දුක්‌ දුරු කරන ගස්‌ වැල්

2392
ගස්‌ වැල්

ගස්‌ වැල් සියලු ජීවීන්ගේ අවශ්‍යතාවකි. පසේ තෙතමනය ආරක්‍ෂා කිරීම, පිරිසිදු වාතය ලබාදීම, සෙවණ ලබාදීම එයින් සිදුවේ. දැව ලබා ගත හැකිවීම වෙනමම කාරණයකි. කොස්‌ ගස හා පොල් ගස වැනි ගස්‌වලින් ලැබෙන ප්‍රයෝජන අප්‍රමාණය. ගස්‌ වැල් වල සුබා සුබ ගුණ පුරාණ වාස්‌තුවිද්‍යා ග්‍රන්ථවල බොහෝ කරුණු සඳහන් වේ.

බෝසත්වරයකු බුද්ධත්වය ලබන්නේ ද ගසක්‌ යටදීමය. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම පූජාවට පාත්‍ර වූයේද ගසකි. ඒ ජය ශ්‍රී මහා බෝධිය නම් වූ ඇසතු ගසකි. මෙකල ලෝකයේ පවතින පැරැණිතම ගස ද ජය ශ්‍රී මහා බෝධිය බව සලකනු ලබන්නේ එම වෘක්‌ෂයේ ඉතිහාසය වසර 2500 දක්‌වා ලිතව පවතින නිසාය. බෝධි පූජාව ගසකට කරන පූජාවකි. පැරැන්නන් ගස්‌ කැපුවේද ආවාට ගියාට නොවේ. රුවන්වැලි සෑය සෑදීමට තෝරාගත් භූමියේ ගසක්‌ කැපීමට පෙර ඒ ගසේ අධිගෘහිතව සිටි රත්නමාලි නම් දෙවඟනට වෙනත් ගසකට යන්නැයි ආයාචනා කර තිබේ. ගස්‌ වැල් නැතිනම් කිසිම සත්වයකුගේ පැවැත්මක්‌ නැත.

පරිසරය නිර්මාණය කර ගන්නා අන්දම වාස්‌තු විද්‍යාවට අයත් වෙයි. ඒ යටතේ නිවාස තැනීම, ජලාශ තැනීම, ගෘහ භාණ්‌ඩ සෑදීම මෙන්ම ගස්‌වැල් රෝපණය කිරීම ගැනද කියෑවේ. පුරාණ වාස්‌තු විද්‍යා ග්‍රන්ථ වන “විශ්වකර්ම ප්‍රකාශය” පලදාවලිය ආදී ග්‍රන්ථවල සඳහන් වන්නේ ගෙවල් සෑදීමට පෙර ගස්‌ වැවීම කළ යුතු බවය. නගරයන් නිර්මාණය කරන විටද පළමුව රුක්‌ රෝපණය කර පසුව ගොඩනැඟිලි හා නිවාස ඉදිකළ යුතු බව කියා තිබේ.

සුබ හා අසුබ ගස් වැල්

එසේ වුවද සමහර ශාක වර්ග මිනිසාට හිතකර නමුදු අහිතකර ශාක වර්ගද නැතුවා නොවේ. ගස්‌වල සුබ අසුබත් ඒවා වෙන් කළ යුතු ආකාරයත් පුරාණ ග්‍රන්ථවල පැහැදිළිව දක්‌වා තිබේ. රතුමල් ගැන මෙම ලිපිය ආරම්භයේ දීම සඳහන් කරන ලදී. මේ පිළිබඳව පහත කවියේ කියා ඇත.

රතු මල් පිපෙන ගස්‌ දොරකඩ වැවුවොති නා

සැමකල් පැමිණේය රජ බිය නොසිතු මෙ නා

වියවුල් කටුගසින් ගව බිය කිරි ගසි නා

එ ඉඹුල් ගසින් ගෙය බිඳුමද කිවි සොරණා

මේ අනුව රතුමල් ගස්‌ මෙන්ම කටුගස්‌ද ඉඹුල් ගස්‌ද දොරකඩ වැවීම ඉතා අශුභ බව කියෑවේ. ගස්‌ වැවීම ගැන සෘෂිවරුන් පමණක්‌ නොව බුදු රජාණන් වහන්සේද වර්ණනා කළ සේක. යමෙකු පාරක්‌ අබියස ගස්‌ රෝපණය කර ළිඳක්‌ සෑදවීමෙන් දීර්ඝ කාලයක්‌ දෙව් ලොව සැප ලබන බවද සඳහන් වේ.

යමෙකු විසින් එක බෝ ගසක්‌ ද එක කොහොඹ ගසක්‌ද නැතහොත් නුග ගසක්‌ද සියඹලා ගස්‌ දහයක්‌ හෝ දිවුල් බෙලි නෙල්ලි ගස්‌ තුනක්‌ හෝ අඹගස්‌ පහක්‌ වැව්වේ නම් ඒ පුද්ගලයා අපාය නොදකින බව සෘෂිවරුන්ගේ මතයයි.

ගෙවත්තක පළමුවෙන්ම කොහොඹ, මූනමල්, දොඹ, මාර, පුවඟු, කොස්‌, කෙසෙල්, ජම්බු, දෙල්, දෙළුම්, මිදි යන ගස්‌ වර්ග සිටුවීම ඉතා සුබ බව කියා තිබේ.

එමෙන්ම ගෙවල් ඉදිරිපිට වැවීමට සුදුසු ගස්‌ වර්ග පිළිබඳව පුරාණ පළදාවලියේ එන මෙම කවිය විස්‌තර කරයි.

නෙළුම් සමන් මානෙල් සාදික්‌කා ද
දෙළුම් කෙසෙල් සහ සුවඳැති වැටකේ ද
වැවුම් කළ හොතින් ගෙමිදුලෙහි සිරි ලෙ ද
නොනිමි සිරි සැපත නිරෝගි බැව් ලබයි සොඳ
එමෙන්ම ඒ ඒ ගස්‌ වර්ග වැවිය යුතු දිනද කියා තිබේ.

මේ අනුව
නැගෙනහිරට නුග ගසද
දකුණට දිඹුල් ගසද
උතුරට බෙලි ගසද
බටහිරට ඇසටු ගසද
සුබ බව කියා ඇත.

එරබදු, වතුසුද්ද හා කතුරුමුරුංගා කොහොඹ ගස්‌ ඉදිරිපිටට අසුබය. මේ බව

එරබුදු වතු සුදු කතුරු කර ම්බා
එරඬුද එවරා තල කපු නිම් බා
පෙර දොර ගෙ අසල ඇති වුව පුම් බා
සුරරදු ගේ වත් ඉසුරු කලම් බා”

යනුවෙන් කියා ඇත.

පැළ සිටුවීමේ නැකැත්

මෙකල ගස්‌ වවන විට නැකත් බැලීමේ සිරිත අතුරුදන් වෙමින් පවතී. නැකතක්‌ යනුවෙන අදහස්‌ කරන්නේ හිරු සඳු ඇතුළු ග්‍රහ තාරකාවන් නියමිත ස්‌ථානයක පිහිටි වේලාව සොයා ගැනීමයි. දිවා රාත්‍රි පමණක්‌ නොව වර්ෂාව හා නියඟ ඇතිවන්නේද මෙම ග්‍රහ පිහිටීම් අනුවය. එබැවින් නැකත් අනුව කරන ලද වගා කටයුතුවලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නට පැරැන්නෝ සමත් වූහ. අපේ රට පෙර දින ධාන්‍යාගාරය වූයේ එබැවිනි. ඒ වෙනුවට මෙකල කෘමි නාශක හා වල් නාශක විෂ රසායන ද්‍රව්‍ය යොදාගනු ලැබේ. ජලය විෂ වීම ඇතුළු ගැටලු රාශියක්‌ ඇතිවීම එහි ප්‍රතිඵලය වී තිබේ.

ගස්‌ වැල්

ගස්‌වැල් වැවීමට නිර්දේශ කර ඇති පරිදි ගෙඩි ලබා ගැනීමට අපේක්‍ෂාවෙන් සිදුවන ගස්‌ බ්‍රහස්‌පතින්දා දිනවලද, අලංකාර පොතු සහිත ගස්‌ සෙනසුරාදා දිනවලද මල් හෝ කොල අවශ්‍ය ගස්‌ සඳුදා දිනවලද උසස්‌ තත්ත්වයේ දැව අපේක්‍ෂා කරන ගස්‌ බ්‍රහස්‌පතින්දා පැළ කිරීම ඉතා සුදුසුය. සිකුරාදා දිනවල සිකුරු හෝරාව මල් පැළ සිටුවීමට ප්‍රශස්‌තය. මුල් හා අල වර්ග සිටුවීම ඉරිදාට සුබය.

එමෙන්ම රෙහණ, අනුර, විසා, මුවසිරස, රේවතී, මුල, පුෂ, සුවණ, අස්‌විද යන නැකැත් රුක්‌ රෝපණයට ඉතා සුබ බව නිර්දේශ කර තිබේ.

පැළයක්‌ ගලවා වෙනත් ස්‌ථානයක රෝපණය කරන විට විශේෂ ක්‍රමවේදයක්‌ තිබේ. එනම් එම පැළයේ යුතු විහිදී ගිය දිශාවන් වෙනස්‌ නොකර සිටුවිය යතු බවය. නැගෙනහිර දිශාවට තිබූ අත්ත එම දිශාවටම සිටින සේ පැළය සිටුවීම අවශ්‍ය වේ.

පැළ සඳහා වතුර දමන විට වියළි ග්‍රීස්‌ම කාලයන් හිදී උදේ මෙන් සවසද වතුර දැමීම අවශ්‍ය වේ. ශීත කාලයකදී වතුර දැමීම දවල් කාලයේදී කළ යුතුය. වර්ෂා කාලයේදී වතුර දැමිය යුත්තේ පොළව වියළී ඇති අවස්‌ථාවල පමණි. එයින් පැළයේ වර්ධනය මනාව සිදුවේ.

දැඩි අව් රශ්මිය, ශීතල ආදී සෘතු විපර්යාසයන් නිසා ගස්‌වලද රෝග හටගනී. මෙහිදී වලඟසාල්, ගිතෙල්, හා මඩ සංයෝගකොට ආලේප කළ යුතුවේ. කොල්ලු, උඳු, මුං, තල, යව යන ද්‍රව්‍යයන් කිරි වලින් කකාරවා ගසට වත් කිරීමද ප්‍රතිකාරයකි. මෙවැනි ප්‍රතිකාර ක්‍රම රාශියක්‌ වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල “වෘක්‍ෂායුවේදය” නමින් දක්‌වා තිබේ. විෂ රසායන ද්‍රව්‍ය ඉසීමක්‌ කර නැත.

පිරිත් හා කෙම් ක්‍රම

කෘෂිකර්මය සඳහා භාවිත කළේ නැකත් පමණක්‌ නොවේ. පිරිත් හා කෙම් ක්‍රමද භාවිත කර තිබේ.

ගෙඩි නොසෑදෙන දෙහි, දොඩම්, නාරං ආදී ගස්‌වල අතුවල පොල් ලෙලි එල්ලීම කෙම් ක්‍රමයකි. පොල් ගසට සතුන්ගෙන් වන හානි වලට කඳේ නාග රූපය අඳිනු ලැබේ. හිසේ පොල්තෙල් ගා ගත් කෙනෙකු බුලත් කොටුවට ගියහොත් බුලත් දළු මැලවී විනාශ වී යයි. කැප්පෙටියා අතු සහ මඩු අතු කුඹුරේ සිටුවීමෙන් කෘමි උවදුරු නැතිවේ. නොපෑගුණ වැලි සබ්බ පාපස්‌ස” ගාථාවෙන් 108 වරක්‌ මතුරා කුඹුරට ඉසීමෙන් ද කෘමි උවදුරු නැතිවේ.

ගස්‌ වැල් සහ මල් වර්ග සෑම කල්හිම එක සමානව පළදරන්නේ නැත. දෙහි දොඩම්, අඹ, වී, රතුමල්, නෙළුම් ආදිය බහුල වන කාලයක්‌ ද හිඟ වන කාලයක්‌ද තිබේ. ඒ ග්‍රහ බලපෑම අනුවය. මෙම ගස්‌ වැල් බහුල වීම අනුව රටට උදාවන සුබාසුබද තීරණය කරන ක්‍රම වේදයක්‌ තිබේ. මේ අනුව

  • රතු නෙළුම් බහුල වීම රජුට හා රජයට සුබඵලදායක වෙයි
  • නිල් මානෙල් බහුල වීම ඇමැතිවරුන්ට සුබ ඵලදේ
  • ඇසල බහුලවීම ව්‍යාපාරිකයන්ට සුබවන අතර වෙළෙ¹ම් දියුණු වේ. තෙළිඳ බහුල වනවිට රටපුරා රෝග බියක්‌ පැතිරේ
  • ඉඹුල් බහුල වන්නේ යුද බියක්‌ ඇති විටය
  • රට සෞභාග්‍ය කරා ගමන් කරන බව කොහොඹ හා නා ගස්‌ බහුල වීමෙන් දැනගත හැකිය.
  • අඹ බහුල වන්නේ සියලු මිනිසුන්ට සැප සම්පත් උදාකරමිනි.

නිවස අවට ගස්‌ වවන විට සුබ ගස්‌ වුවද රෝපණය නොකළ යුතු දිශාද ඇත. නැගෙනහිර ඇසටු ගසද, දකුණට පුල්ලි ගසද, බටහිරට නුග සහ උතුරට අත්තික්‌කා ගසද යන ගස්‌ හතර පිහිටීම ඉතා අසුබය. එමෙන්ම ඇසල, කොහොඹ, අඹ, කෙසෙල් යන ගස්‌ හතරද ඉහත දිසා හතරේ පිහිටීම ඉතා අශුබ බව “විශ්ව කර්ම ප්‍රකාශයේ” දක්‌වා තිබේ. එමෙන්ම නැගෙනහිරට ගෙඩි ඇති ගස්‌ද, දකුණට කිරි ගස්‌ද, බටහිරට ජලජ පැළෑටිද, සතුරු බිය ඇති කරන බව කියා තිබේ.

අශුභ ඵලදායක ගස්‌ වැල්

ඉහත දක්‌වා ඇති අශුභ ඵලදායක ගස්‌ ඇතිවිට වසර හයකින් ගෙහිමියා මියයන බවත්, අවුරුදු නවයකින්, නිවසේ ශ්‍රියාව නැතිවන බවත් අටවන වර්ෂයේ සියල්ල නැතිවන බවත් කියා තිබේ. මෙම වෘක්‍ෂ වෙනත් දිශාවල සිටුවිය හැකිය.

මෙකල පිට රටවලින් ගෙන්වන ලදුව පරිසරය විනාශ කරන ගස්‌ වැල් වර්ගද පැතිර යමින් පවතී වැලන්ටයින් නම් ශාකය එවැනි ශාකයකි. එය කපා දැම්මද පොළව යමින් ගොස්‌ වෙනත් තැනකින් ලියලා වැඩේ. ඉපිල් ඉපිල් ආදී බොහෝ ආනයනික හාකවලින් වන්නේ පරිසරය විනාශ වීමයි.

යහපත් ගස්‌ වර්ග වැවීමෙන් සියලු මිනිසුන්ට සෙවණද, නිසිකලට වර්ෂාවද, පොළවේ තෙතමනයද, කුසට ආහාරද, කුරුල්ලන් ආදී අන් සතුන්ට පවා ආහාරද ලබාදී වුවමනා දැව වර්ගද ලබාගත හැකිය. හුස්‌ම ගැනීමට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේද ගස්‌ වලිනි. මෙය ගස්‌ වැල් පිළිබඳ ඉතා කෙටි සටහනක්‌ පමණි. පුරාණ ග්‍රන්ථයක එන පහත සඳහන් වැකියෙන් මෙම ලිපිය නිමා කරමු.

“ජාතියෙන් හුනු නැත්තේය, දුරාචාරයේ හැසිරෙන අයද නානාවිධ අකුසල් කරන අයද, පිටමං කරන ලද මනුස්‌සයෝය යන මොවුහු පවා වෘක්‍ෂලතා රෝපණය කිරීමෙන් සැප ලබති.”

We found this article from Divaina on 2014/04/06.