයකින් සහ ප්‍රීතිමත් ස්‌වභාවයකින් යුක්‌ත බැවින් හිතවතුනට ප්‍රිය වේ. ධනු ලග්න හිමියා නිබඳවම ආදරයට සෙනෙහසට දැඩි ඇල්මක්‌ දක්‌වයි. සෙනෙහස පතා බොහෝ දේ කරයි. රටක්‌ රාජ්‍යයක්‌ වුවද සෙනෙහස වෙනුවෙන් අත්හැර දමන්න ධනු ලග්න හිමියා කැමති වෙයි.

තීන්දු ගැනීමේ දී ධනු ලග්න හිමියන් තරම් දක්‍ෂ ලෙස ක්‍රියා කරන්නන් අනෙක්‌ කිසිදු රාශියක නැත. ක්‍ෂණිකවම ගන්නා තීරණ වුවද කල්තබා සැලසුම් කළ අයුරින් සාර්ථක වෙයි. නිහතමානීය, චාම්ය. තම සැප අනුන් වෙනුවෙන් කැප කිරීමට හැමවිටම සූදානම්ය.

නොසිතූ විරූ ඉලක්‌කයන් හඹා ගොස්‌ ජය ලබා ගැනීමට සහජයෙන් ලැබූ කිසියම් බලයක්‌ ඇති ධනු ලග්න හිමියා අන්‍යයන් කෙරේ බොහෝ විට අවිශ්වාසයෙන් බලයි.

තේජෝ ගුණයෙන් යුතු ධනු ලග්නයෙන් උපන් අය අන්අය යටතේ සේවය කිරීමට අකමැතිය. අයුක්‌තියට අසාධාරණයට හිස නොනමන මොවුන් ජනප්‍රිය වීමේ දැඩි ආශාවකින් පෙළෙන්නෝ වෙති. යමක්‌ කරන්නට කියන්නට පෙර එය නුවණින් සිතාබලා කිරීම සිරිතකි.

පැහැපත් ප්‍රියමනාප පිරිපුන් දේහයකට හිමිකම් කියන ධනු ලග්න හිමියෝ හැමවිටම තම වයසට වඩා තරුණ බවක්‌ පෙන්නුම් කරයි. කිසිවෙකුට විරුද්ධ වන්නේ නම් ඔහුගේ තත්ත්වය බලය නිලය පිළිබඳ තකන්නේ නැත. දැඩි නීති ගරුකව ජීවත් වන අතර වරෙක ආඩම්බරය වරෙක දඩබ්බරය. එහෙත් අනුන්ගේ රැවටිලිවලට හසුවිය හැකි අවස්‌ථාද පෙන්නුම් කෙරේ. කරන දේ ලොකුවට කිරීමට සිතන මොවුන් හදිසියේ ගන්නා තීන්දු තීරණ බොහෝ විට සැළසුම් සහගත ලෙස ගත් තීන්දු ලෙස හරියයි.

තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල පවතින රෝග උගුරේ සෙම තත්ත්වයන් නිසා හට ගන්නා රෝග අර්ශස්‌, කකුල් ඉදිමීම නොඑසේනම් කකුල්වල ලේ නහර මතු වීම වැනි රෝගා බාධයන් ධනු ලග්න හිමියන්ට පීඩාගෙන දෙන ඒවා වන අතර මොවුනගේ මාරක ග්‍රහයන් වන්නේ ශනි, සිකුරු හා සඳු බැවින් මෙම ග්‍රහයන්ගේ දශා අන්තර්දශා කාලවලදී වාහන, ඉන්ධන, ගින්දර, විදුලිය වැනි දේවලින් ප්‍රවේශම් වීම වැදගත්ය. විශේෂයෙන්ම ගිනි හා විදුලිය දරුණු ලෙස බලපායි.

සතියේ බදාදා සහ සිකුරාදා යන දිනයන් ජයග්‍රාහී දිනයන් වන අතර සඳුදා අඟහරුවාදා දිනයන් අශූභ වේ.

We found this article from Divaina on 2013/08/11.