සිහිබුද්ධිය, ව්‍යාපාරික දක්‌ෂතා හෙළිකරන බුධ මණ්‌ඩලය

1410
බුධ මණ්‌ඩලය
බුධ මණ්‌ඩලය

සුළැඟිල්ල නමින් අපි හඳුන්වනු ලබන ඇඟිල්ල බුධ මණ්‌ඩලය ට අයිති වේ. බුධ ඇඟිල්ල කියන්නෙත් මෙම ඇඟිල්ලටමයි. එම ඇඟිල්ලට පහළින් උස්‌ව ඇති ගොඩැලි ප්‍රදේශය බුධ මණ්‌ඩලය නමින් හැඳින්වෙයි. අද අපි විස්‌තර කරන්නේ එම බුධ මණ්‌ඩලය පිළිබඳවයි. බුධ ග්‍රහයාගෙන් නිකුත්වෙන තරංග ක්‍රියාකාරිත්වය ගබඩාකරන ස්‌ථානය ලෙස මෙයි දැක්‌විය හැකියි. යම් අයකුගේ සිහිබුද්ධිය, වාග් චාතුර්යය, ව්‍යාපාරික දක්‌ෂතා පිළිබඳව නිපුණත්වය එමගින් පෙන්නුම් කෙරේ.

බුධ මණ්‌ඩලය දුර්වලවීම

බුධ මණ්‌ඩලය මනාලෙස හොඳින් වැඩී ඇත්නම් බුධ ග්‍රහයාගෙන් ලැබෙන බලපෑම වැඩිය. බුධ මණ්‌ඩලය දුර්වලවීම බුධගේ බලපෑම අඩුවීමට හේතුවෙයි. හොඳින් වැඩී ඇති බුධ මණ්‌ඩලයට ලම්භාකාර රේඛාවකින් වැටී ඇත්නම් බුධ ග්‍රහයාගේ යහපත් ප්‍රතිඵල වඩාත් ප්‍රබල වේ. කෙනකුගේ උත්සාහය මත එම රේඛාව පෙනීමට හෝ නොපෙනීමට ඉඩ ඇත. මෙම ලක්‌ෂණය පැහැදිලිවම ඇත්නම් පුද්ගලයාට චතුර කථිකත්වයක්‌ ඇතිවෙයි. එමෙන්ම තීක්‍ෂණ බුද්ධියක්‌ මෙන්ම ව්‍යාපාරික අංශයෙන්ද සහජ දක්‌ෂතාවයක්‌ පෙන්නුම් කරයි. උසස්‌ නිර්මාණ ශක්‌තියෙන් පරිපූර්ණ ඔවුන් ඉතා වාසනාවන්තයෝ වෙති.

බුධ මණ්‌ඩලය දුර්වල නම් විසිරී ගිය ආකාර නම් කථිකත්වයෙන් දුර්වලය. ඔවුන් ගන්නා තීරණ ද යහපත් නොවේ. බුධ ඉතා සෙමින් ක්‍රියාත්මක වන ග්‍රහයෙක්‌ බැවින් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතා සෙමිනි. නමුත් යමෙකුගේ කුජ මණ්‌ඩලයද මනාලෙස පිහිටා කුජ ග්‍රහයාගේ බලයද හිමිවූයේ නම් බුධ ග්‍රහයාගේ මනා ක්‍රියාකාරිත්වයක්‌ ඇතිවිය හැක. ඥානය යොදා කරන සියලු කටයුතු සාර්ථක වේ. විශේෂයෙන් ලේඛන කලාව, කාව්‍යකරණය වැනි ක්‍ෂේත්‍රයන්හි දියුණුවට හේතුවෙයි. වෙළෙඳ ව්‍යාපාරවල දියුණුවක්‌ සැලසෙන අතර එම ස්‌ථානවල ඉහළ තනතුරු හිමිවීමටද හැකියාව ලැබෙයි.

බුධ මණ්‌ඩලය

බුධ ග්‍රහ බලපෑම වැඩි වීම

බුධ මණ්‌ඩලය උස්‌ව තිබෙනවිට එය උල් ඇඟිලි අතක්‌ වී නම් හෙතෙම චතුර ලෙස කතා කිරීමට දක්‌ෂයෙක්‌ වෙයි. ඇඟිලි අග හතරැස්‌ ආකාර නම් දක්‌ෂ විහිළුකාරයෙක්‌ හෝ තර්ක කාරයෙක්‌ වෙයි. ඇඟිලි අග ඝනව තරව තිබේ නම් ඔහු අදහස්‌ ගෙන හැර දක්‌වා කතාකිරීමේ දක්‌ෂයකු වෙයි. ක්‍ෂණයකින් යම්කිසි දෙයක්‌ අවබෝධකර ගැනීමේ ශක්‌තිය ඔවුන්ට ඇත. විශාල ජනතාවක්‌ ඉදිරියේ වුවද කතා කිරීමට ඔවුන්ට සබකෝලයක්‌ නැත. නිවැරදි දෙය කතා කිරීමට ඇති හැකියාව ඔවුනට ජන්මයෙන් ලද දායාදයක්‌ වෙයි. මේ නිසා බොහෝ අයගේ ප්‍රසාදයට ලක්‌වෙයි.

විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ක්‍ෂේත්‍ර කෙරෙහිද වැඩි ලැදියාවක්‌ දක්‌වති. උසස්‌ ගණිතඥයන් මේ තුළින් දැකිය හැක. මේ සියල්ලටම වඩා ඔවුහු දක්‌ෂ ව්‍යාපාරිකයෝය. බුධ මණ්‌ඩලය රවි හෝ ගුරු මණ්‌ඩලයක්‌ හා එක්‌ව පිහිටා ඇත්නම් උසස්‌ ජයග්‍රහණ කරා යොමුකරයි. බුධ මණ්‌ඩලය ප්‍රබලව ඇත්නම් වියපත් භාවයට පත්වුවද තාරුණ්‍ය බවක්‌ පෙන්නුම් කරයි. බුධ මණ්‌ඩලය ප්‍රමාණයට වඩා උසනම් හෙතෙම මේ අසත්‍යවාදීවූද, චණ්‌ඩවූද, අඥාන වූද, රැවටිලිකාරයෙක්‌ වෙයි. මෙම ස්‌ථානයේ බොහෝ රේඛාවන් ඇතිවී නම් එම පුද්ගලයා උසස්‌ අයෙක්‌ බව ප්‍රකට කරන අතර එම රේඛා හෘදය රේඛාව හා එක්‌වේ නම් ඔහු දුගී මගී යාචකාදීන්ට හැමවිමට සරණ වන පරිත්‍යාගශීලී අයෙක්‌ වෙයි. ඉහත ආකාර රේඛා යම් ස්‌ත්‍රියකගේ අතේ ඇත්නම් ඇය වාසනාවන්ත විවාහ ජීවිතයකට හිමිකම් කියන්නීය.

බුධ මණ්‌ඩලයේ පිහිටි රේඛා

යමකුට දුබල බුධ මණ්‌ඩලයක්‌ පිහිටියේ නම් එම අය අන්‍යයන් බොරුවෙන් රවටන්නකු මිස සැබෑ සත්‍යවාදියකු නොවේ. සූදු, ලොතරැයි ඔට්‌ටු ඇල්ලීම් වැනි ක්‍රීඩාවලට ඇලුම්කරන ඔවුහු එමගින් මුදල් නාස්‌තිකර ගනී. තම හැකියාවන් වංචාසහගත ක්‍රියාවන් සඳහා යොදා ගැනීමට ඔවුන් දක්‌ෂය. ගැටකපන්නන් ආදීන් වැටෙන්නේ මෙම දුර්වල බුධ මණ්‌ඩලයක්‌ ඇති අයගේ ගණයටය. කිසියම් නිගමනයකට එළඹීම පළමු මණ්‌ඩල හොඳින් පිහිටා තිබේද යන්න හොඳින් පරීක්‍ෂා කළ යුතුය. අත දෙස බලා ක්‍ෂණික තීරණ ගැනීම සුදුසු නොවන අතර සෘණාත්මක පිළිතුරක්‌ දීමට පළමු අත්දෙකම පරීක්‍ෂා කිරීම වැදගත් වේ.

බුධ මණ්‌ඩලය මත සිරස්‌ අතට ගිය රේඛාවක්‌ ඇත්නම් බලාපොරොත්තු නොවූ ධනයක්‌ හිමිවිය හැක. එම රේඛාව ගැඹුරින් පිහිටියේ නම් විද්‍යාත්මක පර්යේෂණ වලින් ප්‍රසිද්ධ වේ. රේඛා වැඩි ගණනක්‌ ඇත්තේ නම් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ ලැබෙයි. බොහෝවිට කාන්තාවන්ගේ අත්වල මෙම සලකුණ ඇත්නම් හෙදි වෘත්තිය රැකියාව වශයෙන් ලැබිය හැක. බුධ මණ්‌ඩලයේ පිහිටි කුඩා තිතකින් ව්‍යාපාර පිරිහීමක්‌ පෙන්නුම් කරන අතර තරු සලකුණකින් උකහා ගැනීමේ බුද්ධිය හා තියුණු මතකය පෙන්නුම් කෙරේ. එවැනි තරු සලකුණක්‌ දුබල බුධ මණ්‌ඩලයක්‌ තුළ පිහිටියහොත් අන්‍යයන් රැවටීමේ ප්‍රවණතාවයක්‌ ඇත. කවයක හැඩය සුබ නොවන අතර විෂ ශරීරගත වීමෙන් ඇතිවන අනතුරක්‌ එමගින් ප්‍රකට කරයි. චතුරශ්‍ර සලකුණකින් ආරක්‍ෂාකාරී බව හෙළිකරයි.

We found this article from Divaina on 2013/10/27.