පෙර කල හා මෙකල කළ කුසලාකුසලකර්ම ක්‍රියා අනුව මිනිසාට එදිනෙදා සුබාසුබ ග්‍රහයන්ගෙන් ලැබේ. සුබදෙන විට සතුටින් ඉවසා සිටී. එහෙත් අශුභ දෙන විට ඉන් ගැලවීමට උත්සාහ දරනු ලැබේ. ඒ අනුව කළ යුතු ශාන්තිකර්ම විධි රැසක්ද වෙයි. ඒවා මෙසේය.
රවි දෝෂයට
1. ස්වර්ණ, තඹ යන මෙයින් කරන ලද මල් හෝ ඒ ද්‍රව්‍ය ද නෙළුම්මල්ද රන්වන් පාට මල්ද සිද්ධස්ථානයකට පූජා කොට ප්රේතාදීන්ට පින් හිමි කළ යුතුය.
2. කහපාට වස්ත්‍රයන්ද, ගිතෙල්ද, කුරුඳු පොතුද මුං ඇට, උක් හකුරුද දන්දීම ශුභයි.
3. මරණයට නියමවූ සතුන් මිලදී ගෙන නිදහස් කර ගැනීමද මෛත්‍රී භාවනාවද
4. මවුපියන්ට, ගිලනුන්ට, උපස්ථාන කිරීම උදේ සවස මෝර පිරිත ගායනය ශුභයි
5. පද්මරාග මාණික්‍යයක් බැඳි තඹ ස්වර්ණ මුදුවක් නිතර පැළඳීම ද
6. ශිව ශිලම්බර, මෘත්යංජය, ජිනපඤ්ජරය යනාදී යන්ත්‍ර තඹ හෝ ස්වර්ණයෙන් තනවා පිරිසිදු ලෙස බ්‍රාහ්මණයකු ලවා 700 වරක් හෝ 1000 වරක් ජපකර ඉණ බැඳීම.
චන්ද්‍රයාගේ දෝෂයට
1. රිදීද, මුතුද, පිච්චමල්, ආදී සුදු මල්ද, මහනෙල් ආදී සුදුපාට ජල පුෂ්පද උත්තම ස්ථානයකට පුදා සියල්ලට පින් අයිති කිරීමද
2. සුදු වස්ත්‍රද, දී කිරිද, ගිතෙල් පිරි බඳුනක්ද, සඳුන් ද සිල්වත් ස්ත්රීන්ට දන් දීමද
3. සුදු කොඩිද, මුතු කුඩද, කිරි දෙනක්ද සිද්ධස්ථානයකට පිදීම.
4. ජලයේ හැසිරෙන සතුන්ට කිරිබත් විලඳ දානය කිරීමද
5. රිදී පත්වල ලියන ලද ධර්මය පූජා කිරීමද ධර්මශ්රවණය කිරීමද
6. රිදී සහ මුතු ශරීරයේ පැළඳීමද
7. ගිලන් මෙහෙණින්නාන්සේ නමකට හෝ දුබල දසසිල් උපාසිකාවකට උපස්ථාන කිරීමද බෙහෙත් දීමද ශුභයි.
කුජගෙන් හටගත් දෝෂයට
1. ස්වර්ණ, තඹ, පබලු, කනේරුමල්, රත්මල් මාල තුනුරුවන් විෂයෙහි පුදා දෙවියන්ට පින්දීම
2. රතු වස්ත්‍ර, උක් සකුරු, පරිප්පු, තිරිඟු, රත්හඳුන්, දන් දීමද
3. වැඩිහිටියන්ට උපස්ථාන කිරීම, ඉවසීම, ගුණධර්ම වැඩීමද
4. තරුණ භික්ෂුවකට හෝ බමුණකුට දින කීපයක් පය සෝදා තෙල් ගල්වා සියලු උපස්ථාන කිරීමද
5. උදේ සවස මංගල සූත්‍රය භාවනා කිරීමද ගිතෙලින් පහන් පූජා කර දේවතාවුන්ට පින්දීමද
6. රතු මැණික් කොරල් ස්වර්ණ පැළඳීමද
බුධගේ දෝෂයට
1. රිදී, කහපාට මල්, බුලත්, සුවඳ වර්ග, පහන් පුදා සියලු සතුරන්ට පින්දීමද
2. සිවුරු, ඇත් දත්, උක් සකුරු, නීල වර්ණ වස්ත්‍ර යාචකාදීන්ට දන් දීමද
3. ළදරුවන්ට ආහාර දීමෙන් සංග්‍රහ කිරීමද
4. ධර්මදානය, ධර්ම ශ්‍රවණය, සිල් රැකීම
5. පච්ච මැණික් රිදී පැළඳීමද
6. රතන යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය, දිව්‍ය රාජ යන්ත්‍රය මාතංග ඊශ්වර යන්ත්‍රය යනාදී යන්ත්‍ර රිදී පත්වල තනා 1700 වරක් හෝ 17000 වරක් පිරිසිදු ලෙස ජපකර බන්දවා ගැනීමෙන්ද බුදගෙන් හටගත් සියලු දොසට පිළියම් වේ.
ගුරුගෙන් හටගත් දෝෂයට
1. රන්වන් පාට මල්ද, කහපාට කොඩිද, ගිතෙල් පහන්ද, සුවඳ ජාතිද, පුදා දේවතාවුන්ට පින්දීමද
2. අටපිරිකර, උපස්ථාන කිරීම, වෙහෙර විහාර, බෝධි මණ්ඩප, ඇමදීම, පිරිසිදු කිරීම, බෝධි රෝපණය යනාදී කටයුතු කිරීම
3. උක් සකුරු, තිරිඟු, කහපාට වස්ත්‍ර, ලුනු දන් දීමද
4. ධර්ම ශ්‍රවණය, ධර්ම පූජා, පිරිත් දේශනා කිරීම, කරවීම, සිල් රක්ෂා කිරීම.
5. උතුමන්ට, වැඩිහිටියන්ට, ගරු කිරීම, උපස්ථාන කිරීම, නව ගුණ සිහිකිරීම, භාවනා වැඩීම.
6. පංචලෝහ, පුෂ්පරාග, මැණික් ගත පැළඳීම.
7. නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය, සියලු පිරිත් යන්ත්‍ර, බුදු ගුණ යන්ත්‍රය 1600 වරක් හෝ 16000 ක් වරක් ජපකර බැඳගැනීම.
කිවිගෙන් හටගත් දෝෂයට
1. නොයෙක් පාට මල්ද, ගිතෙල් පහන්ද, රන් රිදීද, දීකිරිද තුනුරුවන්ට පුදා අමනුෂ්‍යයන්ට පින් දීම.
2. ගිතෙල්, සුන් සහල්, පාට වස්ත්‍ර, කොඩි දන්දීම්
3. කන්‍යාවන්ට, කිරි ඇතිලියන්ට, බත් පැන් දීමද,
4. පිරිත් දේශනා කිරීම, බමුණන්ට උවටැන් කිරීම, ස්ත්රීන්ට පිහිටවීම
5. පියාඹන සතුන්ට දියේ වසන සතුන්ට ආහාරදීම යෝග්‍යයි.
6. මුතු දියමන්ති, බෙරලියන්තු, ආදී මැණික්ද, ස්වර්ණ පස්ලෝද පැළඳීමද
7. ජිනපඤ්ජරය, නවගුණ යන්ත්‍රය, නවනාථය පස්ලෝ පත්‍රවල අන්දවා 2000 වර හෝ 20,000 වර ජපකරවා බැඳීම ශුභයි.
ශනිගෙන් හටගත් දෝෂයට
1. නිල්පාට මල්, තලතෙල්, අබතෙල්, පහන් නිල්කොඩි, තුනුරුවන්ට පුදා අමනුෂ්යාදීන්ට දන් දීමද
2. තලබත්, දීකිරි, උඳු කොල්ලු, කලු වස්ත්‍ර, පස්ලෝ, දන්දීමද
3. නීචයින්ට, දුර්වලයින්ට, මවුපියන්ට, උවටැන් කිරීම
4. ලෙඩුන්ට, දුර්වලයින්ට, මවුපියන්ට උවටැන් කිරීම
5. බණ ඇසීම, ධර්ම පූජාව, සිල් රැකීම, භාවනා කිරීම
6. කාකයින්ට ගිතෙල් මුසු කිරිබත් දීම, නුග ගසකට කිරි පැන් වත් කිරීම
7. නිල් මැණික්, යකඩ, ඊයම්, ලෝහ පැළඳීම
8 මෘත්යqංජය, නවනාථය, විෂ්ණු පංජරය, නීල මණ්ඩලය ඊයම් පත්වල ලියවා 1900 හෝ 19000 වරක් ජපකර බැඳීම
රාහුගෙන් හටගත් දෝෂයට
1. වැටකේ මල්, රන්වන් මල්, තලතෙල්, ගිතෙල් ප්‍රදීප රතු කොඩි පුදා අසුරයින්ට නාගාදීන්ට පින්දීම
2. තලතෙල්, කිරිබත්, විලඳ, තඹ රන් රිදී, උඳු මහලු අයට දන්දීමද
3. මහලු අයට, මුත්තනුවන්ට උවටැන් කිරීමද
4. විහාර, දේවාල භූමි, බෝධිමළු, මණ්ඩප ඇමදීම, පිරිසිදු කිරීම යනාදිය.
5. රුවන් සූත්‍රය භාවිතා කිරීම, ධර්ම පොත් ලිවීම.
6. නාගයින්ට, සර්පාදීන්ට අභයදානය දීම.
7. ගොමේද මැණික් ඊයම් පැළඳීමද
8. මත්යංජය, ආඝෝර යන්ත්‍රය, නාගර්ජනය, විෂ්ණුමණ්ඩලය, ශිලම්බරී යන්ත්‍රය, 1800 වර හෝ 18000 වර ජීවම් කර ඊයම් පත්‍රවල පළඳින්න.
We found this article from Divaina on 2013/08/11.