කීර්තිය, කලා කෞශල්‍යය ජයග්‍රහණ හෙළිකරන කීර්ති රේඛාව

866
කීර්ති රේඛාව
කීර්ති රේඛාව

අද අපි විස්‌තර කරන්නේ කීර්ති රේඛාව ගැනයි. කීර්තියට පත්වෙන්න, එහෙම නැත්නම් සමාජයේ ජනප්‍රිය කෙනෙක්‌ වෙන්න කවුද අකමැති. කාගේත් ආශාව තිබුණත් හැම කෙනකුටම ඒ ආශාව සපුරා ගන්න බැහැනේ. කීර්තිය ප්‍රසිද්ධිය ලැබෙන්නත් පෙර ආත්මවල පින් කරල තියෙන්න ඕන. ඒ විදියේ පෙර කළ පින් සටහන් වෙන අල්ලේ පිහිටන ප්‍රධාන රේඛාවක්‌ පිළිබඳවයි අද කතා කරන්නෙ කීර්ති රේඛාව. මෙය රවි රේඛාව, සූර්ය රේඛාව නමිනුත් හඳුන්වනු ලබයි.

රවි මණ්‌ඩලයෙන් අවසන් වන නිසාම කීර්ති රේඛාවෙන් බොහෝ විට ප්‍රකාශ වන්නේ රවි ග්‍රහයාට හිමි ගතිගුණමයි. පුද්ගලයාගේ කීර්තිය, ප්‍රසිද්ධිය, සමාජයෙන් ලැබෙන ගෞරවය ආදිය කීර්ති රේඛාවෙන් ප්‍රකට කරයි. කලා කෞශල්‍යය ප්‍රතිභා ශක්‌තිය ඇතුළු පුද්ගලයා සතු උපන් දක්‌ෂතාවන් සියල්ලම සටහන් වන්නේ අත්ලේ පිහිටි මෙම කීර්ති රේඛාව තුළිනි. හදිසි ධනලාභ, ජයග්‍රහණ, ආකර්ෂණය, ධෛර්ය සම්පන්න බව ආදී ගුණාංගයන්ද මෙම රේඛාව නිරීක්‌ෂණය කිරීමෙන් දැනගත හැකිය. මෙම රේඛාව හැම අතකම නොපිහිටයි.

රවි රේඛාව හෙවත් කීර්ති රේඛාව

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව කියෑවෙන්නේ රවි රේඛාව හෙවත් කීර්ති රේඛාව අත්ලක නොපිහිටියේ නම් ඔහුගේ දියුණුව සීමාසහිත වන බවයි. උසස්‌ ලෙස දියුණුවට පත් බොහෝ දෙනකුගේ අත්වල මෙම රේඛාව පැහැදිලිව පිහිටා ඇති බව දැනගත හැක. දෛව රේඛාවෙන් දැක්‌වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත් කිරීමට සුවිශේෂ බලයක්‌ ඇති රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිදයන වාසනා රේඛාව පරිද්දෙනි. මෙම රේඛාව මැණික්‌කටු ප්‍රදේශයෙන්, චන්ද්‍ර මණ්‌ඩලයෙන්, කුජ තලාවෙන්, ජීවන රේඛාවෙන්, ශීර්ෂ රේඛාවෙන්, හෘදය රේඛාවෙන් හෝ දෛව රේඛාවෙන්ද ආරම්භ විය හැක. මෙම රේඛාව කුමන ස්‌ථානයකින් ආරම්භ වුවත් අත්ල හිමියාට සුබපල ගෙනදෙයි.

කීර්ති රේඛාව

කීර්ති රේඛාව දෛව රේඛාවෙන් ආරම්භ වුවහොත් අත්ල හිමියාගේ ජීවන මාර්ගයේ උසස්‌ දියුණුවක්‌ බලාපොරොත්තු විය හැකිය. දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි නිදහස උසස්‌ තනතුරකට මාරුවීම, ව්‍යාපාරයේ දියුණුව ආදියයි. හදිසියේම පුද්ගලයා වාසනාවේ ඉහළටම නැගීමක්‌ පෙන්නුම් කරයි. තවද එම අයගේ හැකියාවන්ගේ බලයත්, එමෙන්ම කාලයක සිට දැරූ ප්‍රයත්නයකට දෛව රේඛාවෙන් ලැබෙන ආධාරයක්‌ මෙන් පෙන්නුම් කරයි. වාසනාව මතු වෙන්න අවුරුද්දකට දෙකකට කලින් මෙය පෙර නිමිත්තක්‌ සේ අත්ලේ සටහන් වෙයි. දිනපතාම ප්‍රයත්නයන් එකතු වීමෙන් විශ්වාසය තැබිය හැකි සලකුණක්‌ සේ ඒවා නිසි ඵල දරනු ඇත.

ස්‌ත්‍රියකගේ අතක මෙම රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයෙන් ආරම්භ වුවහොත් පුරුෂ පක්‍ෂයෙන් ලැබෙන ආධාර හා උපකාර මත වාසනාව හා දියුණුව සැලසෙන බවත්, පුරුෂයකුගේ කීර්ති රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයෙන් ආරම්භ වුවහොත් ස්‌ත්‍රී පක්‍ෂයෙන් ලැබෙන ආධාර උපකාර මත වාසනාව දියුණුව සැලසෙන බවත් පෙන්නුම් කරයි. යමෙකුගේ ඉහළ කුජ මණ්‌ඩලය හෙවත් බුධ මණ්‌ඩලයත්, චන්ද්‍ර මණ්‌ඩලයත් අතර ප්‍රදේශයෙන් කීර්ති රේඛාව ආරම්භ වුවහොත් හෙතෙම අතිශයින්ම නිර්භීත යුද උපක්‍රමයෙහි දක්‌ෂයෙක්‌ වේ. කීර්තියත්, ධනයත් නිරායාශයෙන්ම ඔවුන් කරා ගලා එයි. ආරක්‌ෂක අංශයේ ඉහළ තනතුරු දරන බොහෝ අයගේ අත්වල මෙම සලකුණ දැකිය හැක.

සිකුරු මණ්‌ඩලයෙන් ආරම්භ වී රවි මණ්‌ඩලයට විහිදයැම

අත්ලේ මැද කොටසින් හෙවත් කුජ තලාවෙන් මෙම රේඛාව ආරම්භ වුවහොත් එම තත්ත්වය ලබා ගැනීමට දහසක්‌ බාධකවලට මුහුණ දිය යුතුය. චන්ද්‍ර මණ්‌ඩලයත්, සිකුරු මණ්‌ඩලයත් අතර ප්‍රදේශයෙන් ආරම්භ වී රවි මණ්‌ඩලයට යැම හොඳ පිහිටීමකි. අසහාය බුද්ධි බලයේත්, ධන බලයේත් සංකේතයක්‌ වශයෙන් එය සැලකිය හැකිය. සිකුරු මණ්‌ඩලයෙන් ආරම්භ වී රවි මණ්‌ඩලයට විහිදයැම මුදල් තත්ත්වය යහපත් වන බව හෙළිකරයි. ඒ අයුරින්ම පිහිටීම තමාගේ සහකාරිය හෝ සහකාරයා හැරෙන්නට තවත් අය ආශ්‍රය කරන බව ප්‍රකට කරයි. එවැනි අයගේද උදව්වෙන් විවාහයෙන් පසු දියුණුව සැලසේ. සමහර විට කීර්ති රේඛාව ජීවන රේඛාව අවසානයෙන්ද ආරම්භ විය හැක. එවැනි අය බොහෝ විට කලාකරුවෝ වෙති. ඔවුන් ස්‌වභාවයෙන්ම සමාජශීලිය. කලා අංශයෙන් මුදල් උපයා ගන්නෝ වෙති. සමහර අවස්‌ථාවල මෙම රේඛාව ශීර්ෂ රේඛාවෙන්ද ආරම්භ විය හැකිය. ඔවුන් උසස්‌ විද්‍යාඥයන් හා දර්ශනවාදීහු වෙති. ඒ අය ඉතා බුද්ධිමත්ය. ආරම්භ කරන ඕනෑම කාර්යයක්‌ හොඳින් ඉටු කරයි. ඕනෑම ක්‌ෂේත්‍රයක්‌ ගැන හසල දැනීමක්‌ ඇත. ප්‍රසිද්ධිය හා ගෞරවයද හිමිවේ. අවුරුදු විස්‌සක්‌ තිහක්‌ අතර කාලයේ සිට ඔවුන්ගේ දියුණුව ආරම්භ වේ.

මෙම රේඛාව හෘදය රේඛාවෙන් පටන් ගැනීම ඔවුන්ගේ ජීවිතයේ පුර්ණ දියුණුවක්‌ පෙන්නුම් කෙරේ. මුල් කාලයේ දී තරමක කරදර සහිත වුවත් තමන්ගේ දැඩි උත්සාහයෙන් මැද වයසේදී උසස්‌ දියුණුවකට පත්වේ. මෙම රේඛාව සමහර විටෙක අල්ල මැදින්ද ආරම්භ විය හැකිය. එය සුබදායක ලකුණකි. ලොතරැයි ආදියෙන් හෝ හදිසියේ ධනය ලැබීමට එය හේතුවිය හැක. මෙම රේඛාවේ කෙළවර කරු දෙකක්‌ බුධ මණ්‌ඩලයට හා රවි මණ්‌ඩලයට යා හැක. එයින් කීර්තිමත් භාවය වඩාත්ම පෙන්නුම් කරයි.

එක ශාකාවක බුධ මණ්‌ඩලය දෙසට විහිද යැම දක්‍ෂතාවය වැඩිකරන පිහිටීමක්‌ වන අතර ශක්‌තිමත් නායකත්වයක්‌ ඇති බවද පෙන්නුම් කිරීමකි. එම රේඛාව පටන් ගැනීමේදී මහතට හොඳින් තිබී අවසානයේ මැකී යන ආකාරයේ වී නම් තිබුණ ධනය හා කීර්තිය ක්‍රමයෙන් නැතිවී යන අතර එය තරුවකින් අවසාන වූ විට ඉමහත් දියුණුවක්‌ පෙන්නුම් කරයි. මෙම රේඛාව ත්‍රිශූලයකින් අවසාන වීමද සුබදායක වෙයි. ත්‍රිශූලයේ අඬු තුන රවි, බුධ සහ ශනි මණ්‌ඩලයට යා හැක. විහිද යැමේදී ඒ අඬුවල සමාන ප්‍රමාණයට ඇති නම් බලය, ධනය හා කීර්තිය හිමි වේ. ශීර්ෂ රේඛාවෙන් පැන නැගුන ආරෝහණ රේඛාවක්‌ කීර්ති රේඛාවට සම්බන්ධ වීම අසුබයි. දාමරිකකම්වලින් හෝ නීති විරෝධී වැඩවලින් ප්‍රසිද්ධියට පත්වීමේ ලකුණක්‌ වශයෙන් එය හැඳින්විය හැක. යකඩයා, මරුසිරා වැනි දාමරිකයන්ගේ අත්වල මෙවැනි පිහිටීම් තිබුණ බව පැහැදිලි වී ඇත.

තාරකා ලක්‍ෂණයකින් අවසන් වීම

කීර්ති රේඛාව රවි මණ්‌ඩලය මතදී තාරකා ලක්‍ෂණයකින් අවසන් වීම කලාතුරකින් දැකිය හැකි සුබ ලක්‌ෂණයකි. සහජ දක්‌ෂතා ඇති ඔවුන් දේශ දේශාන්තරයන්හි පැතිර ගිය කීර්තිමත් අයවෙති. දූපත් ලකුණකින් ආරම්භ වන කීර්ති රේඛාවෙන් දුක්‌බර ජීවිතයකින් පසු හිටි හැටියේම කීර්තියට පත්වෙන පුද්ගලයෙක්‌ හඳුන්වාදෙයි. කීර්ති රේඛාව මත වැටෙන හතරැස්‌ කොටුවෙන් ප්‍රකාශ වන්නේ සතුරු උපක්‍රමවලට නොබියව මුහුණදී ආරක්‌ෂා වන බවයි. කීර්ති රේඛාව වඩාත්ම පළල්වීම මානසික රෝගවලට හේතුවිය හැකි ලක්‌ෂණයක්‌ වේ. තැනින් තැන කැඩීගිය හෝ කැපීගිය රේඛාවන් සුබ නොවේ. ඒ ඒ කාල වකවානු වලදී සිදුවන සතුරු කරදර එමගින් ප්‍රකට කරයි. කවර ස්‌ථානයකින් හෝ ආරම්භ වන කීර්ති රේඛාව පටන් ගැනීමේදී ගැඹුරුව අනුක්‍රමයෙන් ගැඹුර අඩු වෙමින් සිහින්ව අප්‍රකට ස්‌වභාවයට පත්වේ නම් මෙබඳු ලක්‌ෂණ සහිත අයගේ දීප්තිමත් සෞභාග්‍ය සම්පන්න කාලය රේඛාව ගැඹුරට තිබෙන කොටසින් පෙන්නුම් කෙරේ. ඉන්පසු අනුක්‍රමයෙන් රේඛාව දුර්වල වීමෙන් අවසාන කොටසට අදාළ කාලසීමාවේදී ධන හීන අයෙකු බවට පත්විය හැකිය.

We found this article from Divaina on 2014/01/19.