ඔබේ දරුවාටත් නිසි වයසේ අකුරු කියවන්න

0
699
අකුරු
අකුරු

[ratings]

අප දරුවන්ට අකුරු කියවීම මුහුර්ති චින්තාමණියේ 31 වැනි පිටුවේ විද්‍යාරම්භ කාළවිධාන යටතේ ඇති කවියට අනුව මෙසේය.

වෙලා කුමරු නොපිරුණු කළ පන් වස
තුලා කන්නි අලිගිය හිරු තුන් මස
බලා මොහොත මතුපවසන පඬි බස
කළා අකුරු සුබ සිරිසැප දේ යස

මේ අනුව දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම අකුරු කියවීම සුදුසු බව පැවසේ. මේ සඳහා අපි යොමුවීමේදී ජ්‍යෙතිෂය පිළිබඳ දැන උගත් අයෙකු ගේ උපදෙස්‌ පරිදි එයට අදාළ වූ ග්‍රහ පුදපූජා පැවැත්වීමෙන් අනතුරුව සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. මෙම උතුම්වූ වැදගත් අවස්‌ථාව පිළිබඳ කරුණු විමසීමේදී අපගේ මෙන්ම භාරත සංස්‌කෘතියට අනුව මෙම අවස්‌ථාව එකල උගතුන් යෑයි පිළිගැනීමට ලක්‌වී සිටි බමුණන් / හින්දු ආගමික පූජකයන් විසින්ම සුබ නැකත් සකසා සිදුකර ඇත. බෞද්ධ දර්ශනයේ පිළිගැනීම අප සංස්‌කෘතියට සම්බන්ධ වීමත් සමගම මෙම අතිශයින්ම වැදගත්වූ කටයුත්ත සඳහා අප මුතුන්මිත්තන් විසින් අපගේ ගමේ පන්සලේ වෙසෙන උගත් භික්‍ෂුන් වහන්සේලාගේ ආශිර්වාද ඇතිව ඔවුන් ලවා තම දූදරුවන් හට අත්පොත් තැබීම සිදුකර ඇත. එමෙන්ම මෙයට අනුගත වීමට විශේෂ වූයේද, මෙම කාල පරාසයේදී ළමයින් හට අකුරු ඉගැන්වීමේ මධ්‍යස්‌ථානය වූයේද ගමේ විහාරස්‌ථානය නොහොත් පන්සල වීමයි.

ඒ අතරට ඇතැම් පවුල්වල දරුවන් ගමේ විසූ අකුරු ශාස්‌ත්‍රය හැදැරූ දැන උගතුන්ගෙන්ද අකුරු කළ බවට පැහැදිළි සාක්‍ෂි ඇත. එසේ උගත් ගිහි පඬිවරුන් විසූ නිවෙස්‌ ගුරුගෙදර නමින් හැඳින්වීමෙන් මේ බැව් තහවුරු වේ. මේ වන විට මෙම අවස්‌ථාව වර්තමාන සමාජයේ පෙර පාසල් ගුරුවරියන්ගේ අතට පත්කිරීමට නූගත් මෙන්ම උගත් දෙමාපියන්ද සමත්ව සිටී.

එදා මෙන්ම අදත් මෙම කාර්ය සුබ නැකතකදී සුබවේලාවක සිදු කිරීමට සෑම දෙමාපියෙක්‌ම උත්සුක වෙති. මෙහිදී මෙම කාර්යයේ කොටස්‌ කරුවකු වන ගණදෙවියන් හට විශේෂ නැකත් හිමිවේ. මහා දේව මණ්‌ඩලයේ ඥනාධිපති ග්‍රහයා ගණ දෙවියන්ය. ගණපති, ගණේෂ, විග්නේශ්වර යනාදී නම් වලින් මෙතුමා හැඳින්වේ. ගණ දෙවියන් හට පුදපූජා නිසිලෙස පවත්වා තම දරුවනට අකුරු කියවීමෙන් දරුවාගේ ඥන ශක්‌තිය හා ධාරණ ශක්‌තිය ඇතිවී දරුවාගේ අනාගතය සාර්ථක වන බව හින්දු ආගමට අනුව පිළිගැනේ. එමෙන්ම මෙම සුබ කටයුත්තේදී සියලු කලා ශිල්ප ශාස්‌ත්‍රයට අධිපති සරස්‌වතී දේවිය නැමදිමද සුබ කටයුතු බවද පිළිගැනීමක්‌ ඇත. කෙසේ නමුදු බෞද්ධයන් වන අපි මෙම සුබ හෝරාවට පෙර තම දරුවා සමඟ තෙරුවන් වැඳ නමස්‌කාර කර සිටීම යහපති. ඉන් අනතුරුව ඉහත පෙන්වාදුන් දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ නමස්‌කාර කර ඔවුන් පිහිට හා ආරක්‍ෂාවීමද ලබාගැනීම යහපත්ය.

දෙමාපියන් වශයෙන් ඔබ මේ සඳහා යොමුවීමේදී තම දරුවාට අකුරු කියවීම කළ යුත්තේ කවුරුන්දැයි යන්න තීරණය කිරීම ඔබ විසින් කළ යුතුයි. මෙය දෙමාපියන් විසින් ඉටු නොකරනවා නම්, මේ සඳහා ඔබ තෝරාගනු ලබන පුද්ගලයා දැනඋගත් කමින් හෙබි ගුණගරුක අයෙකු විය යුතුය. එමෙන්ම මෙම අවස්‌ථාවේ සාර්ථකව අකුරු කියවීම හා ලිවීම දරුවා වෙතින් සිදුවීමට නම්, අප තොරාගත් උගත් පුද්ගලයා දරුවා කලින් දැනහඳුනන සමීපව සිටි අයෙකු විය යුතුය. ප්‍රථමයෙන්ම සුබ හෝරාව ළංවෙත්ම දරුවා අතට බුලත් අතක්‌දී අකුරු කියවන වියතාණන්ගේ දෙපා නැමද ආශිර්වාද ලබා ගත යුතුයි. මෙහිදී අකුරු කියවන වියතා විසින් දරුවා වෙත හෝඩි පොත, ගල්ලෑල්ල, ගල්කූර යනාදී දේ පිරිනැමිය යුතුයි. මේ අවස්‌ථාවේදී නැවත වරක්‌ ගුරුතුමාට හෝ වියතාණන්ට වැඳ නමස්‌කාර කර, ඔහු දරුවා අත තැබූ පොත්පත් හා ගල්ලෑල්ලටද වැඳ පිළිගැනීම කර විය යුතුයි. පසුව සුබ වේලාවේදී දරුවා ලවා අකුරු කිහිපයක්‌ හඬනගා කියවීම හා ලිවීම කළ යුතුයි. මෙය දරුවකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සන්දි ස්‌ථානයක්‌ බැවින්, අකුරු කියවීම ශිල්ප හැදැරීම සඳහා සුදුසුම නැකත්, හෝරා පවතින දින කාල වකවානුවක්‌ තෝරා ගත යුතුයි.

අකුරු කියවීම සඳහා අස්‌විද / රෙහෙණ/ මුවසිරිස / පුනාවස / පුෂ / හත / සිත / සා / අනුර / සුවණ / සියාවස / රේවතී යන නැකත් සුබ බව පෙන්වාදී ඇතත්, මේවා දරුවාගේ ජන්ම නැකතට සීහෙන නොහොත් ගැලපෙන එකක්‌ විය යුතුය. සුබ දින වශයෙන් බදාදා / බ්‍රහස්‌පතින්දා / සිකුරාදා යන දිනයක, සුදුසුම හෝරාවක, සුදුසුම පංචම කාල හෝරාවක, අට වැන්නේ කිසිදු ග්‍රහයකු නැති අවස්‌ථාවක, උභය ලග්නයක්‌ උදාවූ වේලාවත් අල්ලා මෙම නැකත පිළියෙල වීම යහපති. අකුරු කියවීම සරස්‌වතී යෝගයක්‌ උදාව පවතින විටදී සිදුකිරීම තුළින් යහපත් ඵල නෙළාගත හැකිබව පෙන්වාදිය හැක. මෙය බුධ දින. කන්‍යා ලග්නය උදාවී ඇති හෝරාවේ රවි ග්‍රහයා සමඟ බුධ යෝගව, බුධ අතිඋච්ච අංශකයේ හෙවත් කන්‍යාවේ මැද අංශකවල සිටිනා විට යෙදේ. තවද මීන ලග්නයේ විසිහත්වැනි අංශකයේ සිකුරු සිටින, සිකුරාදා දිනයේ ද මෙම යෝගය යෙදෙනා බව ශාස්‌ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන් වේ.

තවත් තැනක විද්‍යාරම්භය පිළිබඳ මෙසේ සඳහන්ව ඇති බවද පෙන්වාදීමට කැමැත්තෙමු. මේ පිළිබඳව දැනඋගත් ජ්‍යෙdaතීර්වේදීයකුගේ සහය ලබා සුබ නැකත් පිළියෙල කර ගැනීම ඔබගේ වගකීම තුළින් තම දරුවාගේ නැණනුවන පහළ වනු ඇත.

ගුරු දින අකුරු කීමෙහි උත්තම වන්නේ

සඳු බුධ සිකුරු යන දින මධ්‍යම වන්නේ

ශනි කුජ දෙදෙන කිසිලෙස නැත සුබ වන්නේ

ඉරුදින වැඳුම් බවකුත් සතරෙහි වන්නේ

We found this article from Divaina on 2011/11/04.
Also Sinhala to English Google word to word translation can be found here