නායකත්වය ප්‍රකට කෙරෙන දබරැඟිල්ල

1020
නායකත්වය ප්‍රකට කෙරෙන දබරැඟිල්ල
දබරැඟිල්ල

කෙනෙකුට තර්ජනය කරන අවස්‌ථාවක දිගු කරන ඇඟිල්ල නිසා මෙම ඇඟිල්ලට ‘තර්ජනී’ ඇඟිල්ල නමිනුත් හඳුන්වයි. එමෙන්ම අතේ ගුරු මණ්‌ඩලයට සම්බන්ධ ඇඟිල්ල නිසා ගුරු ඇඟිල්ල නමින් හඳුන්වන්නේත් මෙයයි. මේ සමඟ පළවන රූප සටහනක්‌ බලා අද අපි නායකත්වය ප්‍රකට කෙරෙන දබරැඟිල්ල පිළිබඳව කතා කරමු.

නිය පිහිටා ඇති පුරුක

පළමුවෙන් ම නිය පිහිටා ඇති පුරුක දෙස බලන්න. එය අයිතිවෙන්නේ මේෂ රාශියටයි. මේෂ රාශියට හිමි සලකුණත් එහිම සටහන් වෙලා ඇති. අනිත් පුරුක්‌ දෙකට වඩා මෙම පුරුක දිග නම් එම පුද්ගලයා තමන් පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව වැඩ කරන්නෙක්‌ වෙයි. නමුත් ආත්මාර්ථකාමී බව ඔවුන් තුළින් කැපී පෙනෙයි. තමන්ගේම වාසිය බලාගෙන වැඩ කරන අයගේ දබර ඇඟිල්ලේ පළමු පුරුක දිගට පිහිටා ඇති බව ඔබටම දැන ගත හැකිය. කෙසේ වුවත් එවැනි අයට ව්‍යාපාරික කටයුතුවලින් ඉතා උසස්‌ දියුණුවක්‌ ලබාගත හැකි වෙන්නේ ඔවුන් තුළ ඇති කපටි, කෛරාටික බව නිසාමය. දබර ඇඟිල්ල, මැදඟිල්ල තරමටම පිහිටියේ නම් ඔවුහු උදාර ගති පැවතුම් ඇතත් උඩඟු ස්‌වභාවයක්‌ ද පෙන්නුම් කරයි. ලස්‌සනට කැපී පෙනී සිටීමට උත්සාහ කරන ඔවුන් ඉන්ද්‍රියන් සතුටු කරන්නට වඩා ලොල් බවක්‌ දක්‌වති. අසභ්‍ය කතා කියන්න දක්‍ෂ වගේම සමාජයේ කෙරෙන වැරදි වැඩවලටත් ඔවුන්ගේ සිත් ඇදී යන්නේ නිරායාසයෙනි. දබර ඇඟිල්ල කුඩාව පිහිටීම කර්මාන්ත ආදියෙහි දක්‍ෂතාව පෙන්නුම් කළත් ඉක්‌මන් කෝප සහගතවීම ඔවුන්ගේ දුර්වලකමක්‌ වෙයි.

දබර ඇඟිල්ලේ දෙවැනි පුරුක

දබර ඇඟිල්ලේ දෙවැනි පුරුක කොට වී නම් අනුවණකම් කිරීමට පෙළඹේ. අනිත් පුරුක්‌වලට වඩා දිගින් මහතින් යුක්‌ත නම් බොහෝ කටයුතු එක විට පාලනය කිරීමට දක්‍ෂතාවක්‌ පෙන්වයි. දබරඟිල්ලේ මැද පුරුක අනික්‌ පුරුක්‌වලට වඩා දිගින් වැඩි නම්, කීර්ති ප්‍රශංසා ලැබීමට දැඩි ආශාවක්‌ දක්‌වන අතර, ඔවුන් තමා ගේ මුදල් යොදවා හෝ තමාගේ නම ප්‍රසිද්ධ කර ගැනීමට උනන්දුවක්‌ දක්‌වයි. මෙම පුරුක දිගින් හා මහතින් එක සමානව නම් ඔවුන්ට නියත වශයෙන් ම උසස්‌ නිලතල හා නම්බුනාම ආදිය හිමිවෙයි. බොහෝ විට ජනතාව අතර නායකත්වය හිමි වේ. මැද පුරුක සිහින්ව පිහිටියේ නම් ඔවුනට උත්සාහයේ නායකත්වය හිමි වේ. මැද පුරුක සිහින්ව පිහිටියේ නම් ඔවුන්ට උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙයි.

දබර ඇඟිල්ලේ තුන්වන පුරුක

දබර ඇඟිල්ලේ තුන්වන පුරුක හිමිවන්නේ මිථුන රාශියටයි. මිථුන රාශියට හිමි සලකුණත් එම පුරුකේම පෙන්නුම් කර ඇත. එම පුරුක අනිත් පුරුක්‌ දෙකටම වඩා දිගින් වැඩි නම් එමගින් තීක්‍ෂණ බුද්ධියක්‌ ඇති බව ප්‍රකට වෙයි. දක්‍ෂ අයගේ අත්වල පිහිටන විශේෂ ලක්‍ෂණයක්‌ ලෙස එය හැඳින්විය හැක. දබර ඇඟිල්ල මැදඟිල්ලට වඩා දිග්වීම බොහෝ කලාතුරකින් දැකිය හැකි ලක්‍ෂණයක්‌ වේ. එවැනි අය මොන යම් ක්‍රමයකින් හෝ ලෝක පූජිත වෙයි. දබර ඇඟිල්ල මැද ඇඟිල්ල තරමටම දිග නම් එවැනි අය බලය තහවුරු කර ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබා හෝ සටන් කිරීමට පෙළඹෙයි. ලෝක ප්‍රකට නැපෝලියන් බොනපාට්‌ අධිරාජ්‍යයා ගැන ඔබ අසා ඇති. එම උත්තමයාගේ දබර ඇඟිල්ල මැද ඇඟිල්ල තරමටම උස්‌ව තිබුණ බව ප්‍රකට කරුණකි. දබරඇඟිල්ල මැදඟිල්ල තරමටම උස්‌ව නැතත් සෑහෙන පමණකින් උස්‌වීම හොඳ පිහිටීමක්‌ වෙයි. විශේෂයෙන් දේශපාලන කටයුතු වලින් ඉහළ තත්ත්වයකට පත්වීමට ද සුභ පිහිටීමකි. රජයේ සේවයට සම්බන්ධ අයගේ දබර ඇඟිල්ල දික්‌වීම ඔවුන්හට ඉක්‌මනින් ම උසස්‌වීම් ලැබීමට ද හේතු විය හැක.

දබර ඇඟිල්ල කෙටිවීම අශුභ තත්ත්වයකි. දිය යටින් ගින්දර ගෙන යා හැකි කපටි පුද්ගලයෙක්‌ එමගින් හඳුන්වා දෙයි. එසේ වුවත් එවැනි අයට කාර්ය කටයුතුවලින් දියුණු විය හැකිය. ඉතාමත් කෙටි වූ සිහින් වූ දඹර ඇඟිල්ලක්‌ පිහිටි අය තිරිසන් ගති ඇති පුද්ගලයෝ වෙති. දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල දෙසට බරව පිහිටියේ නම් එවැන්නෝ තමන්ට වඩා කෙනෙක්‌ නැතැයි යන සිතිවිල්ල ඇති පුහු ආඩම්බරකාරයෙක්‌ වෙයි. දබර ඇඟිල්ලත්, මැද ඇඟිල්ලත් අතර වැඩි හිදැස්‌වීමක්‌ ඇති අය අන් අයගේ අවවාද නුරුස්‌සයි. දබර ඇඟිල්ලේ තුඩ කෝනාකාර වේ නම් ඔවුන් කලාකාමී හදවත් ඇති අය ලෙස හැඳින්විය හැක. සංගීතඥයන්, නළු නිළියන්, චිත්‍ර ශිල්පීන් වැනි අයගේ ඇඟිලි තුඩු මේ ආකාරයෙන් තිබෙනු දැකිය හැක.

We found this article from Divaina on 2013/09/08.