ඔබේ දරුවාටත් උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබිය හැකිදැයි බලන්න

3141
අධ්‍යාපනයක්‌
අධ්‍යාපනයක්‌

[ratings]

අද ලෝකය හැමටම ගෙමිදුලකි. දුරකතනය, ගුවන් විදුලිය, රූපවාහිනිය, පරිගණකය හා ගුවන්යානය ආදිය නිසා ලොව එකට බැඳී යාවී ඇත.
තාක්‍ෂණික වශයෙන් මෙබඳු දියුණු ලොවක, තවමත් තම නම ලියා ගැනීමට වත් දැනුමක්‌ නොමැත්තෝද වෙති. අධ්‍යාපනය අද ඔට්‌ටුවට රේස්‌ දුවන තුරඟ තරග පිටියකටත් වඩා සංකීර්ණව පවතී.

සියලු මා පියෝ තම දරුවාට උසස්‌ම අධ්‍යාපනයක්‌ ලබාදීමට දිවා රෑ වෙහෙසෙති. අධ්‍යාපන තරගය ආරම්භ වන්නේ පෙර පාසලිනි. තම දරුවා වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, උසස්‌ නීති වේදියෙකු, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු, නැතහොත් උසස්‌ම ගුරුවරයෙකු කර ගැනීමට මා පියෝ සිහින දකිති. එහෙත් මේ සියලු බලාපොරොත්තු සුන්වී, බොඳවී යන අවස්‌ථාද එමටය.

උපන් දරුවාගේ අනාගතය කියන කැඩපත, නිවැරදිව සාදන ලද ජන්ම පත්‍රයයි, ඒ නිසා දක්‍ෂ ජ්‍යෙdතිර්වේදියෙකු ලවා, දරුවාගේ ජන්ම පත පරීක්‍ෂා කරවා, ඔහු යොමු කළ යුත්තේ කුමන මගකටදැයි නිවැරදිව දැන, එමඟෙහි ගමන් කරවීමෙන් යහපත් ඵල ලබාගත හැකිවනු නොඅනුමානය. දරුවාට උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබිය හැක්‌කේ කුමන අංශයකින්ද යන්න ජන්ම පතෙහි සඳහන්ව ඇත.

ඉහත කරුණු මත පිහිටා ජන්ම පතක යෙදෙන උසස්‌ අධ්‍යාපනය ලබාදෙන ග්‍රහ පිහිටීම් කවරේදැයි විමසීමට මෙම ලිපියෙන් උත්සාහ කරමි.

ජන්ම පතක, එක, හතර, හත, දහය යන සතර කේන්ද්‍රයත්, පහ, නවය, දෙක, එකොලහ හා තුන්වැන්නත් බලවත් වීම උසස්‌ අධ්‍යාපනයට හේතු වේ, බුද, ගුරු, සිකුරු පුරසඳු, කේතු යන ග්‍රහයින් හා රවි බලවත්ව පිහිටීම උසස්‌ අධ්‍යාපනයට බලපායි. පහත සඳහන් යෝග යෙදුණු ජන්ම පත්‍ර හිමියෝ බොහෝවිට උසස්‌ අධ්‍යාපන වරම් ලබති.

(1) පහ අධිපතියාත් ගුරුත් කේන්ද්‍රගතව සිටීම.

(2) ලග්නය මීනය වී හතර පහ අධිපතියන් පරිවර්තනය වී සිටීම.

(3) රවි, ගුරු කේන්ද්‍රගතව ලග්නයේ සිටියදී සඳු පහේ බලවත්ව සිටීම.

(4) මේෂ ලග්නයෙන් උපත ලබා රවි, කුජ, මේෂ, මකර රාශිවල උච්චව සිටියදී ගුරු නමයේ නම් උසස්‌ම අධ්‍යාපනයක්‌ ලබයි.

(5) පහ අධිපති උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව හෝ කේන්ද්‍රගතව සිටියදී පහේ ග්‍රහයෙක්‌ වී නම් හේ උසස්‌ අධ්‍යාපනය ලබයි.

(6) ලග්නයේ ගුරු බලවත් වූ විට රාජකරුණා ලබන උගතෙකු වේ.

(7) පහ, නවය අධිපතියන් දහයේ යෝගව සිටීම හා ගුරු බලවත්ව කේන්ද්‍රගතවීම උසස්‌ අධ්‍යාපනයට හේතු වේ.

(8) මිථුන ලග්නයෙන් උපත ලබා ශනි පහේ උච්චව සිටියදී ගුරු හතේත් රවි, බුද, සිකුරු තුනේත් බලවත්ව සිටීනම් හේ උසස්‌ අධ්‍යාපනය ලබයි.

(9) ලග්නය කටකය වී එහි ගුරු උච්චව සිටියදී සිකුරු දහයේ නම් ඔහු රජයේ රැකියා ලබන උගතකු වේ.

(10) නවය, දහය අධිපතියන් යෝගව නවයේ සිටීම (ධර්ම කර්මාධිපති යෝගව) හෝ කේන්ද්‍ර ගතව සිටීම උසස්‌ ඉගෙනුම දෙයි.

(11) පහේ ගුරු බලවත් වූ කල මිත්‍රයන් හා මෙහෙකරුවන් ලබන ගුරුවරයෙකු වේ.

(12) මිථුන, කන්‍යා යන ලග්නයකින් උපත ලබා බුද, ගුරු ලග්නයේ නම් උසස්‌ ඉගෙනුම දෙයි.

(13) ගුරු මකරයේත්, ගුරු, බුද, සිකුරු පහේත් සිටියදී ශනිද බලවත් නම් හෝ උසස්‌ ගුරුවරයෙකු වේ.

(14) මිථුන ලග්නයෙන් උපත ලබා රවි එකොලහේ උච්චව සිටියදී, බුද, ගුරු දහයේ නම් උසස්‌ ගුරුවරයෙකු වේ.

ඉහත සඳහන් කරුණේ උසස්‌ අධ්‍යාපනය ලබාදෙන ග්‍රහ පිහිටීම් සමහරකි. උසස්‌ අධ්‍යාපනය ලබන ලද හා ලබන කීප දෙනකුගේ කේන්ද්‍ර විමසා බලමු.

උදාහරණ 1(-

1984 අගෝස්‌තු 21 රාත්‍රී 2.42 ට බද්දේගමදී උපත ලද අයකුගේ ග්‍රහ කේන්ද්‍රයයි.

මෙම කේන්ද්‍රයේ ගුරු ස්‌වක්‍ෂෙත්‍රව හතේ සිටී. ශනි පස්‌වැන්නේ තුලාවේ උච්චය. ලග්නාධිපති බුද ස්‌වක්‍ෂෙත්‍ර රවි සමග යෝගව සිකුරු සමග තුනේ සිටී. මොහු පස්‌වැන්නේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයෙන් උසස්‌ ලෙස සමත්ව, උසස්‌ පෙළ විද්‍යා විෂයයන් ගෙන්ද සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. දැනට ඉන් පිටව වෛද්‍යවරයකු ලෙස සේවය කරයි.

ගුරු ස්‌වක්‍ෂෙත්‍රව කේන්ද්‍රගතවීම හා ශනි විද්‍යාස්‌ථානයේ උච්චවීමත්, රවි, බුද, සිකුරු යෝගව තුනේ බලවත්ව සිටීමත් උසස්‌ අධ්‍යාපන පිහිටීමක්‌ බව මෙයින් සනාථ වේ.

උදාහරණ 2(-

1942 ජුනි 25 උදේ 7.08 ට ගාල්ලේදී උපත ලද මහත්මියකගේ දළ කේන්ද්‍රයයි.

මෙම කේන්ද්‍රයේ ලග්නයේ රවි, ගුරු යෝගයි. පහේ විද්‍යාස්‌ථානයේ සඳුය. පුන්‍යාස්‌ථානයේ කේතුය. දොලහ පහ අධිපති සිකුරු බලවත්ව ශනි හා බුද සමග යෝගය.

මැය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා පුහුණු උපාධිධාරිනියක ලෙස ගුරුසේවයේ යෙදී දැනට විශ්‍රාමිකව සිටින්නීය.

රවි-ගුරු කේන්ද්‍රගතව සිටියදීත් විද්‍යාස්‌ථානයේ සඳු සිටීම උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදෙන බව මෙම කේන්ද්‍රය සනාථ කරයි.

උදාහරණ 3(-

1975 මැයි 05 දින සවස 4.41 ට කොළඹදී උපත ලද මහත්මියකගේ දළ කේන්ද්‍රයයි.

මෙම කේන්ද්‍රයේ ගුරු හතේ ස්‌වක්‍ෂේත්‍රව පහ + නවය අධිපතියන් යෝගව දහයේය. ලග්නාධිපති බුද කේතු සමග පුණ්‍යස්‌ථානයේය. නවය, දහය අධිපතියන් පරිවර්තනය වී සිටී.

මැය දැනට උපාධි ගුරුවරියක ලෙස සේවය කරන්නීය. ඉගෙනීම තවත් දියුණු කිරීමට වෙහෙසෙන්නීය.

පහ, නවය අධිපතියන් දහයේ යෝග වීමත්, ගුරු හතේ ස්‌වක්‍ෂේත්‍ර වීමත් ලග්නාධිපති බුද මීන රාශියේ නමයේ කේතු සමග යෝග වීමත් උසස්‌ අධ්‍යාපනයට හේතුවන බව මෙම කේන්ද්‍රය සනාථ කරයි.

තවත් නිදසුන් කොතෙකුත් ඉදිරිපත් කළහැකි නමුත් ලිපිය දීර්ඝ වන නිසා උදාහරණ සැහේයයි සිතමි.

ඉහත සඳහන් සියලු කේන්ද්‍ර විමර්ශනයන්ගෙන් මා මුලින් සඳහන් කළ ග්‍රහ යෝග ඉගෙනීමෙන් දියුණු වීමට ආධාර වන බව සනාථ කර ඇත.

එබැවින් ඔබේ දරුවා අධ්‍යාපනයට යොමු කිරීමේදී ඉහත සඳහන් ග්‍රහයෝග කේන්ද්‍රයේ යෙදී ඇත්දැයි පරීක්‍ෂා කරවා ගැනීම යහපතට හේතුවන බව සඳහන් කරමි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here