ගැබිනි සමයේ ගෙවල් සෑදීම හොඳද?

431
ගෙවල්
ගෙවල්

ශ්‍රී පුත්‍රාදිකභොගසෞජනතං ධර්මාර්ථකාමප්‍රදං

ජනතූනාමයනං සුඛාසපදමිතං ශිතාමබුඝර්මාපහම්

වාපි දෛවගෘහාදි පුණ්‍යමලං ගෙහාත්සමුතඤාතෙ

ගෙහං පූර්වමූශනති තෙන විබුධාඃ ශ්‍රීවිශවකාර්මාදයඃ

ශ්‍රීමත් වූ විශ්වකර්මා දී මහා ප්‍රාඥයෝ ගෘහ කර්මයේ ප්‍රයෝජන පිළිබඳව මනාකොට විශ්වකර්ම තන්ත්‍ර හි දක්‌වා ඇත. එහි අදහස සැකවින් සරලව පැහැදිලි කළහොත් තමන්ගේ දරු මුණබුරන් හා සියලු භෞතික සම්පත් ඉපයීමත් සියලු ලෞකික සැප ලැබීමත් සීත සුළං අව් වැසි වැනි දෙයින් මිදීමත් සත්වයන්ගේ ලෞකික පැවැත්මට සැපය සලසන්නා වූ ගෘහයට පළමු කොටම කැමති විය යුතු බවයි.”

ගෙවල් සෑදීමේ අරමුණ

ඔබ හැමෝම දැක තිබෙනවා කුරුල්ලන් කූඩු හදන ආකාරය. කෝටු කෑල්ලෙන් කෑල්ල තියලා බොහොම මහන්සි වෙලා කුරුල්ලයි, කිරිල්ලියි කූඩුව සාදන්නේ ගොඩක්‌ බලාපොරොත්තු ඇතුවයි. කුරුලු ලෝකයේ දක්‍ෂ නිර්මාණයක්‌ කරන එක්‌ කුරුල්ලෙක්‌ ඉන්නවා. උගේ දක්‍ෂතාව නිසාම වඩු කුරුල්ලා කියලා අපි ඒ කුරුල්ලව හඳුන්වනවා. මේ ආකාරයට සතුන් බොහෝ දෙනෙක්‌ කුමන ආකාරයට හෝ කුමන මාධ්‍යයකින් හෝ කූඩුවක්‌, ගුලක්‌, බෙනයක්‌, කෝෂයක්‌, වළක්‌ ආදී වශයෙන් ආරක්‍ෂිත ස්‌ථානයක්‌ සකස්‌ කරගන්නවා. එවැනි පරිශ්‍රයන් සකස්‌ කරගන්නේ ඇයි? ඔබ මදක්‌ සිතන්න සොබාදහමේ රිද්මයට තම ජීවිතය හසුරුවන මෙම සත්ත්වයන් මෙසේ ලෑස්‌ති වන්නේ, තමාගේ පැටවුන් ආරක්‍ෂා කරගැනීම සඳහා කූඩුවක්‌ තනන්නයි. නැතිනම් බිත්තර දමන්න, ආරක්‍ෂිත ස්‌ථානයක්‌ සකස්‌ කරගන්නේ, එය කෙතරම් ප්‍රාථමික ක්‍රියාවලියක්‌ වුවත්, තම වර්ගයන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ගනු ලබන උත්සාහයකි.

ගෙවල්

මිනිසුන් වන අපද ආරක්‍ෂිත ස්‌ථානයන් පිළියෙල කරගන්නවා. අපි එය පැල්පත, නිවස, ගෘහය, මන්දිරය, ප්‍රාසාදය සහ මාලිගාව වශයෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ වටිනාකම්වලින් පිළියෙල කර ගන්නවා. මිනිසා නිවසක්‌ සාදා ගන්නේ, සතුන්ට වඩා පුළුල් පරමාර්ථයක්‌ සහිතවයි. විශ්වකර්ම, තන්ත්‍ර තුළින් මුලින් පැහැදිලි කර දුන් අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසා ගෘහය නිර්මාණය කරනු ලබනවා. එහිදී පෙන්වා දී ඇති පළමු ක්‍රියාව ලෙස යෙදී ඇත්තේ “ශ්‍රීමත් දරුමුණුබුරන් ආදී…. ලෙස පෙන්වා දී ඇත්තේ, අපගේ පරම්පරාව යාවත්කාලීන කර ගැනීම සඳහා දරුවන් ඇතිදැඩි කිරීම සඳහා ගෘහය අත්‍යවශ්‍ය කාරණයක්‌ බවයි. නිවසක්‌ නැත්නම් පවුලක්‌ පිළිබඳව අපට කතා කිරීමට පවා නොහැකි බවද ඔබ දන්නා කාරණයකි. අපගේ සියලු පරමාර්ථයන් ඉෂ්ට සිද්ධ වෙන්න, නිවස පදනම් කොටගෙනයි.

පිරිසිදු වාස්‌තු ශිල්පයේ සඳහන් වී නොමැති මිථ්‍යා මත රාශියක්‌ නූතනයේ සමාජය තුළ හොල්මන් කරන බව නොකියාම බැරියි. වාස්‌තු විද්‍යාවේ ලේබලයෙන් දැවටී එන එම මිථ්‍යා මත සමාජය වෙත පතුරන්නේ, වාස්‌තු ශිල්පයේ සුළඟවත් වැදී නැති වාස්‌තු “පිළිල” විසිනි. එවැනි ප්‍රසිද්ධ මිථ්‍යා මතයක යථාර්ථය ඔබට පෙන්වා දෙන්නම්.

ගෙවල් සෑදීම හා ගැබිනි සමය

කාන්තාවන් ගැබ්ගත් පසුව ගෙවල් සෑදීම සඳහා ආරම්භ කිරීම ඉතාමත් දොෂ සහගත බව අද සමාජයේ තදින් පැතිරවෙමින් තිබෙනවා. එය ඉතාමත් වැරැදි සහගත මිථ්‍යා මතයක්‌ බව පළමුව ඔබට ප්‍රකාශ කරමි. වාස්‌තු විද්‍යාවේ කිසිම තැනක එවන් අදහසක්‌ ඉදිරිපත් කරලා නැහැ. මෙය හුදෙක්‌ “ගෙවල් බලන්නන්” විසින් පතුරුවා හැර ඇති මිථ්‍යා මතයක්‌ බව ඔබ මතක තබා ගත යුතුයි. කුරුල්ලන් කූඩු සාදන්නේ කිරිල්ලියන් බිත්තර දාන්න ලෑස්‌තිවෙන කාලය තුළයි. අනෙකුත් සතුන්ද තමන්ගේ නිවහන සකස්‌ කර ගන්නේ, තමන්ගේ පැටව් ඉපදෙන කාලය තුළයි. මිනිසාටද එම නියාම ධර්මය පොදු විය නොහැකිද?

ගෙවල්

එසේ නම්, දරුවකු ලැබීමට සිටින විට ගෙවල් සෑදීම ආරම්භ කිරීම තුළ කිසිම වාස්‌තු දොෂයක්‌ හට නොගන්නා බව කිව යුතුයි. එසේ වුවද දරුවකු ලැබීමට සිටින විටක තමන් නිවසක්‌ සෑදීමට යැමේදී ඒ සඳහා නොවන අවස්‌ථා කිහිපයක්‌ පෙන්වා දීමට පුළුවන්. එනම් දැනට ඔබ පදිංචි වී සිටින නිවාස සෑදීම නොකළ යුතුයි. විශේෂයෙන් මවගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ඇයගේ ආරක්‍ෂාවට එය අවදානමක්‌ විය හැකි බැවිනි. එසේ නොමැතිව මව සිටින ස්‌ථානය සහ තමන් නිවස සාදන ස්‌ථානය දෙකක්‌ නම්, තමන්ට එම සෑදීම කිසිම දොෂ සහගත තත්ත්වයක්‌ නොවේ.

විශේෂයෙන් ගෙවල් සෑදීමේදී මව කෙරෙහි අවධානය යොමු නොවීමද එක්‌ හේතුවක්‌ ලෙස පෙන්වා දිය හැකියි. එසේ වුවද ඔබට එම ගැටලු ප්‍රායෝගිකව විසඳා ගත හැකි නම් ඔබ සැලසුම් කළ පරිදි ඔබගේ ගෘහයේ කටයුතු කරගෙන යැම දොෂ සහගත නොවේ. එසේ වී නම් මීට පරම්පරාවන් කිහිපයකට පෙර අපේ ආච්චිලා සීයලාට දරුවන් 10-12 සිටියා. ඔවුනට කිසිදාක නිවසක්‌ සෑදීමට හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ. ඔබට මෙහිදී කීමට උත්සාහ කළේ මවගේ ආරක්‍ෂාව යන අවධානය සහතික කළ හැකිනම් ගෙවල් සෑදීම දොෂ සහගත නොවන බවයි.

වාස්‌තු රීතින්

එසේම ඔබ දරුවකු ලැබීමට සිටින කාලයේදී ඔබගේ නව නිවස සැලසුම් කරන්නේ නම්, පහත සඳහන් වාස්‌තු රීතින් අනුව නිවස සැලසුම් කිරීමට වග බලා ගන්න.

  • නිවසේ ගෘහ පිණ්‌ඩය පරම මෛත්‍රී හෝ මෛත්‍රී නැකැත්වලට බල ගන්වා ගන්න.
  • නිවසේ ද්වාර සටහන සුමුඛ නැමැති යහපත් ද්වාර සටහන එක්‌ කරගන්න.
ගෙවල්
  • ඊශාන හා නිරිත දිශාවන්වලට කාමර එකතු කර ගන්න කිසිම විටෙක නිරිත දිශාව හිස්‌ නොකරන්න.
  • නිවසේ බ්‍රහ්ම පාදය නිවසේ පහත කොටසකට යෙදෙන ලෙස සැලසුම් නොකළ යුතුය.
  • නිවසේ ඉදිරිපිට සියඹලා ගස්‌, අඹගස්‌, මඩු ගස්‌, නොසිටවිය යුතුයි.
  • ඊශාන දිශාවේ කොහොඹ පැළයක්‌ ද නිරිත දිශාවේ බෙලි පැළයක්‌ ද සිටුවා නිවස ශක්‌තිමත් කරගන්න.
  • ගිනිකොණ දිශාවේ කුරුල්ලන්ට කෑම තබන්න.

ඉහතින් පෙන්වා දුන් පරිදි ඔබගේ නිවස සැලසුම් කිරීම ඔබගේ ගැබිනි කාලයේදී සිදුකරන්නේ නම්, ඉතා යහපත් බවද පෙන්වා දෙමි. කෙසේ වුවද වාස්‌තු දොෂ සහිතව ඔබ කුමන කාලයක ඔබගේ ගෘහය නිර්මාණය කළත්, ඔබට එහි අයහපත් ප්‍රතිඵල භුක්‌ති විඳීමට සිදුවේ. ඔබ වාස්‌තු සිද්ධාන්තවලට අනුකූලව නිවස සාදන්නේ නම් කුමන කාලයක එය තැනුවද ඔබට යහපතක්‌ම වනු ඇත.

ඔබ මවක්‌ වීමේ වාසනා ගුණය තුළ ඔබගේ සිsහින නිවහනේ සිහිනය බොඳකර ගන්නට ඔබ සිතා සිටියානම්, එහි සැබෑ තතු වටහා ගන්න. ඔබ සතුටින් නිවසේ වැඩකටයුතු සුබ මුහුර්තියෙන් ආරම්භ කරන්න. මවගේ කුස තුළ වැඩෙන කළලය දසමසකින් මෝරා සිඟිති පුතෙකු මෙලොවට එළිය දකින ලෙස ඔබගේ සිහින නිවහනේ උත්පත්තියද පෙර මඟ ලකුණු සුබ බව සිතන්න.

We found this article from Divaina on 2013/11/03.