මූලික ජ්‍යෙතිෂ දැනුමක් නැති අය පවා රාහු කාලය අශුභ වශයෙන් සලකා බැහැර කරති. එමෙන්ම සුබ කටයුතුවලට සුබ තත්කාල හෝරාව යොදා ගනිති. මේ සඳහා රාහු කාලය සහ කාලහෝරාව දක්‌වන කුඩා කාඩ්පත් තම සාක්‌කුවේම නැතහොත් මුදල් පසුම්බියේම තබාගෙන සිටින අය ද බහුලය. “කාල හෝරා චක්‍ර” දිනපොත් සහ බිත්ති ලිත්වලද දක්‌වා තිබේ. එහෙත් එහි භාවිතය පිළිබඳව දක්‌වා ඇති නිර්දේශ නිවැරැදි නොවේ. උපන් ලග්න අනුව නිවැරැදිව කාල හෝරාව භාවිත කරන ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
තත්කාල හෝරාව යනු ඉංග්‍රීසි පැයක පමණ කාලයට කියන නමකි. සෑම දිනකම දිනාධිපති ග්‍රහයාගේ නමින්ම පළමුවන හෝරාව ආරම්භ වෙයි. අර්කඃ, ශුක්‍රෝ, බුධඃ චන්ද්‍රඃ, ශනි, මන්ත්‍රී, මහිසුනඃ යන ශ්ලෝක පාඨයට අනුව රවි, සිකුරු, බුධ, සඳු, ශනි, ගුරු, කුජ යන ග්‍රහයන්ට පිළිවෙළින් හෝරා ලබයි. උදේ හිරු උදාවන වේලාවට පළමු හෝරාව උදාවෙයි. මේ අනුව උසේ 6.00 හිරු උදාවන්නේ නම් දවල් 1.00 වන විට හෝරා ගෙවී නැවත පළමු හෝරාවම ලබයි. නැවත මුල් පිළිවෙළටය. උදේ 6.25 හිරු උදාවන දිනෙක පළමු හෝරාව ලබන්නේ 6.25 සිට 7.25 දක්‌වා බව මතක තබාගත යුතුය. හෝරා චක්‍ර සකස් කර ඇත්තේ උදේ 6.00 ට හිරු උදාවේ යෑයි සලකමිනි. හෝරාවෙන් ප්‍රයෝජන ගැනීමට හිරු උදාවන වේලාව දැනගත යුතුය.
තත්කාල හෝරා චන්ද්‍රයත් අවුරුද්දේ හිරු උදාවන වේලාවන් දක්‌වන චක්‍රත් පහත පළවේ. ඔබේ දෛනික කටයුතු සඳහා අද සිට මේවා ප්‍රයෝජනයට ගන්න.

හෝරා අශුභඵල දීම
හෝරා චක්‍රවල දක්‌වා ඇත්තේ රවි හෝරාව රජුන් දැකීමට සඳු හෝරාව සියලු සුබ කටයුතුවලට, කුජ හෝරාව සටනට යැමට, බුධ හෝරාව ඉගෙනීමට, ගුරු හෝරාව විවාහයට, සිකුරු හෝරාව ගමන් යැමට, ශනි හෝරාව මහණ කිරීමට ආදී වශයෙනි. එහෙත් මේ වූ කලී පොදු සමාජ කටයුතුවලදී භාවිතා කළ යුතු ආකාරයයි.
පුරාණයේ පැවතුනේ පොදු සමාජ ක්‍රමයකි. කෘෂිකර්ම කටයුතු කළේ සාමූහිකවය. අදත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ආදිය සිදුකරන්නේ මුළු රටේම එකම වේලාවකට ය. එවැනි අවස්‌ථාවල තත්කාල හෝරාවේ ඉහත නිර්දේශ ගැළපේ. නමුත් උපන් ලග්න අනුව ඉහත නිර්දේශ සැම විටම ගැළපෙන්නේ නැත. බොහෝ අශුභ වේලාවන් යෙදී වැඩකටයුතු වැරදී යැමට එයින් බලපෑමක් ඇති විය හැකිය.
මෙයට හේතු වන්නේ උපන් ලග්න අනුව දුෂ්ටස්‌ථානවලට අධිපති ග්‍රහයන්ගේ හෝරා අශුභඵල දීමයි. දුෂ්ට ස්‌ථාන තුනක් කේන්ද්‍රයක තිබේ. හය, අට, දොළහ යන භාව තුනයි. මේ භාවාධිපතීන් දෙන්නේ අශුභඵල බැවින් එම ග්‍රහයන්ට හිමි තත්කාල හෝරාව ද අශුභ වනවා ඇත. එමෙන්ම කේන්ද්‍රයක නමවැන්නාධිපතියා හෙවත් භාග්‍යස්‌ථානයට අධිපතියා, ලග්නාධිපති හා බලවත් කර්මස්‌ථානාධිපතියා විශේෂ සුබපල දෙනු ඇත.

ජන්ම පත්‍ර අනුව හය වන භාවයෙන් සතුරු හා රෝග පිළිබඳව නැතහොත් උපපීඩන කර්ම ගැන කියනු ලැබේ. එම රාශිය හා ග්‍රහයාගෙන් අපේක්‍ෂා කළ හැක්‌කේ සතුරු හා රෝග පීඩා පමණි. අටවැන්නෙන් මාරක බාධක ගැන කියෑවේ. එනම් උපඝාතක කර්ම ශක්‌තියයි. අටවැන්නාධිපති ග්‍රහයාගේ හෝරාව ඉතා අශුභ වෙයි. ව්‍යාධි පාඩු ගැන කියන දොළහ අහෝසි කර්ම ගැන කියයි. එම ග්‍රහයාගෙන් සිදුවන්නේ ද කල්යාම හා ප්‍රතික්‍ෂේප වීමයි.
උපන් ලග්නය ට ගැළපෙන ජය හෝරා
ඉහත කරුණු අනුව ඔබේ උපන් ලග්නයට ගැළපෙන ජය ලබන හෝරා හා අශුභ හෝරා පහත පරිදි වනු ඇත. මෙම චක්‍ර බලා හෝරාවන් උදාවන වේලාව හඳුනා ගන්න.
මේෂ ලග්නය – මේෂ ලග්න හිමියන්ට කුජ හෝරාව හා බුධ හෝරාව අශුභ වේ. දොළහ අධිපති වුවද ගුරු හෝරාව සුබපල උදාකරයි. ගුරු නමවැන්නාධිපති බැවිනි. ගුරු දුර්වල අවස්‌ථාවල රවි හෝරාවද සුබ කටයුතුවලට යොදාගත හැකිය.
වෘෂභ ලග්නය – අටවැන්නාධිපති ගුරු හෝරාව ශුභ පල නොදේ. එහෙත් ශනි හෝරාව බුධ හෝරාව සුබපල දෙනවා ඇත. හය අධිපති නිසා සිකුරු හෝරාවද වඩා සුබ නොවනු ඇත.
මිථුන ලග්නය – ශනි හෝරාව අශුභයි. අට අධිපති පාපයකු බැවිනි. බුධ හෝරාව සුබ කටයුතු සඳහා යොදා ගන්න. බුධ දුර්වල විටෙක ගුරු, සඳු සිකුරු හෝරා ගත හැකිය. රවි කුජ හෝරා ද අශුභ වේ.
කටක ලග්නය – අටවැන්නාධිපති ශනි හෝරාව ඉතා අශුභ වේ. සියලු සුබපල දෙන 9 අධිපති ගුරුගේ හෝරාව ශුභය. ශුභ ග්‍රහයකු නිසා හය අධිපති වීම නොගැළපේ. ගුරු දුර්වල නම් සඳු, කුජ, සිකුරු හෝරා සුබපල දෙනු ඇත.
සිංහ ලග්නය – අට අධිපති ශනි ගේ හෝරාව අශුභයි. භාග්‍යස්‌ථානයට අධිපති කුජ හෝරාවද රවි හෝරාවද සුබපල දෙනවා ඇත. සඳුගේ හෝරාවද 12 අධිපති නිසා සුබ නොවේ.

කන්‍යා ලග්නය – කුජ හෝරාව අශුභ පලදායක වේ. සියලු සුබ කටයුතු සඳහා නමය අධිපති සිකුරු හෝරාව සුබපල දෙයි. ලග්නාධිපති බුධ ග්‍රහයාගේ හෝරාව දෙවැනිව යොදාගත හැකිය.
තුලා ලග්නය – ලග්නාධිපති වුවද අට අධිපති නිසා සිකුරු හෝරාව සුබ නොවේ. භාග්‍යස්‌ථානයට අධිපති බුධ ග්‍රහයාගේ හෝරාව සුබපල දෙයි. බුධ දුර්වල නම් සඳු හෝරාව සුබපල දෙනු ඇත.
වෘශ්චික ලග්නය – සඳු හෝරාව සියලු සුබපල උදාකරයි. සඳු දුර්වල නම් රවි හා ගුරු හෝරා භාවිතා කරන්න. අටවැන්නාධිපති බුධගේ හෝරාව අශුභපලදායක වේ.
ධනු ලග්නය – අට අධිපති සඳු හෝරාව ඉතා අශුභයි. නමය අධිපති රවිගේ හෝරාව සුබය. නැත හොත් ලග්නාධිපති ගුරුගේ හෝරාව හෝ බුධ හෝරාව යොදා ගන්න.
මකර ලග්නය – රවි හෝරාව අශුභ පලදායක වේ. බුධ හෝරාව සුබයි. නැතහොත් සිකුරු හෝරාව සුබපල දෙනු ඇත. සඳු හෝරාවද සුබ නොවේ.
කුම්භ ලග්නය – 9 අධිපති සිකුරු හෝරාව සුබයි. නැතහොත් ගුරු හා කුජ හෝරා යොදාගත හැකිය. අට අධිපති බුධ හෝරාව අශුභයි.
මීන ලග්නය – සඳු හා කුජ හෝරා සුබපල දෙනවා ඇත. අටවැන්නාධිපති නිසා සිකුරු හෝරාව සුබපල දෙන්නේ නැත. හෝරාචක්‍ර සටහන් වල පොදුවේ කුමක් නිර්දේශ කර ඇතත් ඔබට අශුභ ග්‍රහයකු නම් එම හෝරාව සුබපල දෙන්නේ නැති බවත් සමහර ලග්න අනුව පාප ග්‍රහයන් පවා සුබපල උදාකරන බවත් මේ අනුව පෙනෙනවා ඇත. තමන්ට සුබපල දෙන ග්‍රහයාට හිමි හෝරාව පමණක් නොව ඊට හිමි දිනය, වර්ණය, මැණික, රැකියාව, දශාව ආදී කරුණු ද සුබපල දෙනවා ඇත.
We found this article from Divaina on 2014/02/09.