කිල්ල යන්නෙහි අරුත දන්නවාද?

757
අමනුෂ්‍යයන්

දෙවියන්ගෙ ලෙඩ හැදිල කිලි ගෙවල්වල යන්න එපා· කිලි අහුවෙලා කිරිදානෙ දෙන්න එපා·. කිලි අහුවෙලා යන්තරේ බල නැතිකර ගන්න එපා· ඒ කිලි පිළිබඳව වටින් පිටින් ඇසෙන වදන් කිහිපයකි. පොදුවේ මූලික වන කිලි වර්ග සතරකි. එම කිලි වර්ග හතරෙන් තුනක්‌ම කාන්තාවන් මූලිකව ඇතිවන කිලිය. මල්වර කිල්ල දින හැටක්‌ද – මාසික කිල්ල දින තුනක්‌ද වැදූගෙයි කිල්ල දින හතළිස්‌ පහක්‌ද, මරණ කිල්ල දින අනූවක්‌ද බලපවත්වන බව කියෑවෙයි.

අළු කෙසෙල්, මඩු දලු වැනි එළවළු පලා වර්ගද මෝර, තෝර, මඩු වැනි මාළු වර්ග ද ඌරු මස්‌ වැනි මස්‌ වර්ගද කිලි සහිත ආහාර ලෙස පිළිගැනෙයි.

දෙවියන් හා කටයුතු කිරීමේදී කිලි දොaෂයට හසුවුවහොත් වැළඳෙන්නේ දෙවියන්ගේ ලෙඩය. පැපොල්, කම්මුල්ගාය, සරම්ප වැනි රෝග හඳුන්වන්නේ දෙවියන්ගේ ලෙඩ ලෙසය. එම ලෙඩරෝග වැළඳීමෙන් පසු කිල්ලෙන් ආරක්‍ෂා වීම රෝගයෙන් මිදීමට හේතුවෙයි. කිලි සහිත නිවෙස්‌වලට නොයැමත් එවැනි පිරිස්‌ නිවසට පැමිණීමෙන් වළක්‌වා ගැනීමටත්, කිලි සහිත ආහාර නිවසට නොගැනීමත් කිල්ලෙන් ආරක්‍ෂාවීමට හේතුවකි.

කිල්ල පිළිබඳව අප බියට පත්විය යුතුද?

නැතහොත් කිල්ල පිළිබඳ මතවාදයන් අප උපහාසයෙන් බැහැර කළ යුතුද? විමසුම තුළින් යහපත් ආකල්පයන් ගොනුවෙයි.

කිල්ල

භූත විද්‍යා ශාස්‌ත්‍රයේදී කිල්ලට හිමිවන්නේ ප්‍රබල ස්‌ථානයකි. කිල්ල යනු කිලුට – අපිරිසිදු වීම යන අර්ථය හඟවන වදනකි. අපිරිසිදු දැ ප්‍රසන්න නොවේ. එය දුඟඳින් යුක්‌තය. යහපත් වූ සුවඳට ආකර්ෂණය වන්නේ යහපත් ආත්මයන්ය. දුඟඳට ආකර්ෂණය වන්නේ පහත් ප්‍රේත – භූත කොටස්‌ය. දුගඳ පිළිකුල් සහගතය. මළසිරුර පිළිකුල්ය. එයින් විෂබීජ පරිසරයට මුදා හරියි. කිලිකුණු හෙවත් විෂබීජ ගහකොළ, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන් දුර්වල කරවයි. ශරීර දුර්වල වීමෙන් විෂබීජ ශරීරයට ඇතුළුවී කායික – මානසික ශක්‌තීන් දුර්වලවීම රෝග ව්‍යාධීනට පහසුවෙන් ගොදුරු වීමකි.

මාසික කිල්ල – වැදූගෙයි කිල්ල, මරණ කිල්ල තුළින් පරිසරයට මුදාහැරෙන්නේ අපවිත්‍ර වූ දෙයයි. එය අපිරිසිදු පරිසරය හා බැඳෙන මිනිසාහට නොයෙකුත් රෝගාබාධ ඇතිකරලීමට සමත් වෙයි. කිල්ලේ විද්‍යාත්මක පදනම එයයි.

මරණ කිල්ල තුළ පරිසරය අපවිත්‍රවීමත් සමගම එම ස්‌ථානයට ආකර්ෂණය වන පහත් අමනුෂ්‍ය බලපෑම් ප්‍රබලය. අපිරිසිදු රුධිරය සහිත රෙදිපිළි අමනුෂ්‍ය බලපෑමට හසුවෙයි. කාන්තාවන් විවිධ වූ දොෂයනට භූත ප්‍රේත බලපෑම්වලට ගොදුරුවීම එහි ප්‍රතිඵලයන්ය. විවිධ වූ සනීපාරක්‍ෂක ක්‍රමවේදයන් සහ මළසිරුරු තුළ රැඳි අපවිත්‍ර දැ පරිසරයට මුසු නොවීම මත වර්තමානයේදී අතීතයට වඩා කිලිදොස්‌ අල්පය.

යන්ත්‍ර මන්ත්‍ර, භූත විද්‍යා කටයුතුවලදී කිල්ල වෙත අමනුෂ්‍ය බලපෑම් යොමුවීම කිලි දොෂය ලෙස හඳුන්වනු ලැබෙයි.

පෙරකල විසාලා මහනුවර ඇති වූ දොස්‌ සමනයට බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් ලවා රතන සූත්‍රයෙන් පිරිත් කරන ලද පිරිත් පැන් ඉස එනුවර අමනුෂ්‍යදොස්‌ දුරුකළ බව බෞද්ධ ඉතිහාසය තුළින් අවබෝධ කරවයි. එහිදී මහවැසි ඇදවැටී අපවිත්‍ර දැ සියල්ල සේදී ගිය පසු පිරිත් පැන් ඉස නුවර ආරක්‍ෂාව – රැකවරණය සැලසූ බව සඳහන්ය. විසාලා මහනුවර තුන්බිය පහවීමට පිරිත් පැන් පිටිවහලක්‌ වූ බව එයින්ම පැහැදිලිය. කිල්ලෙන් ආරක්‍ෂා වීමට හෙවත් අමනුෂ්‍ය බලපෑම් වලින් මිදීමට ධාර්මික වීම යහපත් දිවිපෙවෙත මූලික වෙයි.

යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලදී කිල්ලෙන් ආරක්‍ෂා වන ලෙස ප්‍රබලව කියෑවෙයි.

යන්ත්‍රයක්‌ පැළඳි තැනැත්තෙකු කිල්ලෙන් ආරක්‍ෂා වන්නේ කෙසේද?

කිලි සහිත ආහාර නිවසට ගෙන ඒමෙන් වැළකීම කිල්ලෙන් ආරක්‍ෂා වීමක්‌ද? නිවසට පැමිණෙන ආගන්තුකයන් කිළි සහිත ආහාර අනුභවකොට ඇති බව හඳුනා ගන්නේ කෙසේද? කිලි සහිත කාන්තාවන් අවමඟුල් ස්‌ථානයනට ගොස්‌ පැමිණෙන පුද්ගලයන් අපට මහ මගදී කොතරම් මුණගැසී ඇද්ද? එවන් අයකු හා බස්‌රියේ අසුන්ගෙන යැම මන්ත්‍රයේ හා යන්ත්‍රයේ බල බිඳීමට හේතුවක්‌ නොවන්නේද?

දරුවන් බිහිකල මවක්‌ අසාධ්‍ය ලෙස රෝගාතුර වූ පසු මන්ත්‍ර බලයෙන් සෙත් පැතීමෙන් සහනය – සුවය ලැබෙයි. භූත දොaෂයෙන් දොඩවන අයකුට මැතිරීමෙන් සහනය අත්වෙයි. මන්ත්‍ර ශාස්‌ත්‍රයෙහි බලය එලෙසය. විසාලා නුවරට ඉසින ලද පිරිත් පැන් බලයද අති මහත්ය. මන්ත්‍ර සහ පිරිත් බලයට අමනුෂ්‍ය බිය පහව යන්නේය. දොස්‌ දුරුවන්නේය.

කිල්ලෙන් කිලිටිවන මන්ත්‍රයක්‌ සුරයක්‌ බලවත් නොවන්නේය. එලෙස බල බිඳෙන මන්ත්‍රය, සුරය බලවත් මන්ත්‍රයක සුරයක බලයට වඩා දුර්වලය. එම දුර්වල වීම මත අයහපත් වූ භූත බලවේගයන් ක්‍රියාත්මක වෙයි. කිල්ලට හසුවී බල බිඳෙන මන්ත්‍ර – යන්ත්‍ර වර්තමානයට අවැසි නොවන්නේය.

කිල්ල අපිරිසිදු දෙය නම්, දුර්වල අයකු පිරිසිදු ස්‌ථානයකට යැමෙන් රෝගී විය හැකිය. අපිරිසිදු භූත වර්ගයා යහපත් වූ මන්ත්‍රයෙන්, ධර්මයෙන් දුරස්‌ව යන්නේය. නිවැරැදි යන්ත්‍ර, මන්ත්‍රයක බලය අපිරිසිදු කිලුටකට මැඩිය නොහැකිය. කිල්ල යනු කිලිටි දැ සියල්ල හැඟවීමට යොදන නාමයක්‌ පමණකි.

කිරි අම්මාවරුන්ගේ දානය පිරිසිදුව දිය යුත්තකි. එම දානය හා බැඳුනු යමෙක්‌ කිල්ලට හසුවීම කිරිදානය පිරිසිදුව කිරීමට බාධාවකි.

වර්තමානයේ දියුණුවන සමාජය තුළ කිල්ල පිළිබඳ අනියත බිය දියුණුවට බාධාවකි. එය යහපත් වූ මන්ත්‍ර ශාස්‌ත්‍රයටද බලවත් නොවන්නකි. කිල්ල පිළිබඳ නිවැරැදි අවබෝධය ජන ජීවිතයේ සෞඛ්‍ය සුරැකීමට මහඟු උපකාරයකි. කිල්ල යනු ජනප්‍රවාදයේ එන අස්‌ථාන බියක්‌ පමණකි. එය නිවැරැදි බලවත් මන්ත්‍ර බලය දූෂණය කරන අරිටු බලවේගයක්‌ ලෙස පිළිගත නොහැක. එය මුදලින් බලවත් වන යන්ත්‍ර මන්ත්‍රයක බල දුබලතාව පෙන්වීමට යොදාගත් වදනක්‌ පමණකි. කිලිටි – අපවිත්‍ර විෂබීජයෙන් තොරව යහපත් යමක්‌ කිරීමට පිළිකුල් දැ හඳුනා ගැනීමට යොදාඇති වදන කිල්ල ලෙස හඳුනා ගැනීම අපේ යහපතට හේතුවෙයි. ඔබද එය විමසුම්ව අනුමත කරන්නේද?

We found this article from Divaina on 2014/01/19.