කාල හෝරාවක්‌ අනුව වැඩක්‌ පටන් ගන්න

138
හෝරාවක්‌
හෝරාවක්‌

කාල හෝරාවක්‌ යටතේ අපට යම් කටයුත්තකින් ලබාගත හැකි ප්‍රයෝජන හා සේවය කෙබඳුදැයි සලකා බැලීම අරමුණ වෙයි. කෙටියෙන් හෝරාව යයි සඳහන් කළ ද මෙය කාල හෝරාව වශයෙන් ජ්‍යෙතිෂයෙහි හඳුන්වා දී තිබේ. කාලය යනු අතීතය වර්තමානය හා අනාගතය සඳහා පොදු යෙදුමයි. අපගේ අවධානය වර්තමානයේ ගණනය කර අනාගත අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගත හැකි වෙයි.

හෝරාවක්‌ යනු

මෙහි දෙවැනි වචනය වන හෝරාව යන වදනෙහි තේරුම් බොහෝ ගණනක්‌ තිබෙන අතර මෙහිදී භාවිතා වන හෝරාව යනු පැයකට සමාන කාලයක්‌ සඳහා වන යෙදුමකි. ඒ අනුව නිමවී ඇති කාල හෝරා ගැන මෙතැන් සිට විමසා බලමු. අප භාවිත කරන දින දර්ශන වල සඳුදා, අඟහරුවාදා ආදී වශයෙන් නම්කර තිබේ. මෙසේ නම් තබා ඇත්තේ ග්‍රහයන් මුල්කර ගෙනයි. එනම් රවි ග්‍රහයාගේ දිනය රවි දිනයයි. මෙය රිවි ග්‍රහයාට හිරු කියා භාවිතාවේ පවතී. හිරු යන වචනය කාලානුරූපව පද පෙරළියකට ලක්‌වී වර්තමානය වනවිට ඉරිදා යනුවෙන් ව්‍යවහාර කෙරේ. එවිට සඳුදා යනු සඳුගේ දිනයයි. එලෙසින් සතියේ අනෙකුත් දිනවලටද නම් භාවිතා කෙරේ. කාලහෝරාවද මේ ආකාරයෙන් එක්‌ ග්‍රහයකුට පැයක්‌ වශයෙන් ගෙන පැය හතක්‌ ගතවූ කල නැවතත් පළමු ග්‍රහයාගේ හෝරාව උදාවේ. සෑම දවසක උදේ හිරුඋදාවේ සිට පළමු පැය හෙවත් හෝරාව එම දවස අධිපතිගේ නමින් වෙන්කෙරේ. උදාහරණයක්‌ වශයෙන් ඉරිදා දිනය උදාවී තිබේ නම් පළමුවන හෝරාව රවි හෝරාවයි. සඳුදා දිනය ලබා තිබේ නම් පළමු හෝරාව හෙවත් පැය සඳු හෝරාව ලෙස සැලකේ.

හෝරාවක්‌

දින හතම මේ ආකාරයට දවස මුල් කරගෙන භාවිතා වෙයි. එහෙත් මෙම හෝරා සත උදාවන පිළිවෙළක්‌ තිබේ. ඒ අනුව 01 රවි හෝරාව 2 ශුක්‍ර හෙවත් සිකුරු හෝරාව 03 බුධ හෝරාව 04 චන්ද්‍ර හෝරාව 05 ශනි හෝරාව 06 ගුරු හෝරාව හෙවත් බ්‍රහස්‌පතී හෝරාව 07 කුජ හෙවත් අඟහරු හෝරාව එකකට පසු එකක්‌ වශයෙන් උදාවේ. සෑම දවසකම පළමු හෝරාව දවස හිමියාගේ නමින්ද ඉන්පසු ඉහත අංක යොදා තිබෙන පිළිවෙළට උදාවන බව මතක තබා ගන්න. දැන් හෝරාව ගැන ඔබට පැහැදිලිවී ඇතැයි සිතමි. මෙම පැයක හෝරාවන් අතුරින් සඳු ශනි හෝරාවන්හි පළමු විනාඩි 30 විෂ සහිත බව පැවසේ. බුධ සිකුරු හෝරා දෙකෙහි මැද විනාඩි 30 විෂ සහිත බවද රවි, කුජගේ සහ ගුරුගේ හෝරාවන්හි අග මිනිත්තු 30 විෂ සහිත බවද කියා තිබේ. ශුභ ග්‍රහයන් වශයෙන් සලකන බුධ, ගුරු සිකුරු හෝරාවෙන් වුවද විෂ සහිත කාලය අත්හල යුතුයි. සාමාන්‍යයෙන් රවි හෝරාව රජුන්, මහතුන්, ප්‍රධානීන් හමුවීමද, සඳු හෝරාව සියලු ශුභ වැඩවලටද (පුර පක්‍ෂයේ සඳු සිටියදී නම් වඩාත් ශුභයි) කුජ හෝරාව සටන් තරග සහ භූමි සම්බන්ධ දෙයටද, බුධ හෝරාව, අධ්‍යාපනය, ශාස්‌ත්‍රීය කටයුතු වලටද, ගුරු හෝරාව තුළ සියලු ශුභ කටයුතු සහ විවාහයටද, සිකුරු හෝරාව ගමන් බිමන් ඇතුලු ශුභ කටයුතු සඳහා ද, ශනි හෝරාව තුළ පැවිදි කිරීම, යෝගී භාවනා ආදී දෙයටද යොදා ගත යුතුයි.

සූක්‍ෂම හෝරාවක්‌

මීළඟට පැයක කාලයක්‌ වූ හෝරාවක්‌ මිනිත්තු 12 ක කොටසක්‌ බැගින් කොටස්‌ පහකට බෙදා පංච කාල හෝරාව වශයෙන් ගනී. පංචම කාල හෝරාවේ පළමු කොටස එම හෝරාව අයිති ග්‍රහයාගේ නමින් ආරම්භවී ඊළඟට ගුරු හෝරාවේ නම් 01 ගුරු පංචමය, 02 ශනි පංචමය 03 රවි පංචමය ආදී වශයෙනි. ඊළඟට මේ පංචම කාල හෝරාවකට අයත් මිනිත්තු දොලහක කොටස 3 ට බෙදා එක කොටසකට මිනිත්තු 4 බැගින් ගෙන සූක්‍ෂම හෝරාව ලෙස හැඳින්වේ.

තවද කිවයුත්තක්‌ වන්නේ කාල හෝරාවක්‌ වන පැයක්‌ අතර මිනිත්තු 12 කොටස්‌ 05 අතරින් රවි හෝරාව තුළ අවසන් මිනිත්තු 12 වන ගුරු පංචම කාල හෝරාවද විෂ සහිත නිසා, ශුභ වැඩවලදී අත්හල යුතුය. ඒ අනුව සඳු හෝරාවේ මුල් විනාඩි 12 හද කුජ පැයේ අවසන් මිනිත්තු 12 ද, බුධ හෝරාවේ 03 වන කොටසට අයත් මිනිත්තු 12 ද, ගුරු හෝරාවේ අවසාන මිනිත්තු 12 ද, සිකුරු හෝරාවේ තුන්වන කොටසට අයත් මිනිත්තු 12ද, ශනි හෝරාවේ පළමු මිනිත්තු 12 ද විෂ හෝරාවන් නිසා අත්හල යුතුවේ. ඒ අනුව ශුභ හෝරාවක, ශුභ පංචම කාල හෝරාවකදී සූක්‍ෂම හෝරාවක මැද මිනිත්තු 4 තුළ කරන දේ අතිසාර්ථක වෙයි. ජ්‍යෙතිෂයට ඇල්මන් ඇති විශ්වාසයක්‌ද සහිත නම් ඔබද ඉහත සඳහන් කරුණු හොඳින් අධ්‍යයනය කර, අනුගමනය කර, එහි සාර්ථකත්වය අත්හදා බලා ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත්දැයි බලන්න. රාහු කාලය මගහරවා මරුට පිටුපා ඔබේ කටයුතු ආරම්භ කරන්න ඔබට ජයම වේවා.

We found this article from Divaina on 2014/01/12.