අපල දුරු කරගන්න හොඳම මග

1599
අපල
අපල

ශනි අපල, කුජ අපල, රාහු අපල, කේතු අපල විදියට අපි දකින්නේ තමන්ගේම පව්වල විපාක මිස වෙනයමක්‌ නොවෙයි. මිනිහෙක්‌ ජීවත්ව ඉද්දී පෙර පව් විපාක ලැබෙනවා වගේම අලුත් පව් උපද්දා ගන්න එකත් සිදුවෙනවා. මේ සේරම විඤ්ඤාණයේ තැන්පත් වෙනවා. සමහර ඒවා අපට මතක නෑ. මරණාසන්න චිත්තයේ මේවා මතුවෙනවා. ඒ කෙරෙන සෑම පවකටම අපාය උත්පත්ති දෙන්න පුළුවන් බලය අඩුයි. අපාය හෝ මිනිස්‌ ලොව හෝ උපතක්‌ දෙන්න පුළුවන් වෙන්නේ වඩාත් බලවත් අකුසල හෝ කුසල කර්මයකටයි. පොදුවේ එය “ජනක කර්මය” ලෙසින් හඳුන්වනවා.

ජනක කර්මය

ඒ විදියට ජනක කර්මය බිහිවෙන්නේ අර කියපු විඤ්ඤාණ ගත පව පින අනුව වඩාත්ම බලවත් පව හෝ පින අනුවයි. “ජනක” යනුවෙන් පවසන්නේ නැවත උපතක්‌දීම යන්නය. පින නම් අගතියකත් පවනම් අගතියකත් උපද්දවීම ජනක කර්මයේ ස්‌වභාවයයි. මිනිස්‌ ජීවිතය තුළ උපදින කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පව් පින් සියල්ල ජනක කර්මයට අයත් වුවත් ඒවා භවයක්‌ ලබාදීමට තරම් ප්‍රබල නැති නිසා භවයක උපද්දන්න සමත් වන ජනක කර්මය සමග ඒ භවයට පැමිණ අර පෙරකී ලෙස ජීවිතයේ කලින් කලට ඒවා විපාක අත්කර දෙමින් අහෝසි වී යනවා.

ඉතින් අපි කතා කළේ පව් ගැනයි. එහෙම නැත්තන් අපල ගැනයි. සිතුවිලි වචන හරහා අපි දැන දැනම වාගේ සිද්ධ වන පව් අනන්ත පරිමාණයයි. මිනිස්‌ දිවියකට අවහිර බාධක කරදර ඇති කරන්නේ ඒ පාප කර්මයි. “ගිය සතියේ රුපියල් දහදාහක්‌ එක්‌ක මගේ පර්ස්‌ එක නැතිවුණා. මේ සතියේ සෙට්‌වෙලා තිබුන කොන්ත්‍රාත් එක නියමයක්‌ නැතිව දින ගියා. නෝනා කුස්‌සියේදී ලිස්‌සලා වැටිලා කකුල නොකැඩී නූලෙන් බේරුණා. නමුත් තැල්ම. අඩිය තියන්න බෑ. ඉදිමිලා. මහත්තයෝ කල දසාව ටිකක්‌ බලාගන්න ඕනෑ මොකාද ලබල තියෙන්නේ කියලා.”

අපල

විඤ්ඤාණය

කෙනෙක්‌ කේන්ද්‍රයත් අරන් ඇවිල්ල එහෙම අහන්නේ ග්‍රහයො 9 දෙනත් එක්‌ක වෛරයෙන් වගෙයි. ඒකට ග්‍රහයෝ පලි නෑ. ඒ සේරම දේවල් වෙන හේතුව තියෙන්නේ තමන්ගේම මනස තුළ. විඤ්ඤාණය තුළ. මේ භවය ලබා දෙන්න මූලික වුණ ජනක කර්මයත් එක්‌ක ඇලිලා ආපු පෙර පාප විපාකයි. කේන්ද්‍රය කියන්නේ කෙනෙකුගේ විඤ්ඤාණය මයි. ඉතින් ඒකේ සටහන් වෙලා තියෙන්නේ මන්දාකිණි තරුවළල්ලෙන් ඒවා ක්‍රියාත්මක කරන සටහනයි. සර්කිට්‌ එක කිව්වත් නිවැරදියි. ඒ ග්‍රහයෝ මන්දාකිණි තරුවළල්ල වටේ ගමන් කරනවිට සිද්ධවෙන විවිධ හැලහැප්පිලි අනුව තමන්ගේ විඤ්ඤාණයේ පෙර පව් පින් ක්‍රියාත්මක වෙයි.

ඉතින් ඒක අවබෝධ කරගන්න ජ්‍යෙතිෂයෙන් පුලුවන්. ඒ නිසා කරදර බාධක කල්තබා හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන් වෙයි. ජ්‍යෙතිෂය කියන්නේ තිත්ත කළුවරේ ගමන් කරන්න සිද්දවෙන මිනිහෙකුට ආලෝකයක්‌ බඳු දෙයකි. එනිසා ගස්‌-ගල් මුල්වල නොහැප්පී සතා සර්පයාගෙන් බේරී ගමන් කළ හැකි ආලෝකයකි.

ජ්‍යෙතිෂය නිතරම ධර්මය හා බැඳී ගමන් කරයි. අපල දුරුකර ගන්නට දෙන්නේ බෝධි පූජා වැනි මනස – විඤ්ඤාණය පැහැපත් කරන කුසල ධන ශක්‌ති උපදවා ගන්නටය. විශේෂයෙන් පන්සිල් රැකීම – දානමාන කුසල් රැස්‌කිරීම – භාවනා වැඩීම – මෛත්‍රී කිරීම වැනි දේවල් විඤ්ඤාණය තුළ ඇති කිරීමෙන් ඒ තුළ පවතින අකුසල කර්ම බෙලහීන වෙයි. දුර්වල වෙයි. මේ නිසා කෙනෙකුගේ අපල අභිබවා නැගී සිටීමේ ශක්‌තිය ලැබේ.

අපල

එසේම තෘෂ්ණාව පාලනය කළ යුතුය. අපල යනු පාපගිනි අඟුරු නම්, තෘෂ්ණාව එය අවුළුවන සුළඟයි. විශේෂයෙන් තෘෂ්ණාව සමග බද්ධ වන ද්වේෂය ප්‍රධාන වශයෙන් තමන්ට අයහපත කැඳවයි. දරුණු ලෙස සෙනසුරු-කුජ-රාහු ආදී අපල වශයෙන් තරමක්‌ බරපතළ තතත්වයේ පාප විපාක බලගැන්වීමකි. එකී කාලවල විශේෂයෙන් ජන්මියා ද්වේෂ සහගතව කටයුතු කිරීමෙන් එම විපාක බලවත් වේ.

සෙනසුරු අපල

සෙනසුරු ඒරාෂ්ඨක අවස්‌ථාව ඉතාමත් තදබල ලෙස පෙර පව්වල විපාක ලබාදෙන අවස්‌ථාවකි. තමන් කර ඇති පාපයේ බලවත් බව අනුව ඒරාෂ්ඨක විපාක අත්කරයි. ඇතැම් විට වම් කකුල තදබල ලෙස සිඳ ඒ වසර 2 1/2 ම ඔත්පල කර සියලු වැඩ අඩාල කර ණයවීමටද සලස්‌වයි. තව සමහර අයට අවුල් වියවුල් ඇති කර මහා පඹගාල්වල පටලවා දුක්‌ අත්කරයි. සමහර අයට එම කාලය තුළ ඒරාෂ්ඨක තිබුණාදවත් නොදැනේ. එසේ වන්නේ පාප බලවල ස්‌වභාවය අනුවය.

චතුරාර්ය සත්‍යයට අනුව සියල්ල සිදුවන්නේ ලෝභ හෙවත් තණ්‌හාව ද්වේෂය නිසාය. සියලු දුක්‌ ඇතිවන්නේ ඒ නිසාය. වර්තමානයේ මිනිසා අවබෝධ කළ යුත්තේ ද එයයි. සඵලකර ගන්නට බැරි තරම් තණ්‌හා පොදි ගසා ගෙන වෛරය ක්‍රෝධය, සමග ජීවත්වන විට ඉදිරි භවයන්ට තවත් පව් උපදවා ගන්නා අතර පෙර පව් දිළිසෙන ගිනි අඟුරුමෙන් විපාක අත්කරයි. සියලු අපලවලින් මිදීම සැබෑ ලෙසම පංචශීලයේ පිහිටා ධර්මානුකූලව ජීවත්වීම හා බුදු දහම ගැඹුරු තැන් විමසා අවබෝධකර භාවනාදී ක්‍රියාවල නියෑළීමෙන් පමණක්‌ පරිපූර්ණ ඒකායන මාර්ග වේ.

අපල

අප රටේ ප්‍රවීණ කීර්තිමත් ජ්‍යෙතිෂ විශාරදයෙක්‌ වූ ජී. එම්. ගුණපාල මහතාගේ පොතකින් (දශාඵල රහස්‌) උපුටාගත් මෙම කරුණු අවසන් වශයෙන් සටහන් කරමි. සෙනසුරුගේ ඒරාෂ්ඨක පවතින කාලවල තම ජීවිතය වඩවඩාත් අන්ත්‍රාදායක තත්ත්වයට පත්වන්නේ මේ පහත සඳහන් වන කටයුතුවල ඔබ නියෑළුණොත්ය. බරපතළ අන්ත්‍රාදායක තත්ත්වයන් දක්‌වා සෙනසුරු අපල වර්ධනය වීම එයින් සිදුවේ.

සිතාමතා අනුන්ට කරදර කිරීම, හිමිනැති අන්සතු ඉඩම්, දේපළ බලහත්කාරයෙන් ලබාගැනීම, හිතා මතා අනුන් රැවටීම, අන්‍යයන්ගේ සැපතට දියුණුවට ඊර්ෂ්‍යාකිරීම, අන්අයගේ අඹුවන් සමග අනාචාරයේ හැසිරීම, ගනිකා සේවනය, මිතුරන් රැවටීම, අල්ලස්‌ ගැනීම – අහිංසකයන්ට දඬුවම් පැමිණවීම, අනුන් මැරීම හෝ මැරවීම – වස විෂදීම, මවුපියන්ට නිගරු කිරීම, ගුරුවරාදීන්ට හිරිහැර පැමිණවීම, සොරකම, ගත් ණය ආපසු නොගෙවීම, බුදුන් දෙවියන්ට අගෞරව කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කිරීම යන කරුණුවලින් කීපයක්‌ හෝ ඔබ අතින් සිදුවේනම් සෙත් ශාන්ති බෝධි පූජා කොපමණ කළත් එම බලය හීන වෙයි.

We found this article from Divaina on 2013/12/22.