ත්‍රිශාංශකයෙන් හෙළිවන වනිතා චරිත

2034
ත්‍රිශාංශකයෙන්
ත්‍රිශාංශකයෙන්

අප ලග්නයන් ලෙස භාවිත කරනු ලබන රාශි 12 කි. මෙම රාශියක්‌ සියුම්ව කොටස්‌ 30 කට බෙදා එන එක කොටසක්‌ ත්‍රිශාංශකයක්‌ ලෙස හඳුන්වයි. මේ අනුව අපගේ සම්පූර්ණ රාශි චක්‍රය ත්‍රිශාංශක 360 කින් සමන්විතය. මේ අනුව ත්‍රිශාංශකයක්‌ එක අංශකයකට සමාන වේ. ශුක්‍ෂම පලාපල කථනයේ දී මෙම කුඩා ඒකකය බොහෝම ප්‍රයෝජනවත් වේ.

ජන්මියකුගේ උත්පත්ති බලය අනුව ත්‍රිශාංශක පිහිටන්නේ මේ ආකාරයටය. මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ (පුරුෂ) රාශියක උත්පත්තිය ලැබූ විට ඔහුගේ හෝ ඇයගේ පළමුවැනි ත්‍රිශාංශක 05 කුජ වේ. දෙවැනි ත්‍රිශාංශක 05 ශනි වේ. තෙවැනි ත්‍රිශාංශක 08 ගුරු වේ. හතරවැනි ත්‍රිශාංශක 07 බුධ වේ. පස්‌වැනි ත්‍රිශාංශක 05 ශුක්‍ර වේ. වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන (ස්‌ත්‍රී) රාශියක උත්පත්තිය ලැබූ ජන්මියාගේ මුල් ත්‍රිශාංශක 05 ශුක්‍ර වේ. දෙවැනි ත්‍රිශාංශක 07 බුධ වේ. තෙවැනි ත්‍රිශාංශක 08 ගුරු වේ. හතරවැනි ත්‍රිශාංශක 05 ශනි වේ. පස්‌වැනි ත්‍රිශාංශක 05 කුජ වේ.

1. කිසියම් වනිතාවක්‌ උත්පත්තියේ දී මේෂ හෝ වෘශ්චික ලග්නයෙන් ජන්මය ලබා හෝ සිතුවිලි සඳහා බලපාන සඳු මෙම රාශිගතව පිහිටා කුජ ත්‍රිශාංශකයක්‌ හිමි වී ඇත්නම් ඇය නපුරුකම් කරන තැනැත්තියකි. එමෙන්ම මෙම ජන්ම ලාභය ලැබූ වනිතාවට ශනි ත්‍රිශාංශකය හිමි විණි නම් ඇය දාසියක්‌ ලෙස කටයුතු කරන ගෘහ කටයුතු මැනවින් දත් කාන්තාවක්‌ වන්නීය. ගුරු ත්‍රිශාංශකය හිමි වී නම් ඕ තොමෝ ඉතාමත් ගුණ යහපත් දෙමාපිය දූ දරුවන්ට ස්‌වාමියාට මැනවින් ගරු කරන ඇසුරු කරන්නන්ට සෞභාග්‍යය කැඳවන කාන්තා රත්නයකි. බුධ ත්‍රිශාංශකය හිමි විණි නම් ඇය උපායශීලී මායාකාරියකි. ශුක්‍ර ත්‍රිශාංශකය හිමිවිණි නම් ඇය ලැඡ්ජා බය නැතිව කාමයට ඇලුම් කර අවනම්බු විඳින්නියකි.

2. උත්පත්තියේ දී තුලා, වෘෂභ ලග්නගතව සඳුද ඉහත රාශියක වී කුජගේ ත්‍රිශාංශකය හිමිවන වනිතාව කළගුණ නොසලකන කාමයට ඇලුම් කර වර්ගය නසා ගන්නියක්‌ වේ. ශනි ත්‍රිශාංශකය හිමි වී නම් ඇයගේ පළමු විවාහය අසාර්ථක කරගෙන දෙවැනි විවාහයකට යන්නීය. ගුරු ත්‍රිශාංශකය හිමි වී නම් ඇය ගුණ යහපත්කමින් හෙබි ස්‌වාමියාගේ ගෞරවය රකින කුලවන්තියක්‌ වේ. බුධ ත්‍රිශාංශකය හිමි මෙම ග්‍රහ පිහිටීම සහිත කත තීක්‍ෂණ නුවණකින් යුතුව දූරදර්ශීව කටයුතු කරන්නියක්‌ වේ. එසේම ශුක්‍ර ත්‍රිශාංශකය හිමි වී නම් ඇය රුව ගුණ දෙකම නොඅඩුව පිහිටා ඇති ප්‍රසිද්ධ කාන්තා රත්නයක්‌ වන්නීය.

3. ලග්නයත්, චන්ද්‍රයත් මිථුන කන්‍යා දෙකින් එකක ජන්ම වාසනාව ලද වනිතාවගේ ත්‍රිශාංශකය කුජ වුවහොත් ඇය කපටි ස්‌ත්‍රියක්‌ වන්නීය. ශනි ත්‍රිශාංශකය වී නම් ඇය ගැහැනු පිරිමි (නපුංසක) ගතිගුණ ඇති කතකි. ගුරු ත්‍රිශාංශකය හිමි වී නම් ඒ තොමෝ ඉතාමත් ගුණ යහපත් වනිතා රත්නයකි. බුධ ත්‍රිශාංශකය හිමි වී නම් ඇය බොහෝ ඇසූ පිරූ තැන් ඇති දැනුම ආභරණයක්‌ කරගත් වාසනාවන්ත ළඳකි. ශුක්‍ර ත්‍රිශාංශකය හිමි වී නම් ඇය කිසිවිට කිසි දෙයකින් සෑහීමකට පත් නොවන කාම පීඩිත ස්‌ත්‍රියක්‌ වේ.

4. කටක ලග්නයෙන් ජන්මය ලබා කටකයේ සඳු පිහිටා කුජ ත්‍රිශාංශකය හිමිවන්නිය ගණිකාවක්‌ වේ. ශනි ත්‍රිශාංශකය හිමි වන ඇය තම ස්‌වාමියා නසන්නියකි. ගුරු ත්‍රිශාංශකය ලබන ඕ තොමෝ ගුණ යහපත්කමින්, වත් පොහොසත්කමින් ඉහළට යන වාසනාවන්තියක්‌ වේ. බුධ ත්‍රිශාංශකය හිමිවන ඇය විවිධ ශිල්ප දත් දුටු දුටු දෙය කිරීමේ විශේෂ හැකියාවකින් යුතු වනිතාවක්‌ වන්නීය. ශුක්‍ර ත්‍රිශාංශකය හිමි වී ඇත්නම් නොහොබිනා ක්‍රියාවන්හි නිරත වී තමන්ටත් අනුන්ටත් අයහපත ගෙන දෙන්නියක්‌ විය හැකිය.

5 සිංහ ලග්නයේ හෝ සඳු සිංහයෙන් ජන්මය ලබා ඇති වනිතාවට කුජ ත්‍රිශාංශකය හිමිවී ඇත්නම් ඇය පුරුෂ වීර්යය ඇති ස්‌ත්‍රියකි. ශනි ත්‍රිශාංශකය හිමි වී නම් ඇය ගුණ යහපත් උතුම් වනිතා රත්නයක්‌ වන්නීය. ගුරු ත්‍රිශාංශකය හිමිවී ඇත්නම් ඇයට පමණක්‌ නොව ඇගේ වර්ගයාටද යන යන තැන නම්බු නාම ලැබෙන රැජිනක්‌ වන්නීය. බුධ ත්‍රිශාංශකය පිහිටිය විට ඇය ඊර්ෂ්‍යා සහගත කළගුණ නොසලකන නපුරුකම් කරන ස්‌ත්‍රියක්‌ වන්නීය. මෙම පිහිටීම සහිතව ශුක්‍ර ත්‍රිශාංශකය හිමිවන ස්‌ත්‍රිය ඥති සබඳතා කිසිවක්‌ නොසලකමින් කාමයෙහි වරදවා හැසිරෙන්නියක්‌ වන්නීය.

6 ලග්නයත්, චන්ද්‍රයාත් ධනු මීන දෙකින් එකක උත්පත්තියේදී පිහිටා කුජ ත්‍රිශාංශකය ලබා ඇති ස්‌ත්‍රිය ගුණ යහපත්කම ආභරණයක්‌ ලෙස සලකන ගුණවන්තියකි. ශනි ත්‍රිශාංශකය හිමි වී ඇත්නම් දුරදිග නොබලා කටයුතු කරනු ලබන මෝඩ ස්‌ත්‍රියකි. ගුරු ත්‍රිශාංශකය හිමිවී ඇති ඇය ධනයෙන් ගුණයෙන් පොහොසත් වන කතක්‌ වන්නීය. බුධ ත්‍රිශාංශකය හිමිවී ඇති විට දැනුම සහ සුබවාදී අකාල්පවලින් පරිපූර්ණ වූ කාන්තාවක්‌ වන්නීය. ශුක්‍ර ත්‍රිශාංශකය හිමිව ඇති ඇය යහපත් ශෝභමාන ස්‌ත්‍රියක්‌ වුවත් අයහපත් කල්ක්‍රියා හේතුවෙන් අවමානයට පත්වන්නියකි.

7 මකර, කුම්භ දෙකින් එකක ලග්නය හෝ චන්ද්‍රයා සිටියදී උපන් වනිතාවට කුජ ත්‍රිශාංශකය හිමි වී ඇත්නම් ඇය දාසියක සේ තමා ජීවත් වන නිවසට, සමාජයට, ආයතනයට, රටට සේවය කරන්නීය. ශනි ත්‍රිශාංශකය හිමි වී ඇත්නම් ඇය තම දෙමාපියන්, ස්‌වාමියා, දරුවන්ද, සමාජයද අපකීර්තියට පත්කරන අන්දමේ අයහපත් ගති පැවතුම් ඇත්තියක්‌ වන්නීය. ගුරු ත්‍රිශාංශකය හිමිවී ඇත්නම් ඇය යන එන තැන රට රාජ්‍යයන්ගේ කීර්තියෙන් කීර්තියට පත්වන වනිතා රත්නයක්‌ වන්නීය. බුධ ත්‍රිශාංශකය හිමි වී ඇත්නම් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් නිතර පෙළෙන නපුරුකම් කරන්නියක වේ. ශුක්‍ර ත්‍රිශාංශකය හිමි වී ඇති ඇයට දරු සුරතල් බැලීමේ භාග්‍ය බොහෝ දුරට අඩුවිය හැකිය.

ඉහත ත්‍රිශාංශකය අනුව පලාපල කථනයේ දී මෙම සාධක පොදුවේ පරිහරණය කළ හැකිය. එහෙත් මෙම ත්‍රිශාංශකය පරම සහ එකම සාධකය නොවේ. විශේෂයෙන් ජන්මියාගේ පෙර පින් මෙහිදී විශේෂ සැලකිල්ලට ගත යුතුය. ලග්නයෙන් නවවැනි ස්‌ථානීය කොටුව හෙවත් නවවැනි භාවය නවය අධිපති ග්‍රහයා උත්පත්තියේ දී නවවැනි භාවයේ තැන්පත් ග්‍රහයෝ සහ නවවැනි භාවයට වැටී ඇති ග්‍රහ දෘෂ්ඨ§ ආදිය ගැන සෙවිය යුතුය. එමෙන්ම අධ්‍යාපන තත්ත්වයට බලපාන ලග්නයෙන් පස්‌වැනි භාවයේ තත්ත්වයන්ද බාහිර පාර්ශ්ව සමග සම්බන්ධතා පෙන්වන හත්වැනි භාවයද සැලකිල්ලට ගත යුතුය.

කේන්ද්‍ර සටහනකින් පෙන්වනු ලබන්නේ ජන්මියකුගේ සංසාර ගමනේ කරන ලද පින් සහ පව් අනුව මෙම භවයේ නැවතීමට ලැබී ඇති අම්බලමේ චිත්‍රයයි. මෙම චිත්‍රය මේ ආකාරයෙන්ම තබා ගන්නැයි ජන්මියකුට කිසිවෙකුත් බල නොකරයි. තමන්ගේ තත්ත්වය සොයා බලා එය වෙනස්‌ කර ගැනීමේ හැකියාව සෑම ජන්මියකුටම ඇත. අපගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට කිsසිවෙක්‌ උපතින් වසලයකු නොවේ. තමන් කරන කියන කටයුතු අනුව වසලයකු වේ. මෙම චිත්‍ර සටහන අනුව ජන්මියකු වසල ක්‍රියා කරන බව පෙනේ නම් ඒ බව හොඳින් වටහාගෙන ඉන් ඈත්වීමට ජන්මියාට හැකිය. උත්පත්තිය් දී ජන්ම සටහන් පතක්‌ සෑදීමේ ප්‍රධාන අරමුණ විය යුත්තේ ජන්මියාගේ සසර ගමනේ ඇති බාධක හඳුනාගෙන ඒවාට නිවැරැදිව නොබියව මුහුණදී දැහැමි ජීවිතයක්‌ ගතකර මෙම භවය වගේම සංසාර ගමනේ ඊළඟ භවයන්ද සුවපත් කරගැනීමට හැකි මඟ පෙන්නා දීමය. හොඳ ජ්‍යෙdතිෂ්‍යවේදියකු ගෙන් විය යුත්තේද එයම වේ.

We found this article from Divaina on 2012/08/17.
Also Sinhala to English Google word to word translation can be found here