අතේ දිගම ඇඟිල්ල වූ මැද ඇඟිල්ල පිළිබඳවයි අද අපි විස්තර කරනුයේ. කිසියම් අයෙකුගේ මැද ඇඟිල්ල තුළින් සෙනසුරුගේ ගුණයක් වන, ඉවසීම, ස්ථානෝචිත බව, ආත්ම විශ්ලේෂණය වැනි ලක්ෂණ ප්‍රකට කරයි. එමෙන්ම එම තැනැත්තාගේ ඥානය, අධ්‍යාපනය, ධර්මය කෙරෙහි ඇති විශ්වාසය පෙන්නුම් කරන්නේද මැදගිල්ලෙනි.
නිය පිහිටා ඇති පුරුක අයත් වන්නේ මකර රාශියටයි. මෙම මකර රාශියට අයිති පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් එම පුද්ගලයා, තද මසුරු කමින් පිරුණ අයෙක් විය හැක. එසේම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන් පිරුණ අයෙකි. තවද පුරුකේ අග එනම් ඇඟිලි තුඩුව උල්ව පිහිටියේ නම් හේ අනුකම්පා රහිත දුරදිග නොබලා ක්‍රියාකරන විචාර බුද්ධියෙන් අඩු අයෙක් වෙයි. තවද එම පුරුකේ තාරකා, ත්‍රිකෝණ ආදී සලකුණු පිහිටීම සුබ නොවේ.

කාන්තාවකගේ මැද ඇඟිලේ මුල් පුරුකේ කුරුසයක් වැනි සටහනක් ඇතිවීමෙන් ඇයට දරුවන් අහිමි බව කියෑවේ. මුල පුරුක හතරැස් ආකරයට පිහිටි අය සාමකාමී ගතිගුණ ඇති අයවේ. එසේම මෙම පුරුක මනාසේ දිගු වී පිරිපුන් ලෙස පිහිටියේ නම් ඉවසිලිවන්ත, ධෛර්ය සම්පන්න, කෙසේ හෝ තම අරමුණ සාර්ථක කරගන්නා අයවේ.
දෙවෙනි පුරුක
දෙවෙනි පුරුක අයත් වන්නේ කුම්භ රාශියටයි. සාමුද්රක ශාස්ත්‍රයට අනුව දෙවෙනි පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් එය සුබ පිහිටීමක් වෙයි. එබදු අයට වැවිලි කර්මාන්ත හා වගා කටයුතුවලින් සත්ත්ව පාලන කටයුතුවලින් ඉතාමත් දියුණු තත්ත්වයකට පත් විය හැක. මැද පුරුකේ කොඩියක ලකුණක් පිහිටා ඇති විට හදිසි ධන ලාභ, ලැබෙන බවද සඳහන් ය. ඇඟිල්ලේ මැද පුරුක කෙටි නම් අහංකාර ගති සහිත, ඊර්ෂ්‍යා සහගත අන් අය නොසිතන අයෙක් වෙයි.
එසේම මැද ඇඟිල්ලේ සෘජුව විහිදුනු රේඛාවක් දර්ශනය වේ නම් ඔහු හැම විටම ජයග්‍රහණ ලබයි. ධනය මහත්සේ හිමි කරගන්නා උතුම් පුද්ගලයෙක් වෙයි. එමෙන්ම යහපත් මානසික තත්ත්වයකින් යුක්ත කාරුණික යුක්ති ගරුක කෙනෙක් විය යුතුය. තුන්වෙනි පුරුක අයත්වන්නේ මීන රාශියටයි. එම රාශියට අයත් සලකුණත් ඔබට පේනව ඇතිනේ. මෙම පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් එම පුද්ගලයා අන් අය වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි. ඔහු කරදරයට පත්වන්නේද මේ නිසාය.
නමුත් මෙම තුන්වෙනි පුරුකේ වටාපොත කට සමාන ලකුණක් සටහන් වේ නම් එය මංගල ලක්ෂණයක් වේ. අප මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හස්ත ගතවත් මෙය විද්‍යමාන විය. එසේ වුවත් මෙම පුරුක අසාමාන්‍ය ලෙස දිගින් වැඩි නම් එම පුද්ගලයා සියදිවි හානිකර ගැනීමට පවා යොමු විය හැක. එමෙන්ම ස්ත්‍රියකගේ මැද ඇඟිල්ලේ ඒ ආකාර වේ නම් තම ස්වාමි පුරුෂයාගේ වියෝවටද හේතුවෙයි.

මැද ඇඟිල්ල දිගින් වැඩි ද?
මැද ඇඟිල්ල අනිත් ඇඟිලිවලට වඩා දිගින් වැඩිවීම හැම අතින්ම වාසනාව ගෙනෙන පිහිටීමකි. කිසිම දෙයකින් හිඟ අඩුපාඩුවක් නැති පින්වත් අයෙක් එමගින් හඳුන්වා දෙයි. මැද ඇඟිල්ල අනිත් ඇඟිලිවලට වඩා කොට නම් එම පුද්ගලයා මිනීමරු සාහසික පුද්ගලයෙක් වීමට බොහෝ විට ඉඩ ඇත. මැද ඇඟිල්ල වකුටු වූ ආකාරයෙන් ඇත්තේ නම් එමගින් පෙන්නුම් කරන්නේ ඔහු හෝ ඇය මානසික ලෙඩෙක් විය හැකි බවයි. කුමන ක්‍රමයකින් හෝ මුදල් සෙවීම පරමාර්ථය කරගත් අයගේ මැද ඇඟිල්ල හා වෙද ඇඟිල්ල එක සමාන උසකින් පිහිටයි.
ඇඟිලි තුඩු උල් ආකාරයෙන් පිහිටි අය රහස් වැඩවලින් ධනය උපයයි. මත්පැන් විකුණන, හොරමුදල් ගණිකා මඩම් පවත්වා මුදල් උපයන අයගේ අත්වල මෙබඳු පිහිටීම් දැකිය හැක. මැද ඇඟිල්ලේ තුඩු හතරැස් ආකාර වීම සුබඵලදායකය. ආත්ම ශක්තිය යොදවා යහපත් තීරණ ගැනීමට ඔවුන් තුළ උපන් හපන් කමක් ඇත. එබදු පුද්ගලයෝ සෘජු ප්‍රතිපත්ති ඇත්තෝ වෙති. දැඩි දේවභක්තියෙන් යුක්ත අයගේ මැදගිල්ල දබරගිල්ල පැත්තට බරව පිහිටයි.
කිසියම් අයෙකුගේ මැද ඇඟිල්ල වෙදගිල්ල පැත්තට බරව ඇත්තේ නම් හේ වඩාත් නිරෝගි පුද්ගලයෙකුවේ. මැද ඇඟිල්ලේ පුරුක් තුනට සම්බන්ධ වන ආකාරයේ රේඛා එකක්, හෝ කීපයක් දික් අතට (උඩ සිට පහළට) විහිද යැම කලාතුරකින් දැකිය හැකි වාසනාවන්ත පිහිටීමක් වෙයි. එවැනි අයට භූමියෙන් ලැබෙන වටිනා සම්පත් උරුමයි. මිල කළ නොහැකි තරම් මැණික් ආදිය ලැබීමට හේතුවෙයි. එමෙන්ම මැද ඇඟිල්ල මනාසේ දිගුව අග සමතලා ආකාරයට පිහිටීම කලා ක්ෂේත්රය තුළ වඩා ජනප්‍රියභාවයක් හිමිවීමට හේතුවක් වෙයි.