ග්‍රහ තරු අතුරෙන් කුඩාම තරුව බුධය. සූර්යයාට ඉතාම ළංව පිහිටියේද එයයි. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක් පමණ වන බුධ කිසිම විටක අංශක 28 කට වඩා සූර්යගෙන් ඈත් නොවේ. රවි, චන්ද්‍ර මවුපියන් ලෙස ගතහොත් බුධ එම පවුලේ සුරතලා ලෙස ජ්‍යෙතිෂයේ හැඳින්වේ. සිතිවිලිවලින් හා ඥානය මෙහෙයවා කරන දේට බුධ ප්‍රධානය. ඥානයට අධිපති බැවින් කාව්‍ය කරණය, ව්‍යාකරණය, න්‍යාය ශාස්ත්‍රය හා ඥානයෙන් කරන සියල්ල බුධට අයිති වේ.
බුධ පළමු වැන්නේ
කේන්ද්‍රයේ බුධ පළමු වැන්නේ සිටියදී උපන් අයට සිහින් උස් වූ ප්‍රියජනක රූපයක් හිමිවේ. නොයෙක් භාෂා ශාස්ත්‍ර ඉගෙනීමෙහි දක්ෂයකු වෙයි. ලේඛන කලාව නාට්‍ය, සංගීතය ආදී විෂයයන්ට වැඩි ප්‍රියතාවක් දක්වයි. අවංකව කටයුතු කිරීම ප්‍රියවචන කතා කිරීම කැපී පෙනෙයි. කරදරවලින් තොර සමබර ජීවිතයක් ගත කිරීමට වාසනාව ඇත. ඉතිරි කිරීමේ කටයුතුවලට මැලිකමක් දක්වයි. නිතර සිනාසීමටත් කවට බස් කීමටත් ප්‍රිය කරයි. තනිව ලග්නයේ බුධ සිටියොත් බලවත්ය.
දෙවැන්නේ
බුධ දෙවැන්නේ සිටියදී උපන් අය කතාවට ඉතා දක්ෂ අයෙක් වෙයි. බ්‍රොකර් වැඩ කොමිස් පිට බඩු සැපයීම, හුවමාරුව, විදේශ භාණ්ඩ එජන්තධුර, නීතිඥධුර ආදී ව්‍යාපාරවලින් මුදල් උපයයි. නිතර මුදල් ඇති අයවෙයි. දරුවන් වැඩියෙන් ලැබිය හැක. විහිළුවක් කර හෝ අන්‍යයන් තම වසඟයට ගැනීමට දක්ෂවෙති.

තුන්වැන්නේ
බුධ තුන්වැන්නේ සිටින විට උපන් අයගේ ශරීරය ප්‍රිය උපදවයි. උසස් ඉගෙනීමක් ලබයි. නර්තන ශිල්පියකු හෝ ලේඛකයකු වීමට යහපත් පිහිටීමකි. නිතර යන එන ගමන් ඇති රැකියාවල් හිමිය. මේ නිසා තැපැල්, දුම්රිය ආදී ස්ථානවල රැකියා වඩා ගැළපේ. තැනට සුදුසු අයුරින් කටයුතු කිරීමට දක්ෂය.
හතර වැන්නේ
හතර වැන්නේ බුධ සිටියේ නම් ශුභ දෘෂ්ටි ලැබ හෝ ශුභයෙකු සමග සිටියේ නම් ඉතාමත් යහපත් වේ. නොමැති නම් ස්ථාන මාරුවීම්, රැකියා වෙනස් වීම් ආදියට හේතු වේ. බුධ බලවත්නම් ඉඩ කඩම්, යාන වාහන, ගෙවල් දොරවල් ලැබීමට වාසනාව ඇත. නැටුම් ගැයුම්වලට ප්‍රියවෙයි.
පස්වැන්නේ බුධ පිහිටීම
බුධ පස්වැන්නේ නම් අනිවාර්යයෙන්ම කාගේත් ආදරයට ලක්වේ. හොඳ හික්මීමෙන් යුත් අයෙකි. ක්‍රීඩාවලට හා ඉගෙනීමට දක්ෂතාවක් ඇත. බහු භාර්යා සේවනයට ලොල්ය. බුද්ධිමත් දරුවන් හිමිවේ. දිනුම් සහිත ක්‍රීඩාවලට වඩා යහපත්ය.
හයවැන්නේ
හයවැන්නේ බුධ පිහිටීම ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ. රෝග පීඩා ඇති වීමේ වැඩි ප්රවනතාවක් ඇත. ඥාති මිත්‍රාදීන් සමග ගැටුම් ඇති කර ගනියි. මෙහෙකරුවන් නුරුස්සයි. සතුන්ට කරුණාව දක්වයි. මානසික වශයෙන් නිතර පීඩා විඳියි.
හත්වැන්නේ
බුධ හත්වැන්නේ සිටියදී උපන් අයට යහපත් විවාහයකට හිමිකම ඇත. බොහෝ විට බුද්ධිමත් වේ. ලේඛන කටයුතුවලින් ලාභ ලබයි. නුවණැත්තන් සමග හවුලේ කරන වැඩවලින් පාඩු සිදු කර ගනී. ශරීරය වෙහෙසන කටයුතුවලට කැමැත්තක් නොදක්වයි. ලෞකික සම්පත් නොඅඩුව ලබයි. සැමියා හෝ භාර්යාව යහපත් ගතිගුණ ඇති අයෙක් වෙයි. සංගීතයට වැඩි ලැදියාවක් දක්වයි.
අටවැන්නේ
බුධ අටේ පිහිටියහොත් දුටුවන් ප්‍රිය කරන ශරීරයක් හිමිවේ. විවාහයෙන් පසු මුදල් සම්බන්ධ අඩුපාඩු කරදර නිතර නිතර ඇති වෙයි. නිතර රෝගාබාධාවලට හේතුයි. උසස් පහත් කාගේත් උදව් උපකාර ලැබීමට හැකිවේ. කලබල රහිත දුක් නැති ශාන්ත මරණයකට හේතුවෙයි.

නවවැන්නේ
බුධ නමයේ නම් ඥානවන්තය. නිහතමානී කොයිකාගේත් අදහස්වලට කන්දෙන අයෙකි. ආගමික කටයුතුවලට උනන්දුවක් දක්වයි. උසස් අධ්‍යාපනයක් ලැබිය හැක. කලාත්මක ගති ඇති යහපත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන සැර පරුෂ නැති අයෙක් වෙයි. පියාට හිතවත් අයෙකි. සත්‍යවාදී ශීලයෙන් හා භක්තිමත් භාවයෙන් යුතුවේ.
බුධ දහයේ පිහිටීම
බුධ දහයට ඉතා යහපත්වේ. රජයේ උසස් රැකියාවලට වාසනාව හිමිය. වාග් ශක්තිය ඇති කරන අතර ස්ථානෝචික ප්‍රඥාව ඇති අයෙක් වෙයි. සියලු ව්‍යාපාරවලින්ද උසස් දියුණුවක් ලබයි. එමගින් කීර්තිය හා රාජ්‍ය සම්මාන ලැබීමටද වාසනාව ඇත. තමා කෙනෙක් යටතේ රැකියාව කළත් තමාගේ ස්වාමියාට උපදෙස් දීමට තරම් දැනුම ඇත්තෙකු වේ.
එකොළොස්වැන්නේ
එකොළොස් වැන්නේ බුධ සිටියදී උපන් අයද ඉතා යහපත්වේ. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභයක් ලබයි. උසස් පෙළේ මිතුරන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබේ. බුධ එකොළොස් වැන්නේ දුර්වලව සිටියොත් මිතුරන්ගේ රැවටිලිවලට හසු වී එමගින් පාඩු සිදු කරගනී. ඔවුන්ගෙන් නින්දා අපහාස විඳීමටද සිදුවනු ඇත.
දොළොස්වැන්නේ
බුධ දොළොස්වැන්නේ විදේශ රැකියාවලටද වාසනාව හිමිවෙයි. අනතුරුදායක විදියේ ගමන් බිමන්වල යෙදේ. කොයි පළාතකට කුමන රටකට ගියත් මිතුරන් වැඩිවේ. ජීවිතයේ මුල් කාලයේ සිටම පොත පතට දැඩි ආශාවක් දක්වයි. ජීවිතේ අග භාගයේදී පොතපතින් හෝ ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍රසිද්ධියක් ලබයි. එය තමාගේ පරම්පරාවටම ආඩම්බරයක් වනු ඇත.
We found this article from Divaina on 2014/05/11.