ආහාර බඳුන බදාගත් අමනුෂ්‍යයෝ

1595
ආහාර
ආහාර

මනුෂ්‍ය ආත්මයක්‌ ලැබූ බොහෝ අය සිත කය වචනය පාලනය නොකර ගැනීමෙන් කුසල්වලට වඩා කර ගන්නේ අකුසල කර්මයන්ය. එය තමා දැන හෝ නොදැන කළත් විපාක ලැබෙන විට ඒවාට මුහුණ දීමට සිදුවන්නේ තමාටම මිස අන් අයකුට නොවේ.

පසුගිය දිනෙක තම අඹුදරුවන් කෙරෙහි කිසි තැකීමක්‌ නොකර ප්‍රාණඝාත අකුසලයෙහි නිතර යෙදෙමින් සුරාපානයට ඇබ්බැහි වූවකුගේ ශෝකාන්තයක්‌ මාලබේ ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. එහිදී වස පානය කර සියදිවි නසා ගත් ඔහුගේ පරලොව ගමන සුගතියට හෝ අගතියට ගියාදැයි කිව නොහැකි වුවත් එම නිවසෙහි වූ පහත සිදුවීම බුදුදහමට අනුව බොදුනුවන් වූ අපට බොහෝ දේ පසක්‌ කරන්නට ඉඩකඩ සලසා තිබිණි.

පියසේන සිව්දරු පියෙකි. නිවසේ කොපමණ අග හිඟකම් තිබුණත් ඒවා කෙරෙහි තඹයකට මායිම් නොකරන ඔහු මත්පැන් පානයට නිර්ලෝභීව විය පැහැදම් කළේය.

මේ කාර්යය ඔහු තනිවම කළේ නැත. ඊට තවත් කෙනකු සම්බන්ධ කරගත් පියසේන දෙදෙනාම එකතු වී කළ මත්පැන් සාඡ්ජය දිනකට දෙකකට සීමා වූවක්‌ නොවීය.

කුස්‌සියේ ඔය තියෙන දෙයක්‌ රත්කරල දීපං පොඩි එකීට. අද මගේ අතේ සතේ නෑ බං…”

පියසේනගේ බිරිඳ කෙසේ හෝ අරපිරිමැස්‌මෙන් සිය දරු පවුල නඩත්තු කළාය. ඇතැම් විටෙක සැමියාගෙන් විඳින්නට වන තාඩන පීඩනද ගණනකට නොගත් ඇය දරුවන් රැක ගැනීමට අපමණ වෙහෙසක්‌ ගත්තාය.

එකම වත්තේ වූ අනෙක්‌ නිවස කුලියට දුන් පියසේන ඉන් ලැබෙන ආදායමද වියදම් කළේ මත්පැන් පානය සඳහාය. මේ ගැන දැඩි කළ කිරීමෙන් සිටි බිරිඳ අඩදබර කර ගැනීම නිෂ්ඵල කාර්යයක්‌වූ හෙයින් සැමියාට හිතූදේ කර ගැනීමට ඉඩහැර නිහඬ වූවාය.

කුලියට පැමිණි තරුණ විවාහකයාද පියසේනගේ මත්පැන් සාඡ්ජයට හවුල් වෙමින් එය දිගටම පවත්වාගෙන යැමට තරම් මිත්‍රශීලී විය. දෛනික වශයෙන් කුලී වැඩෙහි යෙදෙන මෙම තරුණයාට නිතර ලැබුණේ වැරැදි උපදෙස්‌ හෙයින් ඔහුද පියසේනගේ සියලු කාර්යයන් අනුමත කළේය.

විටෙක ලද බොහෝ අවස්‌ථාවල මොවුන් දෙදෙනා කළේ තිරිසන් සතකු මරා දඩයම් කිරීමයි. දිනකට කෙරෙන මත්පැන් පානයේ කටගැස්‌මක්‌ මෙතුළින් හදාගන්නා ඔවුහු කිසි දිනෙක මින් වැළකීමට නම් උත්සාහ නොගත්හ.

වසර කිහිපයක්‌ ගෙවී යද්දී ප්‍රදේශයේ තලගොයකු පවා දකින්නට තරම්වත් නොවන පරිදි දඩයම් සරුවෙද්දී නිවසේ කලහකාරී තත්ත්වයද වැඩිවිය. මින් නොසන්සුන් වූ පියසේන සියදිවි හානිකර ගැනීමට අදහස්‌ කළේ කිසිවකුට නොදැනෙන්නටය.

“කුසුමේ අද මම මැරෙනවා. ඊට කලින් මට උඹේ මූණ බලන්න ඕන ගෑනියේ…”

දිනපතා බීමතින් කෑ ගසන සිය සැමියාගේ මෙවැනි වදන් කුසුමා ගණනකට ගත්තේ නැත. එහෙත් පියසේනගේ වෙනදා නැති වෙනසක්‌ එදින තිබෙන බවක්‌ නම් ඇයට පෙනිණ.

“කුසුමේ උඹ එන්නෙ නැද්ද යෝදියේ… එහෙනම් ඔන්න මම වස බොනවා…”

පියසේන කීවේ එපමණකි. මෙතෙක්‌ වේලා ඉනෙහි රඳවා තිබූ වස කුප්පිය මුළුමනින්ම ඔහු කටට හලා ගත්තේ දෙනෙත් අඩවන් කරගෙනය.

උදාවී ඇති තත්ත්වයෙහි බැරෑරුම්කම කුසුමාට තේරුණේ පියසේන කෙඳිරි ගාමින් වමනය කරන විටය. එහෙත් ඇයට කළ යුතු අන් දෙයක්‌ නොවූයෙන් හිස අත තබා කෑ ගැසුවේ අසල්වැසියන්ගෙන් ආධාර ඉල්ලාගෙනය.

“මොකද කුසුමක්‌කේ”

අල්ලපු නිවසෙහි කුලියට සිටි ධර්මේ කුසුමාගේ කෑගැසීමට හේතු විමසුවේය.

“අනේ මල්ලි පියසේන වහ බීලා” ධර්මේ තවත් බලාසිටියේ නැත. වහා ක්‍රියාත්මක වූ ඔහු රෝගියා රෝහලට ගෙනගියේ දන්න තරමින් පොල්කිරි පවා පොවමින්ය. එහෙත් ධර්මේගේ දැත් මත පියසේන අවසන් හුස්‌ම හෙළද්දී කළ පව්වල විපාක ඔහුටද දැනෙන්නට විය.

පියසේනගේ අවසන් කටයුතු නිමවී මාසයක්‌ පමණ ගෙවී ගියත් ඔහු නැති දුක නම් නිවසේ යටපත් වූයේ නැත. ධර්මේ මේ බව පවසමින් මත්පැන් පානයට හේතුවක්‌ සපයා ගත්තේය.

ධර්මේගේ බිරිඳද කළේ සුළු රැකියාවකි. ඉන් ලැබෙන ආදායමද බීමට වියදම් කළ ධර්මේ දඩයම නතර කර නිතර මස්‌ මාංශ පිටතින් ගෙන ආවේය.

තවත් මාස දෙකක්‌ ගෙවී ගියේය. පියසේනගේ අභාවයෙන් හරියටම තුන්වැනි මාසය ගතවත්දී ධර්මේ රසවත් ආහාර වේලක්‌ පිළියෙල කර එය බෙදා හදා ගන්නට සූදානම් වූවේය.

“ලතා මේ කෑම පිඟානක්‌ අපි කුසුමක්‌කටත් යවමු”

බිරිඳ ඊට කිසිවක්‌ නොකියා ඔහුගේ අදහස අනුමත කරමින් මස්‌ මාළු සහිත කෑම භාජනයක්‌ පිළියෙල කළාය.

“මම යන එක හරි නෑ ඔයාම ගිහින් දෙන්න” ධර්මේ යෝජනාවක්‌ කරමින් ඒ වන විටත් ගෙන තිබූ මත්පැන් බෝතලයෙන් තව කොටසක්‌ හිස්‌ කළේය.

හැම දේකටම ඉතිං මම නේ. එහෙනම් ඔන්න ඕක අල්ල ගන්නවකෝ යෑයි කියූ ලතා ධර්මෙට කෑම භාජනය අල්ලාගැනීමට ඉඩදී ඇය එය වසා තැබීමට වෙනත් භාජනයක්‌ ගෙන ඒම සඳහා නිවසේ පිටතින් වූ මුළුතැන් ගෙට ගියාය.

සිය බිරිඳ එන පෙර මඟට ගිය ධර්මේගේ අතෙහි මස්‌ මාළුවලින් පිරී කෑම බඳුනය.

මුළුතැන්ගෙට පිවිසි ලතා තවත් භාජනයක්‌ ගෙන අනෙක්‌ පසට හැරුණා පමණි. සුවිසල් හිස්‌ගෙඩියක්‌ බඳු යම් අමනුෂ්‍ය කොටසක්‌ ඒ වන විටත් විවෘතව තිබූ මස්‌ සහිත කෑම භාජනයට වසා සිටින අයුරු ඇයට දැක ගන්නට ලැබිණි. එහෙත් ධර්මේට නම් ඒ බව නොපෙනුණි.

මේ සිදුවීමත් සමග බියටපත් ඇය මර හඬින් කෑ ගසා බිම වැටෙද්දී ධර්මේ අතවූ කෑම බඳුන විසිවී ගියේය.

ඉන්පසු ඔවුන්ට එම නිවසේ එක්‌ දිනක්‌ හෝ සිටින්නට නොහැකිව කරදරවලට ලක්‌වෙද්දී ඉන් මිදීමට පිරිත් සජ්ජායනයක්‌ හා දානමය පින්කමක්‌ කරන්නට සිදුවූ බව නිවැසියෝම ප්‍රකාශ කළහ.

මේ සිදුවීම ඇතැම් විටෙක කෙනකුට මුසාවක්‌ සේ සිතන්නට බැරි නැත. එහෙත් මේ පිළිබඳව කොස්‌සින්නේ යටවත්ත පුරාණ රජමහා විහාරයෙහි ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ලෙස්‌ලි රූපසිංහ මහතාගෙන් මම විමසුවෙමි. ඔහු ඊට පිළිතුරු සපයමින් මෙසේ කීවේය.

දැඩිව පව්කරන අයට අමනුෂ්‍ය ආත්ම ලබා ඉපදීම බුදුදහමට අනුව අපි පිළිගත යුත්තක්‌. එවැනි අමනුෂ්‍ය අයව මිනිසා ලොව ඇතැම් අයට පෙනෙන්න පුළුවන්. බොහෝවිට මෙවැනි අයත් ප්‍රේත ආත්ම වැනි පවුකම්වල යෙදුණු අය විය හැකියි. ඒත් සිත දියුණු කළ අයටත් ප්‍රේත ආත්ම දැක ගැනීමට හැකියාවක්‌ ලැබෙනවා. එහි මෙහි වෙනස වන්නේ සිත දියුණු කළ අයට ප්‍රේතයන් උවමනාවෙන්ම බැලිය හැකි වුණත් පව්කම් කළ අයට එය ඉබේ පෙනෙනවා යන්නය.

We found this article from Divaina on 2012/11/09.
Also Sinhala to English Google word to word translation can be found here