ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රය ගොවිතැනට යොදා ගත් අයුරු

1725
ගොවිතැනට
ගොවිතැනට

[ratings]

මිනිසා විසින් ගොවිතැන සිය ජීවනෝපාය වශයෙන් තෝරා ගැනීමත් සමගම මිනිස්‌ ශිෂ්ටාචාරයේ ආරම්භයද ඇතිවිය. එදා සිට මේ දක්‌වා මානව සමාජයෙහි ඇතිවී ඇති වෙනස්‌කම් ඉතා විශාල වුවත් ජීවනෝපායන ක්‍රමයක්‌ වශයෙන් වර්තමානයෙහි වුවද විශේෂ තැනක්‌ ගොවිතැනට හිමිවේ. ක්‍රම සම්පාදකයන් විසින්ද අපේ ආර්ථිකය නංවාලීම සඳහා කෘෂිකර්මයෙහි ඇති වැදගත්කම අවධාරණයෙන් පෙන්නා දී තිබේ. අපේ දළ දේශීය නිෂ්පාදනය සවිමත් කිරීම සඳහා ඉන් ලැබෙන පිටිවහල අනල්පය.

ජීවනෝපායන ක්‍රමයක්‌ හැටියට කෘෂිකර්මය යම්තාක්‌ කලක්‌ පැරණිද එය වැඩි දියුණු කිරීම සඳහා මිනිසා ගත් උත්සාහයද ඒ තරමටම පැරණිය. සෘග් වේදයේ ඇතැම් සූත්‍රවල මෙම විනය ගැන සඳහන් වන අතර අග්නි, මත්ස්‍ය සහ වරාහ පුරාණවලද අථර්ව වේදයේද කෞටිල්‍යගේ අර්ථ ශාස්‌ත්‍රයෙහිද පරාඔරගේ වෘක්‌ෂ ආයුර්වේදයේද ගොවිතැන ගැන කරුණු සඳහන් වී තිබේ. මේවායේ අඩංගු ඇතැම් කරුණූ ගැන සලකන විට නූතන විද්‍යාත්මක කෘෂිකර්මයට අයත් පස වර්ග කිරීම, ඒවාට සුදුසු භෝග වර්ග තෝරා ගැනීම ශෂ්‍ය මාරු කිරීම, වෘක්‌ෂ ලතාවල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි පෝර වර්ග තෝරා ගැනීම වැනි කරුණු අපේ මුතුන් මිත්තන්ද දැන සිටි බව අපට වටහා ගත හැකිය.

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය ගොවිතැන් කටයුතුවල ක්‍රමානුකූල දියුණුව සඳහා මුල් අවදියේ සිටම අපේ පැරණියන් ප්‍රයෝජනයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥයන් අතර බෙහෙවින් භාවිතා වන ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථයක්‌ වන මුහුර්ත චින්තාමණියෙහි පමණක්‌ වූවද ගොවිතැන් කටයුතු සඳහා දක්‌වා ඇති නක්‌ෂත්‍රයෝග සිය ගණනකි.

ගොවිතැන ආරම්භවන්නේ , ගොවිබිම, එළිපෙහෙලි කර ගැනීමෙනි. මේ සඳහා බෙරණ, අද, මා. සිත, සා,

අනුර උත්‍රපල්, උත්‍රසල සහ උත්‍රපුටුප නැකත් ශුභයයි දක්‌වා තිබේ. දින අතුරෙන් අඟහරුවාදා දිනය මෙවැනි කටයුතු සඳහා ඉතා සුදුසු බවත් බදාදා සහ බ්‍රහස්‌පතින්දා දිනයන් මධ්‍යස්‌ථ වශයෙන් ශුභ බවත් සඳහන්ය. සඳු දිනයද මේ සඳහා මධ්‍යස්‌ථ වශයෙන් ශුභ දිනයක්‌ ලෙස සලකනු ලබයි. සිකුරාදා දිනයක සිකුරුගේ රාශියක්‌ උදාව පවතිද්දී විසා අස්‌විද, රෙහෙන අනුර යන නැකතකින් සියලු ගොවිතැන් වැඩ ආරම්භ කිරීම ප්‍රශස්‌තය.

සී සෑම ගොවිතැන් කටයුතුවලට අදාළ වැදගත් කාර්යකි. වර්තමාන යාන්ත්‍රික කෘෂිකර්ම කාර්යන්හි වූවද, බිම් සකස්‌ කිරීම සඳහා සී සෑම අවශ්‍ය කාර්යයක්‌ව පවතී. මේ සඳහා සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා දින සුදුසු බව ජ්‍යෙතිෂ ශාස්‌ත්‍ර නියමයයි. අඟහරුවාදා සහ ඉරිදා දිනයන්හි සී සෑම ආරම්භ කිරීමෙන් ධනය වැනසෙන බව කියති. සා, රෙහෙන, මුවසිරස, මුල, පුනාවස, පුෂ, සුවණ. හත යන නැකත් සී සෑම ආරම්භ කිරීම සඳහා සුදුසුය. ලග්න වශයෙන් වෘෂභ, මිථුන කටක, මීන සහ මකර යන ලග්න මේ සඳහා යෝග්‍යය. සෙසු ලග්න අතරෙන් වෘශ්චික ලග්නය හැර සෙසු ඒවා මධ්‍යස්‌ථ වශයෙන් යෝග්‍ය වේ. යොදාගත් ලග්නයෙහි සිව්වැනි සහ දසවැනි භාවයන්හි රවි හෝ සඳු නොසිටිය යුතුය. සිකුරු සහ සඳු පූර්ණ බලයෙන් යුක්‌ත වීමද ශනි, කුජ හා රවි දුර්වල වීමද ගුරු සුභ ස්‌ථානයක සිටීමද මේ සඳහා ඉතා සුදුසු ග්‍රහ පිහිටීම්ය. ගුරු ලග්නගතවද සිකුරු බලයෙන් යුක්‌තවද, අශුභ ග්‍රහයන් දුර්වල වී සිටියදී සඳු පුවසල නැකතෙහි සිටී විට යෙදෙන මුහුර්තය සීසෑම සඳහා ඉතාමත්ම සුදුසුය.

ධාන්‍ය වැපිරීම සඳහා, සුවණ, සියාවස, පුනාවස, විසා යන නැකත් හැර සෙසු නැකැත් සුqදුසු බව පරාශර මතයයි. වෙනත් මතයක්‌ නම් රෙහෙන, පුෂ, මා, උතුරුපල්, හත, සා, විසා, අනුර, මුල, උත්තරසල, සුවන, සියාවස උත්‍රපුටුප සහ රේවතී යන නැකත් ශුභ බවත්, පුනාවස මුවසිරස, දෙනට සහ අස්‌විද නැකත් මධ්‍ය වශයෙන් ශුභ බවත්ය. මේ අනුව, ධාන්‍ය වැපිරීම සඳහා කැති, අද, බෙරණ, දෙට, අස්‌ලිස, පුවපල්, පුවසල, පුවපුටුප, සත යන නැකත් අයෝග්‍ය යයි සැලකිය යුතුය.

වැපිරීම සඳහා අඟහරුවාදා දිනය කිසිසේත් ශුභ නැත. ඉරිදා සහ සෙනසුරාදා දින ද ශුභ නැත. වෙනත් මතයක්‌ නම් බදාදා සහ සෙනසුරාදා දින හැර සෙසු දින මේ සඳහා ශුභ බවයි. තිථි අතරින් ශටවක, දසවක සහ පෑලවිය මධ්‍යස්‌ථ වශයෙන් ශුභ යයි සැලකේ. ජලවක, නවවක හා තුදුස්‌වකත්, දියවක, සතවක හා දොළොස්‌වකත් මේ සඳහා ශුභ නැත. අනෙකුත් තිථි මේ සඳහා යෝග්‍ය බව සහ බාලව කරණ යෙදුනු දිනයන් වැපිරීම සඳහා ඉතා සුදුසුය. කෞලව සහ වානිජකරණ යෙදෙන දිනයන් ධාන්‍ය වැපිරීමේ කටයුතු සඳහා සුදුසු නැති බව ජ්‍යෙතිෂ මතයයි. ධාන්‍ය වැපිරීම සඳහා කටක, සිංහ, වෘෂභ, මකර සහ මීන ලග්න සුදුසුය. කුම්භ, තුලා සහ මිථුන ලග්න මධ්‍යස්‌ථ වශයෙන් යෝග්‍ය වේ. අනෙකුත් ලග්න අශුභයි.

අස්‌වැන්න කපා ගැනීම සඳහා කැති, අද, අස්‌ලිස, උත්‍රපල, සා, දෙට, උතුරුසල, සියාවස සහ රේවතී යන නැකත්වල පළමු වැනි සහ සිව්වැනි පාද සුදුසුය. විසා, මා, බෙරණ, සුවණ යන නැකත්වල සිව්වන පාදය ද මේ සඳහා යෝග්‍යයි. රෙහෙන, අද, මා, හත, විසා සුවණ, මුවසිරස, පුවපල්, උත්තරපල්, බෙරණ, අනුර, උතුරුසල සහ රේවතී යන නැකත් ද ශෂ්‍ය වර්ග කපා ගැනීම සඳහා යෝග්‍ය වේ. සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි දියවක, තියවක, විශේනිය, ශටවක, සතවක, දසවක, එකළොස්‌වක, දොළොස්‌වක, තෙලෙස්‌වක සහ පසළොස්‌වක යන තිථිද අස්‌වනු කපා ගැනීම සඳහා යෝග්‍ය වේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here