අද අපි කතා කරන්නේ ඒ සියලු ග්‍රහ මණ්‌ඩලයන් මැදි කර පිහිටා ඇති කුජ තලාව පිළිබඳවයි. මේ සමඟ පළවන රූප සටහනින් ඔබට එය පැහැදිලි වෙනවා ඇති. රූප සටහනේ ලොකු ත්‍රිකෝණයකින් මායිම්කර ඇත්තේ ඔබේ පහසුවටයි. බැලූ බැල්මටම අනෙකුත් මණ්‌ඩලවලට සම්බන්ධ වී ඇති බැව් පෙනුනත් එම මණ්‌ඩලවලට බලපෑමක් නොමැතිව ස්‌වාධීනව ක්‍රියාකාරි වන කලාවක් හැටියටයි හස්‌ත රේඛා විද්‍යාවේ දී කුජ තලාව හඳුන්වනුයේ.
කුජ තලාව මනාව උස්‌ව පිහිටා තිබීම වඩාත් වාසනාවන්ත පිහිටීමක් ලෙස සඳහන් වෙයි. කුජ තලාව වඩාත්ම පහත්ව තිබීම මගින් පෙන්නුම් කරන්නේ එම අයට දියුණුවීමට නම් සෑහෙන වෙහෙසක්, උනන්දුවක් දැරිය යුතු බවය. උදාහරණයක් ලෙස සඳහන් කළහොත් ගැඹුර ළිඳකින් දිය ගැනීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නමුත් නොගැඹුරු ළිඳකින් දිය ගැනීම වඩාත් පහසු වේ. මේ අයුරින් කුජ තලාව උස්‌ව පිහිටා ඇත්තේ නම් අපේ දියුණුව මෙන්ම දියුණු වීමටද වැඩි වෙහෙසක් ගත යුතු නොවන බව පෙන්නුම් කරයි. ඕනෑම අපහසු වැඩකට නිර්භීතව ඉදිරිපත්වීමේ ආත්ම ශක්‌තියක් ඔවුන් තුළ ඇත. එය ඔවුන් තුළ කැපී පෙනෙන විශේෂ ලක්‍ෂණයක් වෙයි. සෘජු ප්‍රතිපත්තියක් ඇති ඔවුන් හැමවිටම විනෝදකාමී ජීවිතයක් ගත කරයි. හොඳ ශරීර ශක්‌තියක්‌ද ඔවුන් තුළ පිහිටා ඇත. උපතින්ම ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන ආදී ලෞකික සැප සම්පත් ලැබීමටත් එවැනි පිහිටීම හේතු වේ.

කුජ තලාවේ අසුබ ලක්‍ෂණ
කුජ තලාව තරමක් පහත්වීම වුවත් අසුබ නොවේ. තැන්පත්, විනීත ගතිගුණ ඇති කාරුණික පුද්ගලයෙක් එමගින් හඳුන්වාදෙයි. පැරණි සිරිත විරිත්වලට ගරු කරන නිතර සමාජසේවා කටයුතුවල යෙදෙන අයගේ කුජ තලාව තුළ එවැනි පිහිටීම් දැකිය හැක. හස්‌ත රේඛා විද්‍යාව, ජ්‍යෙතිෂය වැනි ගුප්ත විද්‍යාවන් ඉගෙන ගැනීමට ඔවුන් දක්‍ෂයෝ වෙති. කුජ තලාව ගොඩාක්‌ම වළගැසී තිබීම අසුබ ලක්‍ෂණයක් වෙයි. අසුබ ඵල ලැබීමට එය හේතුවක් වේ. අත්ලේ ඇති අනිත් මණ්‌ඩලවලින් පෙන්නුම් කරන සුබ ඵල සියල්ල නැතිකරන්නට එය හේතුවන බැවිනි. බොහෝ අවස්‌ථාවල බලාපොරොත්තු නැති නොයෙකුත් ප්‍රශ්න නිසා අවාසනාවන්ත ජීවිතයකට ඇද දමන්නට එම ලක්‍ෂණ හේතුවෙයි.
කුජ තලාවේ තාරකා ලකුණක් පිහිටියේ නම් එය ඉතාම අසුබයි. යාන වාහනවලින් සිදුවෙන හදිසි අනතුරක් එමගින් පෙන්නුම් කරයි. දිලින්දෙක් හෝ සල්ලාලයෙක් වීමට ඉඩ ඇති නිසා කුජ තලාවේ දැස ද ලකුණක් ඒ වගේම අසුබයි. කුජ තලාව මැද පැහැදිලිව වැටුන කතිර සලකුණ ඉතා සුබ ඵල දෙන පිහිටීමකි. ධනවත් වීමට මෙන්ම බලවත් වීමට එම ලකුණ හේතු වේ. කුජ තලාව මැද කොටු සලකුණ මෙන්ම දූපත් සලකුණද සුබ නොවේ. දැල් සලකුණෙන් රෝගී බවත්, කොටු සලකුණෙන් සිරගත වීමට හේතුවක් වන බවත් පෙන්නුම් කරයි. කුජ තලාව මැද ත්‍රිකෝණය වැටීමෙන් පෙන්නුම් කරන්නේ එම තැනැත්තා තීක්‍ෂණ බුද්ධියක් ඇති අයෙක් බවයි. දාර්ශනික අදහස් ඔවුන් වෙතින් කියෑවෙයි. ඕනෑම දුකක් වේදනාවක් විඳ දරා ගැනීමේ ආත්ම ශක්‌තියක් ඔවුන්ට උරුම වී ඇත. උසස් පුද්ගලයන් අතර ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමාගේ අත්ලේ මෙම ලකුණ පැහැදිලිව ඇති බව එතුමාගේ අත් සලකුණෙන් පෙන්නුම් කරයි. එම පිහිටීම එතුමාගේ චරිතයට කෙතරම් සමානද යන්න එතුමාගේ චරිතය පිළිබඳව හදාරන්නෙකුට වඩාත් පැහැදිළි වනු ඇත.

අල්ලේ පිහිටන මණ්‌ඩල පරීක්‍ෂා කිරීම
අල්ලේ පිහිටන මණ්‌ඩල පරීක්‍ෂා කිරීමත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. සමහර මණ්‌ඩලත් ඒ හා සම්බන්ධව තියෙන වෙනත් මණ්‌ඩලත් සමඟ මිශ්‍ර වෙලා තිබිය හැකියි. එමෙන්ම සමහර මණ්‌ඩල විකෘති වී හෝ සම්පූර්ණයෙන් නොමැතිවී හෝ තිබිය හැකියි. ඔබේ අතේ සිකුරු මණ්‌ඩලය අනික් හැම මණ්‌ඩලයකට වඩා බලවත්ව එනම් උස්‌ව හා පැහැදිලි ලෙස පිහිටියේ නම් සිකුරු ග්‍රහයාගෙන් ලැබෙන ගතිගුණ ඔබට වඩාත්ම බලපාන බව සිතාගත යුතුය. මේ අයුරින් අනිත් මණ්‌ඩල ගැනත් ඒ ආකාරයෙන්ම සිතිය යුතු වෙයි. දර පැලීම, ගස් කැපීම, කම්හල් වැඩ වැනි බර පතළ වැඩ කරන අයගේ අත්වල කරගැට, තැලීම් වැනි ලකුණු බොහෝවිට ඇතිවෙයි.
එවැනි අවස්‌ථාවලදී මණ්‌ඩල ඇති ස්‌ථානවල කර ගැට, තැලීම් වැනි ලක්‍ෂණ නිසා මණ්‌ඩල හඳුනා ගැනීමට අපහසුවන අවස්‌ථා ඇත. එවන් අවස්‌ථාවලදී එම ග්‍රහ මණ්‌ඩලවල ක්‍රියාකාරිත්වය අල්ලේ ඇති ප්‍රධාන රේඛාවලටම පැවරෙනු ඇත. එවිට රේඛා පරීක්‍ෂා කිරීමෙන් පුද්ගලයාගේ සුබ අසුබ තත්ත්වය නිගමනය කළ හැක. ප්‍රධාන රේඛාවන්වල පිහිටීම අනුව ඔබේ ජීවිතයට ලැබෙන සුබ අසුබ පිළිබඳ විස්‌තර පසු ලිපිවලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
We found this article from Divaina on 2013/11/24.