ජනප්‍රිය පාසලකට ගිය පමණින් ඔබේ දරුවා උගතකු වේද!

0
567
පාසලකට
පාසලකට

[ratings]

මගේ දරුවා උගතකු කරමි යන උසස්‌ සිතුවිල්ල හැම දෙමාපියන් තුළම ඇත. ඒ සඳහා ඔවුහු විශාල වියදමක්‌ දරා මහත් වෙහෙසක්‌ ගනිති. එහෙත් හැම දෙනාගේම මෙම යහපත් සිතුවිල්ල ඒ අයුරින්ම ඉටු වේද?

දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්‍ෂා කරන බොහෝ දෙමව්පියන් විමසා සිටින්නේ මගේ දරුවාට උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබිය හැකිද? යන්නය. දරුවා උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා සමාජයේ ඉහළ තැනකට පත් වුවහොත් දෙමව්පියන්ට ඒ හැර වෙනත් වාසනාවක්‌ නොමැත. හැම දෙමව්පියෝම ඒ බව දනිති. ඒ නිසාම තම දරුවාට අත් පොත් තබා අකුරු කිය වූ මොහොතේ සිටම දරුවාගේ අධ්‍යාපනය ගැන මව්පියෝ සැලකිලිමත් වෙති.

දරුවා උසස්‌ පාසලකට යවා අධ්‍යාපනය ලබාදීමට සමහරු ලක්‍ෂ ගණන් මුදල් වියදම් කරති. දරුවා පළමුවෙන් පාසලට ඇතුළත් කිරීමේදී බොරු ලියවිලි සාදා ගනිති. පාසලට ඇතුළත් වූ දිනයේ සිටම පෞද්ගලික පන්තිවලට යවා අධ්‍යාපනය ලබා දීමට දහස්‌ ගණන් මුදල් වැය කරති. එහෙත් මේ සියලුම දරුවන්ට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාගත හැකිවේද? නගරයේ උසස්‌ පාසලක දරුවකුට සියලුම පහසුකම් තිබියදීත් උගතකු වීමට නොහැකි වූ අවස්‌ථා ඇත. එහෙත් පහසුකම් නොමැති පිටිසරබද පාසලක ඉගෙනගත් දුප්පත් දරුවකු උගතකුවන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුය.

පෙර පින් බලයෙන් ග්‍රහ බල සහිතව උපන් දරුවාගේ දෙමාපියන් දුප්පත් වුවද ඔහුට ඉගෙනීමේ දක්‍ෂතා සහ වාසනාගුණය ඇති නිසා සියලුම බාධාවන් ජයගෙන උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබිය හැකි වෙයි. උපතේ දී බුධ ග්‍රහයා බලවත් වීම, බුධ බලවත් වී පස්‌වැන්නේ සිටීම, බුධ පස්‌වැන්න අධිපති ග්‍රහයා වීම යන කරුණු කුඩා අවධියේ දී දරුවකුට ඉගෙනීමේ අවස්‌ථා ඇති කරන ග්‍රහ පිහිටීම් කිහිපයකි. තවත් බොහෝ කරුණු ඇත. මින් කිහිපයක්‌ විස්‌තර කර දීම මෙම ලිපියේ අරමුණයි.

ජන්ම පත්‍රයේ තුන්වැන්නෙන් සහජ දක්‍ෂතා පිළිබඳවද, හතර වැන්නෙන් ළදරු අධ්‍යාපනය ගැනද, පස්‌ වැන්නෙන් ළමා අධ්‍යාපනය ගැනද, නවවැන්නෙන් උසස්‌ අධ්‍යාපනය ගැනද ප්‍රකාශ වේ. දස වැන්නෙන් ලබා ගත් අධ්‍යාපනය අනුව උසස්‌ රැකියා හිමිවේදැයි පරීක්‍ෂා කර බැලිය හැකිය. බුධ, ගුරු බලවත්ව එම ස්‌ථානවල සිටීම හෝ එම රාශිවල අධිපති බව දැරීම නිසා සහජ හැකියාවන්, උසස්‌ අධ්‍යාපනය, රැකියා කටයුතු සාර්ථක බවට පත්වේ.

එම ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටි හතර, පහ, නවය යන ස්‌ථානවලට යොමු වීමද උසස්‌ අධ්‍යාපනය ලැබීමට හේතු වේ. පුර සඳු, සිකුරු සහ කේතු යන ග්‍රහයන්ගේ බලපෑම් එකී ස්‌ථාන වලට යොමු වීම වැදගත්ය.

සමහර විට දරුවකුගේ ජන්ම පත්‍රයෙහි ඉගෙනීම පිළිබඳ ග්‍රහ පිහිටීම් යහපත් වුවද ඉගෙනීම ලබන කාලයේදී බලවත් මහා දශාවක්‌ ලබා නොතිබුණහොත් ඉගෙනීම සාර්ථක නොවීමට පුළුවන. බුධ, ගුරු බලවත් වූ ජන්ම පත්‍රයක එම ග්‍රහයන්ගේ මහා දශාවක්‌ ඉගෙනීම ලබන කාලයේදී ලැබූ විට අධ්‍යාපනය වඩා හොඳින් සාර්ථක වේ.

සෙනසුරු, රාහු යන ග්‍රහයන් දුර්වල වූ ජන්ම පත්‍රයක්‌ හිමි දරුවකුට ළමා කාලයේ එම ග්‍රහයන්ගේ මහා දශාවක්‌ ලැබූ විට අධ්‍යාපනය කෙරෙහි උනන්දුව අඩුවිය හැකිය. යහපත් පාසලක්‌, දක්‍ෂ ගුරුවරුන්, උනන්දුව ඇති දෙමව්පියන් මෙන්ම ජන්ම පත්‍රයේ ග්‍රහ බලපෑමද දරුවා උගතකු කිරීමට අවශ්‍ය බව මින් පැහැදිලි වේ.

We found this article from Divaina on 2012/03/16.
Also Sinhala to English Google word to word translation can be found here