ඉදිකර ඇති නිවසක්‌ මිලදී ගැනීමේදී මේ ගැනත් සිතන්න

772
නිවසක්‌

පනින්න පෙර සිතා බලනු , යන්න අපගේ ජන වහරේ එන ඉතා වැදගත් කියමනකි. එහි අදහස යමක්‌ කිරීමට පෙර හොඳට විමසා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය බවයි. එසේ කිරීමේන් බොහෝ වාසි හා යහපත සැලසෙන අතර එසේ නොකිරීමෙන් බොහෝ පාඩු හා අයහපත ඇති වේ. වාස්‌තු මූලධර්මවලින් කියා දෙන්නේ මීටම සමාන වූ දෙයකි. තමන් භූමියක්‌ මිලදී ගැනීමට ප්‍රථම ඒ පිළිබඳ නිවැරදිව සොයා බලන්නේ කෙසේ ද මෙන්ම එම නිවසේ නිසි ලෙස සැලසුම් කරන්නේ කෙසේ ද මෙන්ම එම නිවසේ නිසි ලෙස වාසය කරන්නේ කෙසේ ද යන්න කල්තියාම කියාදීම වාස්‌තුවේදී සිදුවේ. ඔබ මේ පිළිබඳ දැනටමත් අවශ්‍ය දැනුම ලබාගෙන සිටිය ද ඔබගේ අවධානය යොමු කිරීමට උත්සහ ගන්නේ ඉදිකර ඇති නිවසක්‌ මිලදී ගැනීමේදී ඔබ විසින් අනිවාර්යයෙන්ම දත යුතු වාස්‌තු සිද්ධාන්ත මොනවා ද යන්න හා ඔබට ඒ තුළින් අත් විඳීමට සිදුවන වාසි හා අවාසි මොනවාද යන්න පැහැදිලි කරදීමයි.

මුලින්ම ඔබ විසින් සිහි තබා ගත යුතුයි ඉදිකර ඇති නිවසක්‌ මිලදී ගත් පමණින් ඔබට එහි ඇති දෝෂයන් බලපාන්නේ නොමැති බව එම නිවසේ ඇති දෝෂය ඔබට සක්‍රිය වන්නේ ඔබ එම ගෘහය පරිහරණය කරන විටයි. ඔබ නව නිවසක්‌ සෑදීමේදි වාස්‌තු සිද්ධාන්ත පිළිබඳව සැලකිළිමත් වනවාටත් වඩා ඉදිකර ඇති නිවසක්‌ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතුවේ.

ඉදිකර ඇති නිවසක්‌ මිලදී ගැනීමේදි අවධානය යොමුකළ යුතු ක්‍ෂේත්‍රයන්

ඔබ විසින් ඉතා මහන්සියෙන් හරි හම්බකරගත් මුදලින් පදිංචියට නිවසක්‌ මිලදී ගැනීමේදී එම නිවසේ තුන්කල් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

  1. මෙම නිවස විකුණන්නේ ඇයි? (නිවාස ඉදිකර විකුණන සමාගමක නිවසක්‌ නම් අදාළ නොවේ)
  2. මෙම නිවස අතීත සිදුවීම් (සියදි හානි කරගැනීම්/ නීති විරෝධි කටයුතු කළ ස්‌ථාන)
  3. දේපලේ නීත්‍යානුකූල භාවය
  4. සමාජ පරිසරය හා වටපිටාව
  5. පොදු පහසුකම් පිළිබඳව
  6. ස්‌වාභාවික විපත් පිළිබඳව (ගංවතුර නාය යැම් ආදිය)
  7. රජයේ අනාගත සංවර්ධන සැලසුම් (අත්පත්කර ගැනීම්/සංවර්ධන ව්‍යාපෘති)
  8. ඉංජිනේරුමය සක්‍යතාවය /නිවසේ ජීව කාලය

ඉහතින් දක්‌වා ඇති මූලික පොදු කරුණුවලට අමතරව වාස්‌තු සිද්ධාන්තවලට කොතෙක්‌ දුරට සමීපද යන්න පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

  1. වර්ග ක්‍ෂේත්‍රය (ගෘහපිණ්‌ඩය) ගෘහ මූලිකයාට ගැලපේද-(

මෙහිදී ගෘහ මූලිකයාගේ ඡන්ම නැකතට ගෘහයේ වර්ග ක්‍ෂේත්‍රය ගැලපූ විට සම්පත්/පරම මෛත්‍රි/මෛත්‍රි නැකැත්වලට සක්‍රීය වී තිබිය යුතුයි. ජන්ම, වධ, විපත්, ප්‍රත්‍යාධාරි බලගැන්වීමකට නොවිය යුතු වේ.

  1. බ්‍රහ්ම පාදය -(

බ්‍රහ්ම පාදය යනු නිවසේ මධ්‍ය ලක්‍ෂයයි. ඔබ මිලදී ගන්නා නිවසේ මධ්‍යයේ පහත ලක්‍ෂණ ඇත්නම් එවැනි නිවස දෝෂ සහගත වේ.

වැසිකිළි
බිත්ති
මැද මිදුල
කණ
පඩිපෙල
මුළුතැන්ගෙය

නිවසේ බ්‍රහ්ම පාදය සෑම විටම නිදහස්‌ව සහ පිරිසිදුව පැවතිය යුතුයි.

  1. ද්වාර සටහන -(

ඔබ විසින් මිලදී ගනු ලබන නිවසේ දිශා තුනකට (දකුණු දිශාවට අනිවාර්යයයි) ද්වාර යෙදී ඇත් දැයි සැලකිලිමත් වන්න. එම ද්වාරයෙන් පොදු ස්‌ථානයෙන් පිටවිය හැකි විය යුතුයි. Court Yard එකද ද්වාරයක්‌ ලෙස සැලකේ. මෙය උර්දු මුඛ ද්වාරය ලෙස හඳුන්වයි. ද්වාර දෙකක්‌ යෙදෙන සෑම නිවසකම ද්වාර සටහන අයහපත් බව සලකන්න.

  1. වහලය -(

ඔබ විසින් මිලදී ගනු ලබන වහලයේ හැඩ තල පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. පහත සඳහන් හැඩතල සහිත වහල ඇති නිවාස මිලදී ගැනීමේදී සැලකිළිමත් වන්න.

  • තනි පලයේ වහල
  • කැණිමඩල සහිත වහල
  • පලයක්‌ යට පලයක්‌ සහිත වහල
  • පලයකින් පලයකට වතුර බැස යන වහල
  • පල දෙකක වතුර නිවස මැදට එකතුවන වහල
  • සොහොන් පරාල සහිත වහල

පල 02, පල 04, පල 05 වහල ඇති නිවාස ඉතා යහපත් බව සිතන්න.

  1. දිශානුගතකරණය -(

මිලදී ගනු ලබන නිවසේ මුළුතැන්ගෙය පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතුයි. කිසිම විටෙක ඊශාන දිශාවේ හා නිරිත දිශාවේ මුළුතැන්ගෙයක්‌ සහිත නිවාස මිලදී ගන්න එපා, එසේම පෝරණුව යෙදී තිබිය යුත්තේ උතුර හෝ නැගෙනහිර දිශාව බලා කටයුතු කළ හැකි පරිදි විය යුතුය. එසේම නිවස ඇතුළතට හැරී කටයුතු කළ හැකි චිමිනි සහිත නිවාස දෝෂ සහගතයි. එසේම මිලදී ගන්නා ගෘහයේ මුළුතැන්ගෙය උඩ හෝ යට ඇති කාමර ගෘහ වාසීන්ට නුසුදුසු නිසා එවැනි කාමර ඇත්නම් ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව ඒ ගැන සිතා බැලිය යුතුයි.

  1. පඩිපෙළ / පිවිසුම් මාර්ගය / ගේට්‌ටුව -(

ඔබ විසින් මිලදී ගනු ලබන නිවසේ පඩිපෙළ , පිවිසුම් මාර්ගය හෝ ගේට්‌ටුව ඊශාන දිශාවේ තිෙබිනම් වඩාත් සැලකිලිමත් වන්න. ප්‍රායෝගිකව පිවිසුම් මාර්ගය හා ගේට්‌ටුව වෙනස්‌කර ගත හැකිනම් ඒ පිළිබඳව දෝෂ ඉවත්කර ගත හැකි වූවද, බොහෝ විට එවැනි ස්‌ථාන ප්‍රායෝගිකව වෙනස්‌ කිරීමේදී අපහසුතා පවතී. එවිට ඔබට දෙපාරක්‌ සිතන්න වෙනවා.

  1. නිරිත දිශාව -(

නිවසේ නිරිත දිශාව ඉතා වැදගත් දිශාවක්‌ වේ. ගෘහයක නිරිත දිශාවේ කාමර පිහිටා තිබිය යුතු අතර නිරිත දිශාව හිස්‌ නොවිය යුතුයි. මිලදී ගැනීමට ප්‍රථම නිරිත දිශාව හිස්‌ද යන්න පිළිබඳව විමසිලිමත් වන්න.

  1. ඊශාන දිශාව -(

විශ්ව ශක්‌තිය නිවසට එන ඊශාන දිශාව නිදහස්‌ව හා පිරිසිදුව පවතින බවට සෑහීමකට පත්විය යුතුයි. ඊශාන දිශාව දුර්වල නම් මිලදී ගැනීම අදහස අත් හැරියාට පාඩුවක්‌ සිදු නොවේ.

මේ ආකාරයට ඔබ විසින් නව නිවසක්‌ මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු වාස්‌තු සිද්ධාන්ත ගණනාවක්‌ අතුරින් අවශ්‍යයෙන්ම එකග වියයුතු වාස්‌තු සිද්ධාන්ත කිහිපයක්‌ පිළිබඳව අවධානය යොමුකළා. ඔබ විසින් මිලදී ගැනීමට සිතන නිවසේ වාස්‌aතු සිද්ධාන්ත පිළිබඳව අවධානය යොමු කිරීමේන් ඔබට එහි වාසි ගණනාවක්‌ හිමි වේ. එහිදී ඔබට මිලදී ගැනීමට යන නිවස ඔබට යහපත්ද අයහපත්ද යන්න දැනගත හැකි අතර ඔබට දැරීමට සිදුවන වියදම් පිළිබඳව සොයාගත හැකි වේ. විශේෂයෙන් ඔබ නිවස මිලදී ගැනීමේදී අවධානය යොමුකළ යුතුයි එම නිවස වාස්‌තු සිද්ධාන්තවලට එකග කර ගැනීමේ හැකියාවක්‌ පවතිනවා ද නැති ද යන්න පිළිබඳව 100% ක්‌ වාස්‌තු සිද්ධාන්ත එකඟ කිරීමේ අවශ්‍යතාවයක්‌ නොමැති අතර 65% කට වඩා වාස්‌තු එකග වීම ප්‍රමාණවත් වේ. මෙහිදී මූලිකව වාස්‌තු සිද්ධාන්ත එකග විය යුතුයි.

පනින්නට පෙර සිතා බලනවා සේම නිවසක්‌ මිලදී ගැනීමට පෙරත් ඔබ එම නිවසේ ලස්‌සන ගැන පමණක්‌ නොව ගුණාත්මක තත්වය ගැනද විමසා බැලීම වටී. රුව ගූණ සපිරි නිවසක්‌ හිමි කර ගැනීමට ඔබට හැකිවන්නේ එවිටයි. භෞතික ගුණාත්මක භාවය හා පාර භෞතික ගුණාත්මක භාවය යනු එකක්‌ නොවේ. වාස්‌තුවේදී අප විසින් විශේෂයෙන් අවධානය යොමු කරනු ලබන්නේ මෙම පාර භෞතික තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කිරීමටයි. එයට හේතු අපගේ ඉන්ද්‍රයන්ට ගෝචර වන භෞතික තත්ත්වයන් අපට ලෙහෙසියෙන් හඳුනාගත හැකි වුවද පාර භෞතික තත්ත්වයන් එසේ හඳුනාගත නොහැකියි. ඒවා හඳුනාගන්නා විට ඒවායේ සියලු ප්‍රතිඵලවලට අප ලක්‌වී අවසානයි. එම නිසා පනින්නට පෙර සිතා බැලීම වටී.

We found this article from Divaina on 2014/03/16.