නිවසට ශාන්තියක්‌ වන්න ගස්‌ වැල් වවමු

0
1168
ගස්‌
ගස්‌

ගසක්‌ වැවිය යුතු දුර නිවසේ සිට

ගස්‌ සහ වැල් වැවිය යුතු ස්‌ථාන හා එම ගස්‌ වැවීමට සුදුසු කාලය, එම ගස්‌ වැවීමට භාවිතා කරන නා නා වූද විවිධ දුර විස්‌තර දක්‌වා ඇත. අකාලයේ මල්, ගෙඩි ආදිය හට ගැන්වීම මෙන් විශ්මිත විස්‌තර ද, අනෙකුත් සියලුම විස්‌තර ද වාස්‌තු තුළ දක්‌වා ඇත. කිසියම් නිවසක සිට නැගෙනහිර දිසාවේ ගස්‌ සිටු වන විට එම ගස්‌වල සෙවණැල්ල උදය කාලයේ 7 සිට 8 අතර කාලයේ නිවසට වැටීම අසුබය. අනෙකුත් දිසාවන් තුළ වවන ගස්‌වල ද අතු ගේ මිදුලට තිබීම සුදුසු නො වේ. නිවසට හොඳින් වාතය සහ ආලෝකය ලැබිය යුතුය.

අන්ධ වේද දෝෂය

නිවසට නිසි පරිදි ආලෝකය නොලැබීම හේතුවෙන් නිවැසියන්ගේ කාර්යසූරත්වය දුබල වේ. කේන්ති ගැනීම. වැඩ කටයුතු කල් තැබීම. අලස ගතිය, දිවා කාලය නිදා ගැනීම. හිරු උදාවට පෙර අවදි නොවීම ආදිය නිසා ජීවිතය අඳුර දකී.

පල බර පලතුරු

පළ බහුල ගස්‌, දරු මුණුබුරු පරම්පරාව විනාශ කරයි. දිවා කාලයේ පල බර පලතුරු ඇස පිනවන දසුනකි. රෑ කල එම පලතුරු ආහාරයට ගන්න පැමිණෙන නිශාචර සතුන් ගේ බිහිසුණු ශබ්ද, බිහිසුණු හඬ නගන සතුන් ගේ මධුසමය පවතින ස්‌වභාවයන් වන කල්හි ඇති වන ගෝරනාඩු බිහිසුණු හඬ රෑ කල පැතිරුම මූසල බව පාලු බව බිහිසුණු බව ඇති කරයි. එවන් අමිහිරි ශබ්ද වාස්‌තු දක්‌වන අයුරු අසුබය. එමෙන්ම ගෘහයට උඩින් අහසේ ඇතැම් නිශාචර සතුන් ගමන් කිරීම ද බිහිසුණු කාලයක පෙර නිමිත්තකි. ගෘහයකට ඇති වන සුබ අසුබ බලපෑම් සියල්ල ගෘහ මූලිකට යහපත අයහපත උදා කරයි.

මස්‌ කන්නො

ඇතැම් සතුන් මළකුණ ආහාරයට ගැනීමට නිවසේ වහලය මතට රැගෙන එනු ලබයි. තව ද නිවස ආසන්න ගස්‌ වෙත මළකුණ රැගෙන පියාසැලීම් ආදිය නිසා ද නිවසේ සුද්ධ භූමිය කිලිටි විය හැක.

උස ගස්‌ සහ මිටි ගස්‌

නිවසේ උතුර හා නැගෙනහිරට උසෙන් අඩු ගස්‌ වර්ග සුදුසුය. වාර්ෂික මාසික වගා කරන කෙටි කාලීන බව භෝග යොදා ගැනේ. නිවසේ උතුර හා නැගෙනහිර භූමිය සුද්ධ භූමිය යි. එබැවින් මෙම භූමිය තුල දාස්‌පෙතියා, දුටු සතුටු, ඊතණ ආදි ය ද, කිසියම් දුරකින් සුදු හඳුන්, රත් හඳුන්, මල් රුක්‌ අත්තන ආදිය ද වැවීම සුදුසුය.

වෘක්‌ෂ දොෂ

මංගල දොර ඉදිරියේ රත් කෙසෙල්, කෝච්චි කෙසෙල්, ආනමාලු කෙසෙල්, ඇම්ඹුම්, කෙසෙල් ආදිය ද අයහපත් ය. සුවඳ නැති රතු පාට මල්, සුදු පාට මල් අසුබය. කලුවර, කළු තිඹිරියා, පස්‌ බෝ ආදිය ද අසුබය. ගෘහ මූලික මංගල දොරෙන් ගමන් ගන්නා අවස්‌ථාවේ දෙපස කටු සහිත දෙහි දොඩම් ආදි ගස්‌ නොතිබිය යුතුය. අලංකාරය සඳහා වවන පතොක්‌ වර්ග ද රෝස මල් වර්ගද, බෝගන්විලා, සයිප්‍රස්‌, ඉන්දියන් විලා, පයිනස්‌, මුසන්ඩාස්‌, ඉද්ද, වතු සුද්ද ආදිය ද අවමංගල කටයුතු සඳහා භාවිතා කරන කොල සහ මල් නිවසේ මංගල දොර ඉදිරිපස මිදුලේ වැවීම අසුබය. නිවසේ මුදුන් යට ලීයට වඩා උසට වැවුන කතුරු මුරුංගා ගස්‌ ඉතා අයහපත්ය. සේපාලිකා, කෑල, සියඹලා, හෙලකටරොළු, කොබෝ ලීල සියලු යහපත විනාශ වේ. දැසමන්, බෝළිද්ද, මුරුංගා, යොහොඹු, කොද නිසා ආයුෂ බාලවේ. මිදි, දෙළුම්, කොසඹ, සමදාර හැර යාග හෝමයන්ට ගන්නා වෙනත් ගස්‌ හරි මැද සුදුසු නොවේ ගෘහයේ දකුණු දිසාවට පළොල් ද, බටහිර දිසාවට නුග ද, නැගෙනහිර බෝද, උතුර දිසාවට අත්තික්‌කා ද අසුබ වේ. කිරි ගස්‌, තැඹිලිs ගස්‌, කුන්දිරි ගස්‌ මංගල දොර ඉදිරියෙන් නොවවන්නේය. ධන හානි වේ. ගොරක, කළුවර, රට ගොරක, කැබැල්ල, සාදික්‌කා අඳුරු ස්‌භාවය ඇති ගස්‌ නිවස ආසන්නයට සුදුසු නැත. අමනුස්‌ස බලපෑම් ඇති වේ. වද මල්, අරලිය මල්, හාතාවාරිය වැනි වැල් වර්ග සහ මල් වර්ග ද නිවස ආසන්න යට සුදුසු නැත. අත්තන, ජයපාල, කනේරු, වල්ල, නියඟලා, බදුල්ල, ගොන්න, හික්‌, දලුක්‌, කිතුල්, බෝ, නුග, ඇහැටු, නා, වල් හබරල, හබ රස, නිදිකුම්බා, උදුපියලිය, අඩනහිරිය, ඉකිරිය, පෙති තෝර, කතුරු මුරුංගා ද නිවස ආසන්නයට සුදුසු නැත. නිවසේ දොර ජනේල යට බිත්තිවලට, වහලයට ස්‌පර්ශ වෙන පරිදි ගස්‌ වැල් වැවීම සුදුසු නැත.

කටු ගස්‌, සතුරු බිය දේ.

කටු ගස්‌ දොස සඳහා දොඹ, අශෝක, කොසඹ, මූණ මල්, කොස්‌ සමදරා, සල්, එම ගස්‌ තිබෙන දිසාවේ වවන්නේය.

යහපත් වෘක්‌ෂ

පුළිල උතුර දිසාවට ද, නුග නැගෙනහිර දිසාවට ද, උදුම්බරා දකුණ දිසාවට ද, අශ්වත්ථ බටහිරට යහපත් වේ. අස්‌ ගොදු, කිඩාරම්, කෙසෙල්, ලප් නාරං, (සිදලං) අභිවෘද්ධියට නොපැමිණේ. බෙලි පදම, හෙල් මැලි, කොස්‌, පොල් නිතරම යහපත වේ. පුවක්‌, බෙලි, දොඹ, මාරා, අශෝක, මුණ මල් ශුභ ම ගෙන දේ. ජම්බු, කොලොම්, දිඹුල්, කුඹුක්‌, නාරාන්, මිදි, දෙල්, දෙළුම්, දොඩම්, කරඳ, මදටිය, කොස්‌, තිඹිරියා, කළුවර, ඇම්බරල්ලා, ජලය ඇසුරේ වවන්නේ ය.

ගසකින් තවත් ගසක්‌ විනාශ කිරීම

තමාගේ සීමාවෙන් පිටත පිහිටි අසල් වැසියන්ගේ වතුවල තිබෙන ගස්‌වලින් පැමිණෙන උවදුරු නැසීමටද එම ගස්‌ විනාශ කිරීමට ද, වැවීම බාල කිරීමට, පල රහිත කිරීම ආදියට ද ගස්‌ වැල් යොදා ගෙන ඇත.

පුද්ගලික පලිගැනීමේ අදහසින්

කිසිවකු ගේ සුබ සිද්ධිය නො ඉවසන විටද අයහපත කැඳවමි යන අදහසින් ගස්‌ වැල් යොදා ගැනේ. එම නිවසට අයහපත ඇති කිරීමට සිතාම ගස්‌ වැල් යොදාගෙන ඇත.

සරු සාර ඉඩම් මුඩු බිම්

කිසිවකුගේ සරු සාර ඉඩමක්‌ මුඩු බිම් කිරීමට ද වගා විනාශ කිරීමට ඉඩම පාලු කිරුමට ද. තවත් ගසක්‌ වැලක්‌ හිටවන අවස්‌ථා ඇත.

මුඩු බිම් සරු සාර කිරීමට

මුඩු බිම් සරු සාර කිරීමට ද මළ භූමි සාර භූමි කිරුමට ද වියලි බිම් සරු බිම් කිරීමට ද, පසෙහි ස්‌වභාවය වෙනස්‌ කිරීමට ආදි යහපත් භූමි සකස්‌ කර ගැනීමට ගස්‌ වැල් යොදා ගෙනේ.

එක්‌ ගසකට හවුහරණ වීමට

පල නො දරන ගස්‌ පල දැරී මට ද, චණ්‌ඩ සුළං, අව්ව, වැස්‌ස ආදියෙන් එක්‌ ගසකට වන හානිය නවතා හවුහරණ වීමට ද තවත් ගසක්‌ වැලක්‌ හිටවන අවස්‌ථා ඇත. අපල සඳහාද ගස්‌ වවන්නේය.

රවිගේ අපල සඳහා

රවි ගේ අපල සඳහා ඉඹුල, මුන මල්, පුළීල කොස්‌, රත් නෙළුම්, ඵන සාල්, දේවදාර, සැවැන්දර, වැල්මි, මයිල, සපු ශාකයක්‌ දකුණ දිසාවේ ඉරිදා දිනයක රවි හෝරාව යෙදුන රවි ගේ නැකත සහිත දිනයක ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරු වේ.

සඳුගේ අපලය සඳහා

සඳුගේ අපලය සඳහා දිඹුල්, කුමුදු, සමන්, ජම්බු, වරා, සුදු නෙළුම් ශාකයක්‌ වයඹ දිසාවේ සඳුදා දිනය යෙදුන සඳු ගේ නැකත සහිත දිනයක සඳු හෝරාවෙන් එක්‌ ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරු වේ.

කුජ ගේ අපලය සඳහා

කුජ ගේ අපලය සඳහා කොලොන්, රතු කනේරු, කිහිරි, බෙලි, රත් හඳුන්, බැවිල, කනේරු මල්, මූණ මල්, යන ශාකයක්‌ අඟහරුවාදා දවසක දකුණ දිසාවේ කුජ ගේ නැකත සහිත දිනයක යෙදුන කුජ හෝරාවෙන් ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරුවේ.

බුධ ගේ අපලය සඳහා

බුධ ගේ අපලය සඳහා කොහොඹ, නාමල්, තල, අල වර්ග, මී ගස්‌, යාව යන ශාකයක්‌ බදාදා දවසක නැගෙනහිර දිසාවේ බුදගේ නැකත සහිත දිනයක යෙදුන බුද හෝරාවෙන් ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරුවේ.

ගුරු ගේ අපල සඳහා

ගුරු ගේ අපල සඳහා බෝ, බෙලි උණ උක්‌, නා, කඩල, උදු, මෑ, අබ, ඉද්ද, වැල් මී, සමන් පිච්ච යන ශාකයක්‌ ගුරු දවසක ඊසාන දිසාවේ ගුරුගේ නැකත සහිත දිනයක යෙදුන ගුරු හෝරාවෙන් ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරුවේ.

සිකුරුගෙ අපලය සඳහා

සිකුරුගෙ අපලය සඳහා කරඳ කේශර මල්, එනසාල්, කුංකුම, නෙල්ලි, අශෝක කපු, තල, කෑල යන ශාකයක්‌ සිකුරාදා දවසක ගිනිකොන දිසාවේ සිකුරු ගේ නැකත සහිත දිනයක යෙදුන සිකුරු හෝරාවෙන් ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරු වේ.

ශනි ගේ අපලය සඳහා

ශනි ගේ අපලය සඳහා තල, බැවිල, වී, නුග, මුහුණ මල්, කොහොඹ, අඹ, සියලුම නීල වර්ණ මල් යන ශාකයක්‌ සෙනසුරාදා දවසක බටහිර දිසාවේ ශනි ගේ නැකත සහිත දිනයක යෙදුන ශනි හෝරාවෙන් ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරු වේ.

රාහු ගේ අපලය සඳහා

රාහු ගේ අපලය සඳහා වැටකේ, කුඹුක්‌, කරඳ, ඊතණ, කොල්ලන් කොල, තල, කලා දුරු මල් යන ශාකයක්‌ නිරිත දිසාවේ රාහු ගේ නැකත සහිත දිනයක ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරුවේ.

කේතු ගේ අපලය සඳහා

කේතු ගේ අපලය සඳහා කෙසෙල් ඊතණ, තල, කොලොං, නුග, හල්, කලාඳුරු පාතාල දිසාවේ කුජ ගේ නැකත සහිත දිනයක ශාකයක්‌ රෝපණය කිරීමෙන් අපල දුරුවේ.

We found this article from Divaina on 2013/07/21.
Also Sinhala to English Google word to word translation can be found here