ඉහළට ඔසවා පහළට දමන කාලසර්ප යෝගය

2861
කාලසර්ප
කාලසර්ප

[ratings]

ග්‍රහ තරු ලෙස නොසලකන රාහු-කේතු දෙදෙනාට මැදිවී ග්‍රහලොව සිටින රවි, චන්ද්‍ර, කුජ බුධ, ගුරු ශුක්‍ර, ශනි යන ග්‍රහයින් සිටීමෙන් කාලසර්ප යෝගය යෙදේ. මෑතකදී සොයාගත් යුරේනස්‌, නැප්චුන්, ග්‍රහ තරු දෙකද පලාපල කිරීමේදී යොදා ගත්තත් කාලසර්ප යෝගය පිළිබඳ ඔවුන් ගැන නිශ්චිත හැඳින්වීමක්‌ නැති සෙයකි.

රාහුට අංශක 180 ක්‌ දුරින් කේතු ගමන් කරයි. තාරකා විද්‍යාවට රාහු කේතු ගැන සඳහනක්‌ නැතත් ජෝතිෂ විද්‍යාවට රාහු කේතු බලවත් ග්‍රහයින් දෙදෙනකු ලෙස සලකයි. මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව පැවැත්ම සිදුවේ.

අංශක 180 තුළ කලින් සඳහන් කළ ග්‍රහයින් රාහුටත් කේතුටත් මැදිව සිටින අයකුගේ කේන්ද්‍රයක කාල සර්ප යෝගය උදාවෙයි. මෙම යෝගයේ ඵල දීම, ක්‍රියා කාරිත්වය ඉක්‌මන් වෙයි. උගත්කමින් හෝ බලවත් කමින් හෝ, ධනයෙන්, සැපසම්පත් ආදියෙන් ඉහළට නැග පසුව හනික පහළට පල්ලම් බැසීම කාලසර්ප යෝගයේ ප්‍රතිඵල වේ. ලක්‍ෂණය වේ.

විශේෂයෙන් පවුල් ජීවිතය – විවාහ ජීවිතය නිසරු වන අතර එය කඩාකප්පල් වන්නේය. එසේම කාලසර්ප යෝගය නිසා අවිවාහකව සිටීමටද ඉඩ තිබේ. රාහු කේතු මහ දශා හෝ අතුරු දශා ලබා තිබෙන විට කිසිසේත්ම ශුභ දායක තත්ත්වයක්‌ අපේක්‍ෂා කළ නොහැකිය. තදබල විපත්ති කරදර, නොසන්සුන්කම් ඇතිවේ. රැකියාවක්‌ කරන්නෙ නම් රැකියාව නැති කරයි. ධනයෙන් බලයෙන් සිටියේ නම් ඒ සියල්ල හීන කරයි. විවාහ වී දරු සම්පත් පවා ලැබ සිටියේ නම් විවාහයද කඩා කප්පල් වී දෙදරා, දරුවන් පවා එහාට මෙහාට වෙනස්‌ වීමට ඉඩ සැලසේ. දේශපාලනඥයන්ට වුව කාල සර්ප යෝගය යෙදී ඇත්නම් හා රාහු කේතු දශාවක්‌ හෝ අතුරු දශාවක්‌ යෙදී ඇත්නම් ජය ගැනීම අපහසු වන අතර පරාජය සිදුවීම නොවැළැක්‌විය හැකිය.

මෙම යෝගය යෙදී ඇති තැනැත්තෙකු හෝ තැනැත්තියක ළමා වියේදී ලෙඩ රෝගවලට ගොදුරු වේ. ඇතැම්විට සෙසු ග්‍රහයින්ගේ බලවත්කම් අනුව උසස්‌ අධ්‍යාපනය ලැබ උසස්‌ රැකියාවක හෝ නිරතවීමට පුළුවන. ගේදොර ඉඩකඩම් යාන වාහන හෝ සම්පත් අතින්ද පෝසත් ව සිටියද කාලසර්ප යෝගය ඵලදෙන කාලය ළං වූ විට (මහදශා – අතුරු දශා) යටකී සියල්ල විනාශ වී යනු ඇත. කේන්ද්‍රයේ රාහු 03 වැන්න 06 වැන්න 10 වැන්න සහ අයස්‌ථානය වූ 11 වැන්නේ රාහු සිටීමත් කේතු 09 වැන්නේත්, 12 වැන්නේත් සහ 04,05 වැනි තැන් වලත් සිටීමද නරක නැත. රාහු කේතු 07 වැන්නේ හෝ ලග්නගතව හෝ සිටීම විවාහ දිවිය කිසිසේත් සරු නොකරයි.

රාහු හෝ කේතු පිsහිටා ඇති හඳහනක රාහු සමග හෝ කේතු සමග හෝ තවත් ග්‍රහයෙකු සිටියේ නම් නිවැරැදි අංශක – ගණිත ක්‍රම මගින් සොයා බැලීම වටී. එසේ නැතිව කෙළින්ම කාලසර්ප යෝගය යෙදී ඇතැයි කේන්ද්‍ර හිමියාට/ හිමිකාරියට දැන්වීම නුසුදුසුය.

රාහු 04 ත් කේතු 10 ත් සිටී නම් දේපළ ඉඩකඩම් වැනි වස්‌තුවට අදාළ දේවල් ගැන අර්බුද ප්‍රශ්න ඇතිවේ. එසේම රැකියාව කරන ස්‌ථානයේද, රාජකාරි වලදීද, විවිධ බාධක යෙදේ. දේශපාලනඥයින්ගේ රාහු – කේතු 03 වැන්නේ සහ -9 වැන්නේ සිටීමෙන් පරාජය හෝ සමාජ පිළිගැනීම නොලැබීම ඇති වේ.

කාලසර්ප යෝගය යෙදුන අය විවාහවීමේදී ස්‌ත්‍රී පුරුෂ හදහන් දෙකෙහි එකී යෝගය නැති කරන, භංග කරන තවත් ග්‍රහ පිහිටීම යෙදී තිබේද යන්න විමසුම් කිරීම වටී. විශේෂයෙන් පවුල් ජීවිතය අවුල් තත්ත්වයට පමුණු වන්නේ රාහු 01 ත් කේතු 07 ත් (විවාහ ස්‌ථානය) සිටි විටයි. දික්‌කසාද වීම හෝ විවාහය දෙදරා යාම හෝ බොහෝ විට සිදු වන්නේ 01-07 ස්‌ථානවල රාහු කේතු පිහිටී මෙනි. එසේ නිශ්චිතවම වන්නේ අදාළ ග්‍රහයින්ගේ දශාවලයි.

රාහුගේ හිස නයෙකුගේ මෙන්ම ශරීරය මිනිසෙකුගේ ලෙස සලකයි. රාහුට තැනින් තැන යැමට ඇවිදීමට ඕනෑ කරයි. දුර බැහැර පිටරට ගමන් බිමන් දශා වලදී සිදුවේ. රාහුගේ දශා කාලය වර්ෂ 18 ක්‌ වන අතර කේතුට වර්ෂ 07 කි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here