ඔබ සාදන නිවසේ වැඩ ප්‍රමාදද ?

1683
නිවසේ

කොච්චර හැදුවත් ඉවර වෙන්නේ නැති ගෙවල් ගැන ඔබ අහලා තියෙනවා ද? “ජීවිත කාලයම හරි හම්බ කරපු මුදල් යට කලේ මේ ගෙදරට ඒත් තවම ඉවරයක්‌ නැහැ හරියට බහිරවයා ගිලනවා වාගේ” “මට නම් දැන් මේ ගේ හදලා හදලා එපා වෙලා තියෙන්නේ විකුණලා දාන්නයි හිතාගෙන ඉන්නේ” මේ වගේ කියන අය සමාජයේ කොතෙකුත් සිටිනවා. ඔවුන්ගේ නිවස ඔවුන්ට බරක්‌ වී ඇති බව පෙනී යනවා. මෙහෙම වෙන්නේ ඇයිද කියා ඔබත් සීතිම වටිනවා. මෙවැනි නිවාස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී හඳුනාගත හැකි පොදු ලක්‍ෂණ ගණනාවක්‌ පවතිනවා. වාස්‌තු ශිල්පීය මූලධර්ම වල හටගන්නා නොගැලපීම් නිසා තමන්ගේ නිවසේ කටයුතු තමන්ට බරක්‌ වී තිබෙන බව පෙනී යන අතර තමන්ගේ ගෘහය තමන්ගේ තරමට නොගැලපෙන ආකාරයට සැලසුම් කිරීම ආදී කරුණු ද වැදගත් වෙනවා.

මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කිරීමට උත්සහ ගන්නේ වැඩ අවසන් කිරීමට නොහැකිව ගෘහ හිමියාට බරක්‌ වන නිවාස වල බලවත් වන වාස්‌තු දෝෂ පිළිබඳව දැනුවත් කිරීමටයි. නිවසක්‌ සාදනු ලබන්නේ සතුටින් වාසය කිරීමේ අරමුණින් වූවත් සමහර නිවාස ජීවිත කාලය පුරාවටම සාදන නිවාස බවට පත් වී තිබෙනවා. නිවසක්‌ ඉදිකිරීම ප්‍රමාද වන්න ප්‍රමාද වන්න එය ගෘහ හිමියාට විශාල පීඩනයක්‌ බවට පත්වන අතර ගෘහයකින් බලාපොරොත්තු වන අරමුණු ඉටු නොවන බව කිව යුතුයි. නිවස සෑදීම ප්‍රමාද වීමේ අයහපත් ප්‍රතිඵල ගණනාවක්‌ ගෘහ හිමියා කෙරෙහි සෘජුව බලපානු ලබනවා. කායික මානසික පීඩනය, ආර්ථික තත්වය දුර්වල වීම, ලෙඩ දුක්‌ බහුල වීම, පවුලේ අසමගිය වර්ධනය වීම, අනතුරු අවදානම වැඩිවීම, සමාජ පිලිගැනීම අඩු වීම ආදී වශයෙන් අයහපත් ප්‍රතිඵල රැසක්‌ ගෘහ හිමියා කෙරෙහි එල්ල වනු ඇත. නිවසක්‌ සෑදීම ප්‍රමාද වන බව ඔබට දැනෙන්නේ එම කාලය අවසන් වූ පසුවයි.

එවිට ඔබගේ කාලය ගත වී ඇති අතර ඔබට ඒ සඳහා යෙදිය හැකි පිළියම් යෙදීමට තිබූ අවස්‌ථාවන් පවා මග හැරී යනු ඇත. මේ නිසා ඔබගේ නිවස සෑදීම ප්‍රමාද වන බව ඔබ කල්තියා හඳුනා ගතහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට ඔබට කාලය ඉතිරිවනු ඇත. එසේ නම්, සාමාන්‍ය ලෙස නිවසක්‌ සෑදීමට ගතවන උපරිම කාලය කොපමණ ද යන්න පිළිබඳව ඔබ දැනුවත් වී සිටිය යුතුයි. ඒ අනුව ඔබගේ නිවස උපරිම වශයෙන් වර්ෂ 03ක දී ඉදිකොට අවසන් වී එහි පදිංචි වීමට නොහැකි වූයේ නම් එම ගෘහයේ දෝෂ තිබෙන බවට ඔබ දැනුවත් වී සිටිය යුතුයි. වර්ෂ 03කට වඩා නිවසක කටයුතු ඇදි ඇදී යන්නේ, නම් ඔබ විසින් වටහා ගත යුතු වෙනවා. නිවසට රෝගයක්‌ වැළඳී තිබෙන බව එවිට ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම නොකළ හොත් දිනෙන් දින රෝගය උත්සන්න වී එහි අතුරු ප්‍රතිඵල ගෘහ හිමියාට දැනෙනු ඇත. මේ නිසා ඉදිකිරීම් ප්‍රමාද වන නිවසක පවතින දෝෂ මොනවාද යන්න පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ.

නිවසේ කටයුතු ප්‍රමාද වීමට හේතු

වාස්‌තු ශිල්පය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී විශේෂ අවස්‌ථා සහ විශේෂ තැන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත හැකි වෙනවා. මෙහිදී නිවසක්‌ සෑදීම ප්‍රමාද වීමට බලපාන කරුණු අතර එය ගෘහ හිමියාගේ යහපතට සහ අයහපතට යන දෙකටම සිදු විය හැකි බව පෙන්වා දී තිබෙනවා. මෙය ඉතාමත් කල්පනාවෙන් අවබෝධ කරගත යුතු වාස්‌තු ශිල්පයේ සීයුම් තැක්‌ බව වටහා ගන්න.

මෙහිදී ගෘහ හිමියාගේ යහපතට නිවසේ වැඩ ප්‍රමාද වන ආකාරය ඔබට ප්‍රථමයෙන් පැහැදිලි කර දෙන්නම්. සමහර නිවාස වල දෝෂ බලවත්ව තිබුනාට එම නිවාස ඉක්‌මනින් ඉදිකිරීම් කටයුතු සිදු වී ගෘහ හිමියා නිවසට පදිංචි වීම ඉක්‌මන් කරනු ලබනවා. එසේ වුවත් එම නිවසේ දෝෂ බලවත් වන්නේ ගෘහ හිමියා නිවසේ පදිංචි වූ පසුවයි. මෙය සිදුවන්නේ, ගෘහ හිමයාගේ කුසල් බලවත් වීමට වඩා අකුසල් බලවත් වූ විටයි. එසේම සමහර නිවාස තිබෙනවා ඉදිකිරීම් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසාම ගෘහ හිමියාට නිවසේ පදිංචි වීමට අවස්‌ථාව උදාවෙන්නේ නැහැ. මෙහිදී ගෘහයේ දෝෂ බලවත් වීම හා ගෘහ හිමියාට කුසල් බලවත් වීම නිසා දෝෂ සහිත නිවසට ඇතුල් වීමට කටයුතු සිදුවන්නේ නැහැ. මෙම අවස්‌ථාව වාස්‌තුවේ දී හඳුන්වනු ලබන්නේ ගෘහ හිමියාගේ කුසල් බලවත් වී යහපතට නිවසේ වැඩකටයුතු ප්‍රමාද වීම ලෙසයි. මෙහිදී ගෘහ හිමියා තමන්ගේ ගෘහයේ දෝෂ හඳුනාගෙන එම දෝෂ ඉවත්කොට ගෘහය ඉදිකිරීම් ආරම්භ කල විට නිවසේ වැඩ කටයුතු කඩිනමින් සිදු වී පදිංචියට යාමට හැකියාව ලැබේ.

මේ ආකාරයටම ගෘහ හිමියාගේ අයහපතට වැඩකටයුතු පමා වීම සිදුවන ආකාරයත් අවබෝධ කරගත යුතු වෙනවා. දෝෂ බලවත් වීම මෙන්ම ගෘහ හිමියාගේ සහ නිවැසියන්ගේ අකුසල් බලවත් වීම නිසාම නිවසේ වැඩකටයුතු අඩාල වීම හෝ කල් ගත වීම සිදු වේ. මෙවැනි විටක දී වැඩි නැඹුරුවක්‌ පවතිනවා. පවතින තත්වය තුලම නිවසේ පදිංචිවීමට සිත් පහල වීමට එහිදී සිදුවන්නේ ගෘහ හිමියාට දෝෂ බලවත් වී එහි අයහපත් ප්‍රතිඵල භුක්‌ති විදීමට සැලැසීමයි.

කුමන කරුණක්‌ අරබයා ඔබගේ නිවසේ වැඩකටයුතු ප්‍රමාද වුවද එසේ ප්‍රමාද වන්නේ වාස්‌තු සිද්ධාන්ත නිසියාකාරයෙන් ගැලපී නොමැති විටක දී බව මතක තබා ගත යුතුයි. ඔබට මෙහිදී කිවයුතු විශේෂ දෙයක්‌ තිබෙනවා. ඔබගේ නිවස සෑදීම වර්ෂ 03කට වඩා කල්පසු වී ඇත්නම් ගෘහයේ වාස්‌තු දෝෂ පිළිබඳව සොයා බලා මිසක එම ගෘහයේ පදිංවි වීම නොකළ යුතු බවයි. මක්‌නිසාදයත් එම ගෘහයේ දෝෂ වඩාත් බලවත් වන්නේ එම ගෘහයේ පදංචි වූ පසුවයි.

ඉදකිරීම් ප්‍රමාද වන නිවසක තිබිය හැකි ප්‍රධාන වාස්‌තු දෝෂ

  • මුල්ගල පෑගීමට ලක්‌වීම
  • ගෘහ පිණ්‌ඩය – වධ, විපත්, ජන්ම සහ ප්‍රත්‍යාධාරිවීම
  • බ්‍රහ්ම පාදය බිත්තියකට යට වීම හෝ දුර්වල වීම
  • විශ්ව ශක්‌ති රේඛාව වන ඊශාන හා නිරිත මධ්‍ය රේඛාවන්ට ප්‍රධාන ද්වාරය යෙදීම හා අනෙකුත් අනු දිශාවන්ගේ මධ්‍ය රේඛාවන්ට හසුවන ලෙස ද්වාර සටහන යෙදී තිබීම
  • ගම්භාර දෙවියන් සහ භූමි ඥාතීන්ගේ අවසර ලබා නොගෙන ඉඩමට ඇතුල්වීම සහ ගෘහය ඉදිකිරීම
  • ගෘහයේ වහලයේ හටගන්නා බලවත් දෝෂ
  • ගෘහයේ පාද සටහන නිවැරදි නොවීම
  • නිරිත හෝ ඊශාන දිශාවන් දුර්වල වීම
නිවසේ

ඉහත දක්‌වා ඇති ප්‍රධාන වාස්‌තු මූලධර්ම වලට පටහැනි ලෙස නිවසේ කටයුතු ඉටු වී තිබෙන විට ගෘහයක්‌ සෑදීම ප්‍රමාද වන බව මතක තබා ගන්න. ඔබ වෙත මුලින් පෙන්වා දුන් පරිදි මෙම කටයුතු මෙසේ තිබිය දී වුවද ගෘහය කඩිනමින් ඉදිවන අවස්‌ථා දක්‌නට පුළුවන් එය එසේ සිදුවන්නේ ගෘහ හිමියාගේ සහ නිවැසියන්ගේ අකුසල් බලවත් වීම නිසාමයි. මේ නිසා ඔබ කළයුත්තේ ඔබගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත නිවැරදි බැවින් සැක හැර දැන ගැනීමයි. වාස්‌තු දෝෂ දිනයකින් දෙකකින් හෝ මාසකින් දෙකකින් මතු නොවන්නට පුළුවනි. සමහර දෝෂ මතුවන්නේ ගෘහ හිමියාගේ අකුසල් බලවත් වන කාලවලදී වීම සුවිශේෂි වේ. අකුසල් බලවත්වන කාල පිළිබඳව අපට නිශ්චිතව හඳුනා ගත නොහැක. එය කර්ම විෂයට අයත් දෙයක්‌ වන අතර බුදු කෙනෙකුට පමණක්‌ විග්‍රහ කළ හැකි විෂයක්‌ බැවින් කෙනෙකුගේ කුසල් අකුසල් බලවත් වීම ගැන අදහස්‌ දැක්‌වීමට සාමාන්‍ය මිනිසුන් වන අපට කළ හැකි දෙයක්‌ නොවේ. එම නිසා අපගේ ආරක්‍ෂාවට ලැබී ඇති මෙම සෘෂි දහම වන වාස්‌තු ශිල්පයේ උතුම් පිහිට පිළිසරණ ලබාගෙන ඔබගේ ජීවිතයට ආරක්‍ෂාවක්‌, සැනසීමක්‌ සලසා ගැනීමට උනන්දු වන්න.

We found this article from Divaina on 2014/04/27.