පවුල් ජීවිතය කූටකයාට බිලි දෙනවාද?

1067
පවුල්

කේන්ද්‍රය යනු පෙර කරන ලද කුසලා කුසල කර්ම ඵල විපාක සුඛ දුක්‌ඛ වශයෙන් ඉදිරියට සිදුවන කාල නිර්ණය කළ හැකි සදා බැබළෙන ශාස්‌ත්‍රය නම් වූ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේ එක අංගයක්‌ වෙයි. පවුල් ජීවිතය මෙන්ම තවත් බොහෝ දේ දැන දැක ගත හැකි ශාස්‌ත්‍රයක්‌ ඇත්නම් ඒ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය මැයි. මෙය සියලුම ආගම් නායකයන්ට පිහිට වූ ආකාරය ඔබට දැන ගත හැකියි. ඡේසුස්‌ වහන්සේ සොයා යන ගමනේදී අහසේ දිස්‌ වූ තාරකාවක්‌ ගැන කියයි. මුස්‌ලිම් නායක හිමිවරුන් හඳ පායන අයුරු අනුව, ඔවුන්ගේ වතාවත් කරයි. ඉන්දියානුවන් සූර්ය, චන්ද්‍ර, දිව්‍ය රාජයන් නමස්‌කාර කරයි. ඒ සඳහා උත්සව පවත්වයි. සම්මා සම්බුදු පියාණන්වහන්සේ හිරු අවරට යන වෙලාව පෝය ලබන ගෙවන වේලාවත් දැන කටයුතු කළ බව දේශනා කර ඇත.

සන්ඩේ මන්ඩේ යනුවෙන් හිරු සඳු මුල්කර ගත් ග්‍රහයන්ගේ, නාමයන්ගෙන්, මුළු ලොවම සතියේ දින හත ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයට අයත් ග්‍රහයන් සත් දෙනාගෙන් දින හත ඒ ඒ නම් වශයෙන් පිළිගෙන ඇති බැව් නොරහසකි. මුහුදු යන්නත්, අහස දිහා බලා ඔරායන් යක්‌ෂයාගේ හිස පැත්තෙන් උතුරු දිශාව හඳුනා ගනී. වඩදිය, බාදිය අනුව පුර අව සඳු ගමන් මග සොයාගනී. ඉර, හද, තරු ග්‍රහ රාශිවල කිරණ ශක්‌තීන් මිනිසාට හා සියලු සතුන් හා ගහ කොළ මෙන් සියලු විශ්ව ගම්මාන හා රට රටවල්වලට බලපාන බැව් තේරුම් ගනිති.

පවුල්

තත්කාල ශාස්‌ත්‍රය

නමුත් ජ්‍යෙතිෂ්‍ය ලග්න පලාපල දශා අන්තර් දශා විදශා පලාපල – තත්කාල ශාස්‌ත්‍රය මිනිසුන්ගේ පැවැත්ම හා ගති ලක්‍ෂණ කිව හැකි බැව් සමහර අය පිළිනොගනී. අඟහරු බලවත් අයට කළ නොහැකි පාපකර්මයක්‌ නැත. නොකියන බොරුවක්‌ද නැත. උපායේ අගතැන්පත් අය වෙති. ක්‍රීඩාවට දක්‍ෂ, සටන් කලාවට දක්‍ෂ, ලේ ධාතුවට අයත් අඟහරු ශක්‌ති සම්පන්න වීර පුරුෂයෙකු බවට පත්කරයි. අඟහරු උච්ච ස්‌වක්‍ෂේත්‍රව රුචිකයෝග ඇති නිසා බුධ ගුරු සිකුරු බලවත් නොවී අඟහරු කේන්ද්‍රයක පස්‌වැන්නේ සිටීනම් එම දශා අන්තර් දශාවන් තුළදී නිසි වයස්‌ පැමිණි කළ පිරිමි දරුවන් ලබයි. අඟහරු යම් කේන්ද්‍රයක 7 වැන්නේ සිටී නම් ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භෞම දෝෂය ඇති වන බැව් ජ්‍යෙතිෂයේ සඳහන් වෙයි.

මේ බලන්න හදහනක හත්වැන්නේ අඟහරු සිටීම ( කුජ) ඇති වන විපාක

හත සිටිනම් අඟහරු යමෙකුගෙ පරම
කත හට ඔහුගෙ රුදු මරණය ඇත නියම
සිත තැවුලෙන් යුතුවෙයි නිති දින දිනම
ගත රෝ දුකින් පෙළුමද වෙයි ඒ ලෙසම

සත මිහිපුත් යෙදුණ කලට
කත වැන්දඹුවක්‌ වෙ නිවට
සිත නිතරම බැඳුණ පවට
ගති ගුණ ඇති යක්‌ වෙ දුෂ්ට

මේ භෞම දෝෂය ගැන දැන් ඔබේ හා ඔබ දන්නා අයගේ කේන්ද්‍රවල 7 වැන්නේ අඟහරු සිටින බැව් සිහියට නඟා මහත් වූ බියට පත් වෙනවා නොඅනුමානයි. නමුත් මේ භෞම දෝෂය මග හැරිය හැකි බැව්ද පෙන්වා දෙන්නම්. විසෙන් විස නසන බව ඔබ අසා තිබෙනවාද. දියෙන් ඇති වු ලුනු දියෙන් දිය කළ හැකි බැව් මොහොතක්‌ සිතන්න.

7 – අඟහරු සිටින තවත් කේන්ද්‍රයකින් එය වලකාලිය හැකියි. මේ නිසා තමයි අපි විවාහයේදී පොරොන්දම් බැලීම කළ යුතු බැව් කියන්නේ පොරොන්දම් බැලීමට අපි උපයෝගී කරගන්නේ පති පතිනියන්ගේ උපන් වෙලාවට සෑදූ හඳහන්ය. පෙර ආත්මවල ගති. පැවතුම් අනුව මේ දෙදෙනා යහපත් විවාහයන්වල සිටි අයද නැද්ද යන්න විමසා බැලීමයි. අපි කරන්නේ. කොතරම් පොරොන්දම් ගැලපුනත් ඉපදීමෙන් පසු මිනිසා අතරමගදී ආබාධිතයන් නොවන්නේද? කුල ගෝත්‍ර ආගම්වල වෙනස්‌කම් නොවන්නේද? බෝවෙන කල් පවතින රෝග ඇති නොවන්නේද? නරක සමාජ ඇසුරට පත් නොවන්නේද? මේ ලෙස ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ වෙනස්‌වීම පොරොන්දම් ගැලපූ පමණින් හරියාවිද. හොඳ බතක්‌ උයන්නට පිරිසිදු හාල් වුවමණා වෙයි. ඒ සහල් ප්‍රමාණයට ජලයද අවශ්‍ය වෙයි. බත ඉදීමට සුදුසු පරිදි උෂ්ණත්වය දිය යුතුයි. ඒ බඳුන පෙරළී යන බඳුනක්‌ නොවන ලෙසට තබාගෙන යුතු වෙයි. මෙයින් එකක්‌ හෝ අඩු වුවහොත් හොඳ බතක්‌ සකසා ගත නොහැකි වෙයි. ඒ නිසා විවාහයටද කරුණු කීපයක්‌ එකතු විය යුතුයි.

  1. පියතුමා – දැන උගත්කම, බලය
  2. මවු තුමිය – ආර්ථික වාසි ගැන බලයි
  3. නෑදෑයෝ – තම ඇසුරට සුදුසු කුල ගොත්, ධනවත් බවට, පෑහේදැයි බලයි.
    4 තරුණ තරුණියන් – තමන්ට ගැලපෙන උස මහත පාට නැණ ගුණවත් බව අදහස්‌ එකඟතාවය බලයි.

නැණවත් දෙමාපියන් හඳහන් පරීක්‍ෂා කර බලති

මිහිරි පවුල් ජීවිතයක්

ලව්ද – ප්‍රොපෝෂල්දැයි තවත් සමහරු විවිධ දේ සොයයි බලයි. අහල බලල මංගල කටයුතු කළත් – ආලය ආදරය ඇතිව විවාහ උනත් පෙර පින් අනුවද දෙදෙනාගේ එක්‌ වීම හෝ වෙන් වීම සිදුවන අතර මේ ආත්මයේදී හැසිරීමේ රටා අනුවද විවාහ ජීවිත සුඛිත මුදිත මිහිරි සුඛ නම්‍ය විවාහයක්‌ කර ගැනීමටත් දහදුක්‌ විදින මිහිපිට අපායක්‌ කර ගනිමින් දුක්‌ විදින වන්දි ගෙවන අය වීමටත් ඉඩ ඇත්තේ තමන් තමන්ගේ ගුණ නුවණ අධිෂ්ඨානය අනුව බවද කරුණු පෙන්වා දිය හැකියි. සම්බුදු වදනට අනුව ආයුක්‌ඛය, කර්මක්‌ඛය, උභයක්‌ඛය, උපච්ඡේදත යන කර්ම 4 ක්‌ පෙන්වා දෙයි. එයින් උපච්ඡේදන කර්මය යනු තමන්ට වුවමණා වස බෝතලයක්‌ බී මරණය සිදු කරගත හැකියි. සාන්ද්‍රතාවය වැඩිව ගත්විට මිනිසාට මරණය සිදු කරයි නම් එසේ සිදු වෙයි. වුවමණාවෙන් සියලු දුක්‌ කරදරවලින් මම මිදෙමි. සියදිවි හානි කර නොගනිමි යන දැඩි අධිෂ්ඨානයෙන් මරණය වුවත් වලකා ගෙන නියම ආයුෂ විඳීමට නැණ ගුණ ඇති මිනිසුන්ට පිළිවන් වන නිසා තමන් තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය අවස්‌ථාවේ එක්‌ පාර්ශවයක්‌ ඉවසන්නේ නම් සුහද බැව් ආරක්‍ෂා වෙන්නේ නම් ඉතාම මිහිරි රසපිරි පවුල් ජීවිතයක්‌ ගත කිරීමටද හැකිවේ.

මේ බලන්න හතේ ශනි රාහු සිටීම

හත සෙනසුරු යෙදුන කලට
කත වැන්දඹු වෙයි නියතෙට
නැතහොත් හිමියෙක්‌ නියමෙට
නැති අඟනක්‌ වෙයි සදහට

සිතෙහි සිටිය කලට පනිඳු
පති සැපතින් තොරව නිබඳු
ගත රුසියෙන් අඩුව නොමඳු
සිත රුදු එකියෙක්‌ව එ ළඳු

මේ ග්‍රහයෝග ගැන මම පරීක්‍ෂා කළෙමි. කුම්භ ලග්නය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට යෙදී තිබුණා. හත්වැනි රාශියේ සෙනසුරු ග්‍රහයාද දෙදෙනාගේම හඳහන්වල තිබුණා. දෙදෙනාම වමත් කරුවන් ලෙස ලියන කියන වැඩ කළ මේ දෙදෙනාගේ විවාහයට සාක්‍ෂි කරුවකු ලෙස මම අත්සන් කළා. දැනට වර්ෂ 40 ක්‌ පමණ වෙනවා. ඉතා හොඳ සාර්ථක විවාහයක්‌ ගතකරමින් වාසනාවන්ත දරු තිදෙනකු සමග ඉතා සුඛෝපභෝගීව වාසය කරනවා.

නමුත් හත් වැන්නේ සෙනසුරු සිටි නිසා මුත්‍රාශයේ රෝග ඇති කරන බැවින් දියවැඩියා රෝගයට පත්වී දැන් වසර දෙක තුනක්‌ වෙනවා.

කසාදේ

පෙර කර්ම ඵල විපාක

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී දම් පූරණය කරමින් බොහෝ ආත්මවල තමන්ගේ සෙනෙහෙබර මාතෘ, භගින්, දාසී ආදී මිත්‍ර භාර්යාවක්‌ ලෙස එකට පැමිණි යසෝදරාවන් අතර බුදු බව පසක්‌ කරලීමට ගිය සිදුහත් කේන්ද්‍රයේ 7 වැන්නේද අඟහරු සිටියා. වයස අවු. 29 දී සෙනසුරු මහ දශාවේ කුජ අන්තර දශාවේද 5 වැන්නාධිපති කුජ නිසා පිරිමි දරු උපතද බලා හත්වැන්නේ සිටි කුජ නිසා තම බිරිඳ වැන්දඹුවක්‌ කර නිවසින් පිටව ගිය බවද මේ සඳහා පෙන්වා දිය හැකියි. නියත ධර්මවලට පවා ජ්‍යෙතිෂ්‍ය අනුව පෙර කර්ම ඵල විපාක පෙන්වා දිය හැකියි. විවාහ වෙන කාලයද මහ දශා අන්තර දශාදිය බලා නිගමනය කළ හැකියි. දරුඵල ලැබීමද කාලය අනුව සිදුවෙයි. සිදුහත් කුමරු විවාහ වුණේ වයස අවු 16 දී. රාහුල පුතු ලැබුණේ අවු. 29 දී. අවුරුදු 13 කට පසුවයි දරු සම්පතක්‌ ලැබුණේ. විවාහ දිවියට මරු පහරවල් එල්ල කරන කූටකයා නොහොත් අඟහරු පරදවා ජයගැනීමට හැකි අයද ලොව සිටිති. සිදුහත් කුමරුට එසේ සිදු වූයේ දශපාරමී දම් පූර්ණය කළ නිසාවෙනි. වෙස්‌සන්තර ජාතක කතාවේදී අඹුදරුවන් දන්දුන් බවද ඔබ අසා ඇති යෑයි මම දනිමි.

We found this article from Divaina on 2014/03/16.