රාශි පොරොන්දම බලනුයේ ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා උපන් ලග්න දෙක හා ඔවුනොවුන්ගේ කේන්දර වල චන්ද්‍රයා පිහිටි රාශි (ලග්න කොටු) දෙක උපයෝගී කරගෙනය. ජන්ම (ලග්න) රාශි දෙක පරික්‍ෂා කිරීමෙන් දෙදෙනාගේ බාහිර ගති ලක්‍ෂණ ද චන්ද්‍රයා සිටින (ලග්න කොටුවෙන්) අභ්‍යන්තර ගතිගුණ ද හෙළිවේ. මින් එකක් පමණක් ගලපා බැලීම රාශිය (ලග්න කොටුව) අයහපත් වී නම් භාහිරව කොතෙක් ගතිගුණ යහපත් ලෙස පළ කළද අභ්‍යන්තරික වශයෙන් පවතින තත්ත්වය පිරිසිදු නොවේ. එහෙයින් මේ දෙකම ගළපා ගත යුතුය. එවිට විවාහ ජීවිතයේ අපේක්‍ෂක සතුට සමගිය මෙන්ම සිතුම් පැතුම් ද හොඳින් ගැළපේ. පසුතැවැලි වීම් හා දුක් වේදනා ඇති නොවේ. රාශි පොරොන්දම අශුභ වීමෙන් විවාහ අපේක්‍ෂිත දෙදෙනාට ටික කාලයකට හෝ වෙන්ව වසන්නට සිදු වේ. වැන්දඹුකම වදබන්ධන ආදියද මෙම පොරොන්දම අභූභ වීමෙන් ගෙනදේ. එහෙයින් මෙය අත්‍යවශයෙන්ම ගළපා බැලිය යුතු පොරොන්දමකි. ලග්න චන්ද්‍ර රාශි (ලග්න) දෙකෙහිම ගැළපීම වෙන වෙනම බැලිය යුතුය.
දෙදෙනාම එකම ලග්නයෙන් ඉපදී ඔවුන්ගේ කේන්ද්‍රවල චන්ද්‍රයාගේ පිහිටීම ද එකම රාශියේ (ලග්න කොටුවේ) වී නම් ඉතා ශුභ වේ. නිදසුනක් වශයෙන් දක්‌වතොත් දෙදෙනාම මීන ලග්නයෙන් ඉපිද චන්ද්‍රයාද කේන්ද්‍ර දෙකෙහිම එකම භාවයක (කොටුවක) වීමයි. තවදුරටත් විස්‌තර කරතොත් චන්ද්‍රයා කේන්ද්‍ර දෙකෙහිම තුන්වැන්නේ සිටියේ යෑයි සිතුමු. එවිට දෙදෙනාගේම කේන්දර වල චන්ද්‍රයා වෘෂභ රාශියේ (ලග්න කොටුවේ) තැන්පත්ව ඇත. මීට චන්ද්‍රයා රාශිගත. සම (ලග්නගත වීම) යෑයිද කියති.
ඉහත සඳහන් පරිදි ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා එකම ලග්නයකින් නොවී චන්ද්‍රයා ද එකම රාශියක (ලග්න කොටුවක) තැන්පත් නොවී ඇති අවස්‌ථාවක නම් ලග්නය හා චන්ද්‍රයා තැන්පත් රාශි (ලග්න) හතෙන් හතට නොහොත් සම සප්තමව පිහිටීම ශුභයි. නිදසුනක් ලෙස ස්‌ත්‍රිය මේෂ ලග්නයේ ද පුරුෂයා තුලා ලග්නයේ ද වීමයි. මේෂ ලග්නයේ සිට රාශි (ලග්න කොටු) හතක් ඉදිරියට ගැනගත් විට තුලා ලග්නය හමුවේ. එනම් ලග්න යුවළ හතෙන් හතට පිහිටා ඇත. මෙය ජන්ම ලග්න සම සප්තම වීමයි. එය ශූභයි චන්ද්‍ර රාශියද (ලග්නය) ආකාරයටම විමසා බැලිය යුතුය.
ඉහත දෙයාකාරයෙන්ම නොයොදෙන විට එනම් සම වීම හෝ සම සප්තම වීම හෝ නොයෙදෙන විට මෙසේ ක්‍රියා කළ යුතුය. ස්‌ත්‍රිය උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට ගන්න. ඉන්පසු ස්‌ත්‍රීයට උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට දුර රාශි (ලග්න කොටු) නෙකාපමණදැයි බලන්න. මේ අනුව ස්‌ත්‍රීය උපන් ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට ඇති දුර රාශි හයකට වඩා වැඩිනම් ශූභයි. නොඑසේ නම් අශූභයි. මෙහි දී හයවන රාශිය (ලග්න කොටුව) ලැබී ඇත්නම් ද අශුභය. අපි මෙය උදාහරණයක් මගින් පැහැදිළි කරගනිමු. ස්‌ත්‍රිය වෘෂභ ලග්නයෙන්ද පුරුෂයා මීන ලග්නයෙන් ද උපත ලබා ඇතැයි සිතමු. වෘෂභ ලග්නයේ සිට මීන ලග්නය දක්‌වා ගැණගත් විට රාශි (ලග්න කොටු) 11 කි. (වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන) ස්‌ත්‍රී ලග්නයේ සිට පුරුෂ ලග්නයට ඇති දුර රාශි (ලග්න කොටු) ද ගැණගත යුතුය.
ස්‌ත්‍රියගේ ලග්නයේ සිට පුරුෂයාගේ ලග්නයට ඇති දුර රාශි (ලග්න කොටු) හයකට අඩු වුවද ස්‌ත්‍රිය හා පුරුෂයා උපන් ලග්න වලට අධිපති ග්‍රහයින් දෙදෙනා මිත්‍ර ග්‍රහයන් නම් රාශි පොරොන්දම ශුභ සේ සැලකේ. නිදසුනක් වශයෙන් ස්‌ත්‍රිය කන්‍යා ලග්නයේ ද පුරුෂයා තුලා ලග්නයේ ද ලෙස ගනිමු. මෙහි ස්‌ත්‍රිය උපන්a ලග්නයේ සිට පුරුෂයා උපන් ලග්නයට දුර රාශි ( ලග්න කොටු) 2 කි. එය අශුභ වුවද ඉහත කීමට අනුව දෙදෙනාගේ ලග්නාධිපතීන් (ලග්නයට අයිති ග්‍රහයින්) වන බුධ, ශුක්‍ර, මිතුරු ග්‍රහයින් වන නිසා ශුබ ලෙස සැලකේ. චන්ද්‍රයා තැන්පත් රාශිය (ලග්න කොටු) අධිපති ග්‍රහයින් ගැනද මෙසේම බැලිය යුතුය.
පංචාංග ලිත්වල ග්‍රහයින්ගේ මිත්‍ර සම සතුරතා දැක්‌වෙන චක්‍රයකින් ග්‍රහයින්ගේ මිතුරු සතුරු සමාන සබඳතාවන් ගැන ඔබට බලාගත හැකිය. තවද අභුභ සංඛ්‍යාවකට වැටෙතත් එනම් ස්‌ත්‍රි රාශියේ (ලග්නයේ) සිට පුරුෂ රාශියට (ලග්නයට) ඇති දුර රාශි (ලග්න කොටු) හයකට අඩුනම් දෙදෙනාම එකම ග්‍රහයාට අයත් ලග්නයකින් උපත ලදහොත් ඒ ගැන තැකීමක් නොකොට රාශි පොරොන්දම ශුභ බව තීරණය. වේ.
ස්‌ත්‍රිය ස්‌ත්‍රී රාශියකින් (ලග්නයකින්) උපත ලැබීම හා පුරුෂයා පුරුෂ රාශියකින් (ලග්නයකින්) උපත ලැබීම නිසාද දුර ප්‍රමාණය නොසලකා හැර රාශි පොරොන්දම ශුබ ලෙස ගනි. මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ, පුරුෂ රාශි (ලග්න) වන අතර වෘෂභ, කටක, කන්‍යා, වෘෂ්චික, මකර, මීන, ස්‌ත්‍රී රාශි (ලග්න) ලෙස හැඳින්වේ.
දෙදෙනාගේම ලග්න රාශි දෙක හා චන්ද්‍ර රාශි දෙක හා චන්ද්‍ර රාශි දෙක වෙන වෙනම රාශි පොරොන්දම ගැළිපීමේදී බැලිය යුතුයේ. රාශි (ලග්න) යුවළම ගැළපේ නම් ශුභයි, නොඑසේ නම් මධ්‍යස්‌ථ ප්‍රතිඵලය රාශි පොරොන්දම අයහපත් වුවද රාශ්‍යාධිපති (එම ලග්ගනවලට අයිති ග්‍රහයින්) පොරොන්දම ශුභ නම් අශුභය භංග වී යයි.
We found this article from Divaina on 2014/05/18.
