කිල්ලට බියවිය යුතුද ?

2375
කිල්ලට
කිල්ලට

අපේ පැරණි ගැමි සමාජය “කිල්ල” ගැන විශේෂ අවධානයක්‌ යොමු කළ වග පසක්‌ කරන විට වර්තමානයේත් බොහොමයක්‌ උදවිය කිල්ලට බියෙන් පසුවෙති. කිලි වර්ග බොහොමයකි. කොටහළු කිල්ල, මරණ කිල්ල, වැදූ ගෙයි කිල්ල, මස්‌ – මාංශ කිල්ල, යනාදී වශයෙන් කිලි ක්‍රමයේ ප්‍රභේද කීපයකි.

කිල්ල යනු අපිරිසිදු තැන්වල ඇති විෂබීජයි. කොටහළු කිල්ල යනු දැරිවියක්‌ වැඩිවියට පත්වීමේදී සිට ඇය නා පවිත්‍ර වී සිටින දිනය දක්‌වා පවතින කිල්ලයි. මල්වරවී දින 05 ක්‌ හෝ 07 කට පසු ඊට සුදුසු නැකතකින් සුබ වේලාවක්‌ බලා සඳුන්, මානෙල්, අමුකහ, වදකහ ආදියෙන් මිශ්‍ර නොයිඳුල් පැන් කලයකින් මව හෝ ගුණවත් කාන්තාවන් ලවා ඉසේ සිට දෙපතුල් දක්‌වා නෑවීම පුරාණයේ සිට පැවත එන සිරිතකි. දැරිවිය නාන දිනය දක්‌වා කාටවත් නොපෙනන සේ ගෙයි කාමරයක නතරවී සිටීමට ඉඩ හරී. මේ කාලසීමාව කොටහළු කිල්ලට අයත් වේ.

මරණයක්‌ යම් නිවසක සිදුවූවිට සාමාන්‍යයෙන් මිනිය දින 02 ක්‌ හෝ 03 ක්‌ හෝ නිවසේ තැත්පත්වෙයි. එහෙත් මුස්‌ලිම් ජනයා අතර එය එසේ ක්‍රියාත්මක නොවේ. එදා සමාජයේ ගෙවල් අද මෙන් නොව, ඉතා පුංචිය, කටුමැටි බිත්තිවලින් සැදුන ඒවා වෙයි. මේ තුළ මෘත දේහයක්‌ දින කීපයක්‌ තබා ගැනීමෙන් එය කුණු වී ගඳ ගැසීමට තරම් ඉඩකඩ වැඩි වේ. ඒ එම්බාම් ක්‍රම එදා නොතිබුණ නිසාය. මැරුණු තැනැත්තාගේ ශරීරය තුළින් නික්‌මෙන වාතය අපිරිසිදු වාතය වෙයි. ප්‍රමාණවත් පරිදි ජනෙල් දොරවල් එකල නොතිබුණ නිසා ගෙයි තුළම විෂ බීජ කැකෑරී පවතී. මේ විෂ වායුව සෙසු ජීවත්ව සිටින අයගේ ශරීරයට ඉතාමත් අහිතකරවන්නේය. මේ කිල්ලට මරණ කිල්ල යයි කීමද නිවැරදිය.

වැදූ කිල්ල යන්නෙන් අදහස්‌ කරන්නේ එදා සමාජයේ මව්වරුන්ට දරු උපත් ඇතිවන විට රෝහල් කරායැමට ප්‍රමාණවත් පරිදි රෝහල් නොතිබුණි. එනිසා බොහොමයක්‌ දරුවන් උපදින්නේ නිවස තුළමය. වින්නඹු අම්මා තනතුර දරණනලද්දේද ඒ ගැන විශේෂ දැනුමක්‌ ඇති කාන්තාවකි. දරු උපතකදී පවා ලේ වහනය වීම් සිදුවන හෙයින් වැදූ කිල්ල ඇතිවන නිසා ඊට අදාළ පරිසරය, නිවස, කාමරය අපවිත්‍ර වීමෙන් විෂබීජ ඇති විය හැකිය. වර්තමාන තත්ත්වය නම් එවන් ප්‍රසූත අවස්‌ථාවලදි රෝහල් ගතවෙයි.

මේ අනුව බලනවිට මරණ කිල්ල, වැදූ කිල්ල, කොටහළු කිල්ල ආදී දෙයින් ගම්‍යවන්නේ එය සිදුවන හා තැන්පත්ව ඇති ස්‌ථානය අපිරිසිදු වීමෙන් වහනය වන විෂ වායුවටයි. මෙම විෂ වායුව අදාළ පුද්ගලයාට (මරණකරුට හැර) පමණක්‌ව නොව නිවසේ රැඳී සිටින සෙසු අයටද බලපානු ඇත. ඉන් සිදුවන්නේ අයහපතකි.

යටකී කරුණුවලට අමතරව සරම්ප, පැපොල, වසූරිය, කම්බුල්ගාය වැනි රෝග පීඩාවන්ට ලක්‌වූවන්ගේ නිවෙස්‌ වලටද බොහොමයක්‌ උදවිය යැමට අකමැතිය. එවැනි රෝගීන් සිටින ස්‌ථානවලට කාටත් පෙනෙනසේ කොහොඹ අතු කීපයක්‌ එල්ලා තැබීම සිරිත වේ. ඉන් ගම්‍ය වන්නේ බෝවන රෝගියකු සිටින නිසා පිටස්‌තර අය පැමිණීමෙන් වළකින වගකි.

සුළු ආබාධයක්‌ හෝ ශරීර ගත තුවාලක්‌ ඇති අය යටකි ස්‌ථානවලට යැමෙන් වැළකී සිsටිති. ඔවුන්ට අදාළ ස්‌ථානයේ විෂබීජ ඉක්‌මනින් ශරීර ගතවීමට ඉඩ ඇති නිසාය. හදිසියේම එවන් තැනකට නොගොස්‌ බැරි නිසා යන්තම් මුහුණු පෙන්නා ආපසු ආවිට, දෙහි හෝ අමුකහ මිශ්‍ර ජලයෙන් ඇඟපත සෝදා ගැනීම සාමාන්‍ය සිරිතකි.

යන්ත්‍ර මන්ත්‍ර, බලිතොවිල් ආදිය විශ්වාසකරන ඇතැම් උදවියගේ බෙල්ලේ සුරයක්‌ දමා සිටී නම් එවන් ස්‌ථානයට යන්නේ සුරය ගලවා තබාය. එසේම මෙම කාර්යයන්වල නියෑළී සිටින කපුවන්ද යටකී ස්‌ථානවලට යැමට අදි මදි කරති. ඒ තමන්ද කිල්ලට අසුවීමට ඉඩ ඇති බව විශ්වාස කරමින්ය.

මළගෙයක්‌, කොටහළු ගෙයක්‌ සිදුවූ ගෙයක කිල්ල මාස 03 ක්‌ පමණ පවතින බවට ඇතැම්හු තුළ විශ්වාසයක්‌ පවතී. එහෙත් මරණයක්‌, කොටහළුවක්‌, සිදුවූ නැකත දේහය ඉවත් කිරීමෙන් හා කොටහළු මංගල්‍යයයි අවසාන වීමෙන් පසු ගෙයි ඇතුළත හා පිටත පිරිසිදුව කහ වතුර ඉස විෂබීජ නාශක ක්‍රම මගින්ද අපිරිසිදු වාතය ඉවත් කිරීමට සැලැස්‌වීමෙන් “කිලි” කථාවක්‌ ඇති වන්නේ නැත.

එදා සමාජක්‍රමයට, අනුව හැඩගැසුණු පිරිස්‌ තවමත් අප අතර සිටිති. මේ නවීන තාක්‌ෂණ ලෝකයෙ කිල්ලට බිය විය යුතු නැත. කළ යුතුව ඇත්තේ කලින් සඳහන් කළ පරිදි සිද්ධිය වූ ස්‌ථානය තුළ පිරිසිදු බව රැක සිද්ධියෙන් පසු තවදුරටත් විෂ බීජ ඇති නොවීමට වගබලාගැනීමයි.

We found this article from Divaina on 2012/07/27.
Also Sinhala to English Google word to word translation can be found here