[ratings]
සෑම වසරකම ඔක්‌තෝබර් 24 වැනිදා පටන් නොවැම්බර් 22 වැනිදා දක්‌වා කාලය හැඳින්වෙන්නේ වෘශ්චික රාශිය පිළිබඳ මාසය හැටියටය.
වෘශ්චික රාශියේ ලක්‌ෂණය ගෝනුස්‌සකුගේ ස්‌වරූපයකි. පාලක ග්‍රහයා කුජ ග්‍රහයාය.
වෘශ්චික රාශියට අයත් මාසයේ උපන් ගැහැනු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වාභාවික ගති පැවතුම් – බාහිර ලෝකයේ අයට ප්‍රහේලිකාවක් වන ආකාරයේ ජීවිතයක් ගෙන යන, තමන්ගේ සැබෑ ස්‌වභාවය අනුන්ට නොතේරෙන නමුත්, තමන් පමණක් ඒ ගැන දන්නා අන්දමේ කෙනෙකි. අන්‍යයන් ඇද බැඳ ගැනීමේ ස්‌වභාවයක් පැවැතිය හැකිය. යහපතට මෙන්ම අයහපතටද එය හේතු වෙන්න බැරිකමක් නැත. ක්‍රියාකාරී විලාශයකින් ජීවිතය ගෙන යැමේ සහජ ශක්‌තියක් තිබිය හැකිය. සෘජු ස්‌වභාවය හා නිර්භීත භාවයද සහිත, උසස් දේවල්ම සිතන කරන කෙනකු වෙන්නට පුළුවන. තමන් දමනය කරගත හැකි ශක්‌තියක් තිබිය හැකි අතර අනුන්ට උපකාර කිරීම සඳහා කැමැත්තක් තිබෙන්න පුළුවන. ප්‍රීතියත් සැපදායක තත්ත්වයත් අගය කරනවා සේම, එය ලබා ගැනීමටද දන්නා කෙනෙකි. ජීවිතය ජයගැනීමට වෙහෙස දරන්නේ, අනිත් අයද දියුණු තත්ත්වයකට පත්කරලීමේ කැමැත්තද ඇතිවය. කිසියම් කෙනකු කළ උපකාරයකින් සන්තෝෂයට පත්වීමේ ස්‌වභාවයක් දක්‌නට නම් නැති සෙයකි. කරුණාවන්ත, අනුකම්පාසහගත කෙනකු විය හැකි වුවද සමහර අවස්‌ථාවල, ක්‌ෂණික කෝපයට පත්විය හැකිය. වෛරය, කෝපය හටගත් විට, තමා පාලනය කරගැනීමට අපහසු තත්ත්වයක් මතුවිය හැකි අතර ඒ අවස්‌ථාවලදී තමන් අතින් සිදුවන දේවල් ගැන ඇතැම්විට පසුතැවිල්ලට පත්වන්නටද බැරිකමක් නැත.
ජීවිතයේ තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය – නිරෝගී, ශක්‌තිසම්පන්න සිරුරකට හිමිකම් කිව හැකි නමුත් සීමාව ඉක්‌මවා සිරුරේ ශක්‌තිය පාවිච්චි කිරීමට යැමෙන්, සමහරවිට, පීඩාවන් ඇති කර ගැනීමට බැරිකමක් නැත. සනීපයට බාධාවක් ඇති කර ගන්නේ, කරන හැම ක්‍රියාවකදීම වාගේ අනවශ්‍ය ආකාරයෙන් වෙහෙස මහන්සි වීමත් කඩිනම් වීමත් නිසාය. හාහාපුරා කියා කිසියම් විටෙක හෘදයාබාධයක් වැලඳුණහොත්, ඒ ගැන දැඩි අවධානය යොමු කොට එය සම්පූර්ණයෙන්ම වැළකී යන තෙක් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය. එලෙස නොකළහොත්, සමහරවිට තදබල හෘදයාබාධයක් ඊළඟට ඇති වන්නට බැරිකමක් නැත.
නිදිමැරීමෙන් වැළකී සිටීමද, හැකිතරම් විවේකයෙන්, නිස්‌කලංකව ගත කිරීමද සෞඛ්‍යයට හිතකරයි.
විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය –
වෘශ්චික රාශියට අදාළ මාසයේ උපන් අය කැමැත්ත දක්‌වන්නේ, මාංශපේශීන් ක්‍රියා කරවන ව්‍යායාම්වල යෙදී සතුටක් ලබන්නටය. මැදිවිය පසුව ගිය විට, තැනින් තැන ඇවිදීම සඳහා තදබල ආශාවක් දැක්‌විය හැකිය. වඩාත් කැමැත්ත දක්‌වන්නේ, කඳුහෙල් සහිත පළාත්වල ඇවිදීමට හා වනාන්තර නැරඹීමට යැමටය.
කරන රැකීරක්‍ෂා යනාදිය
නොපසුබටව ඉදිරියටම යන ස්‌වභාවයක් පවතින නිසා රැකීරක්‌ෂාවලදී යහපතක් සිදුවිය හැකිය. ක්‍රියාවට බසින්නේ, සෙස්‌සන් කල්පනා කරමින් සිටින අතරවාරේදීය. ඉංජිනේරු, පශු වෛද්‍ය, මිනින්ෙ¸රු වැනි වෘත්තියකින් හෝ චිත්‍රපට කර්මාන්තයෙන් හෝ උසස් තත්ත්වයකට පත්විය හැකිය. ස්‌වකීය හැකියාවක් උපයෝගී කොට ගෙන කරන ඕනෑම වෘත්තියකින් වුවද දියුණු වීමට බැරිකමක් නැත. වෘශ්චික රාශියට අදාළ මාසයේ උපන් කාන්තාවන් ඇඟලුම් නිෂ්පාදන කටයුතුවලට හා සූපශාස්‌ත්‍රයටද හපන්ය. මෘදුගති පැවැතුම් අවශ්‍ය කරන රැකීරක්‍ෂා නම්, එම මාසය තුළ උපන් කොයිකාටත් සුදුසුයෑයි කිව නොහැක.
ප්‍රේමය හා විවාහ ජීවිතය
වෘශ්චික රාශිය පිළිබඳ මාසය ඇතුළත උපන් අය ප්‍රේමයෙන් බැඳෙන නමුත්, එයින් සෑහීමකට පත්වන සෙයක් දක්‌නට නැත. කිසි විටෙක ප්‍රේමය නිසා වෙනස් නොවන ස්‌වභාවයක් දක්‌නට ඇති අතර ප්‍රේමයට සම්බන්ධව කටයුතුවලදී බොහෝදුරට පරීක්‌ෂාකාරී වන්නට පුළුවන. තමන්ගේ සහකාරියට හෝ සහකාරයාට හෝ උසස් මට්‌ටමකින් ගරුසරු දක්‌වන ගතිගුණ සියල්ලෙන්ම වාගේ මාහැඟි තත්ත්වයක පසුවන සැමියකු හෝ අඹුවක හෝ විය හැකිය. වෘශ්චික ලග්නයට අදාළ මාසයේ උපන් බිරිඳක් නම්, සැමියාට ප්‍රේමාන්විතව සලකන නමුත්, ඔහු නිතරම වාගේ වාසස්‌ථානයෙන් ඉවත්ව ගොස්, සන්තෝෂයට පත්වන්නට ගියහොත්, ඔහු පාලනය කිරීමට වෑයම් දරන්න පුළුවන.
වෘශ්චික රාශියට අදාළ මාසයේ උපන් කෙනකු විවාහය සඳහා එම මාසයේම උපන් කෙනකු තෝරා ගැනීම වඩාත් සුදුසුය. ප්‍රේමයට සම්බන්ධ කටයුතුවලදී ඊර්ෂ්‍යා ගතිය හැකිතරම් සිතින් පහ කර ගැනීම යෝග්‍යය.
ශුභ දවස – අඟහරුවාදාය
වාසනාව උදා කරන වර්ණය, මැණික් වර්ගය හා ලෝහය – වාසනාව උදා කරන වර්ණය වන්නේ, අඳුරු පැහැයට හුරු රන් පැහැයයි. මැණික් වර්ගය පුෂ්පරාගය. වාසනාව උදාකරන ලෝහ විශේෂයක් ගැන කිව නොහැකිය.
සෑම වසරකම ශුභාශුභ කාලවකවානු
සෑම වසරකම ශුභ කාලයන් වන්නේ, පෙබරවාරි 20 වැනිදාත්, මාර්තු 20 වැනිදාත් අතර කාලයත්, ජුනි 22 වැනිදාත්, ජූලි 22 වැනිදාත් අතර කාලයත්ය. අශුභ කාලය වන්නේ, ජූලි 23 වැනිදාත්, අගෝස්‌තු 22 වැනිදාත් අතර කාලයයි. එම නිසා තමන්ගේ සියලුම ශුභ කටයුතු එකී ශුභ කාලවකවානුව තුළදී ඉටු කිරීමට හා අශුභ කාලවකවානුවේදී හැකි තරම් ප්‍රවේශම් සහගතව කටයුතු කිරීමද මැනවි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here