පිට රට ගමනේ ග්‍රහ බලපෑම්

2072
පිට රට
පිට රට

ශ්‍රී ලංකාවේ වාසය කරන බොහොමයක්‌ දෙනා අතුරෙන් වැඩිපිරිසක්‌ පිටරට රැකියාවල යෙදීසිටීමට කැමැත්ත දක්‌වති. හුදෙක්‌ ඒ පවතින ජීවන බර සැහැල්ලු කර ගැනීමටය. නාගරික සේම පිටිසර තරුණ තරුණියන් වැඩි පිරිසක්‌ පිටරට රැකියා සඳහා යැමට මහත්සේ පොරකති. කොරියාවේ රැකියා අපේක්‍ෂාවෙන් සිටින පිරිස ලක්‍ෂ ගණනකි. මැද පෙරදිග ගෘහ සේවිකා තනතුරු අපේක්‍ෂාවෙන් සිටින තරුණියන් සේම විවාහක කතුන්ද බොහොමයකි. මේ අයගෙන් කාන්තාවන් දරුණු වද හිංසාවලට ලක්‌වී අවසානයේ මරු තුරුලටද ලක්‌වන අවස්‌ථා ගැන අසන්නට දකින්නට ලැබෙන පුවත් අප්‍රමාණය. තවත් විවිධ පිරිස්‌ නීති විරෝධීව, අනවසරයෙන් යැමට පොරකති.

මෙසේ බලාපොරොත්තු සහගතව පසුවන බොහොමයක්‌ දෙනාට පිටරට රක්‍ෂා අවස්‌ථා උදාවන අතර තවත් පිරිසකට සිතු පරිදි ඉටුනොවීම නිසා කරදර වලට භාජන වෙති.

තමන්ගේ ඡන්ම පත්‍රයේ, හඳහනේ, ග්‍රහ පිහිටීම අනුව ඒ ඒ ග්‍රහයන්ගේ බලපෑම් අනුව විදේශ ගමන් බිමන් රැකියා කටයුතු අසාර්ථක – සාර්ථක වීම් ගැන විමසුම් කළ හැකිය. ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ හඳුන්වා ඇති පුදුම සහගත ග්‍රහයන් අතුරෙන් රාහු ප්‍රධාන තැනක්‌ ගනී. ස්‌කන්ධයකින් තොර භූත බලවේගයක්‌ ලෙස රාහුගේ ක්‍රියාත්මක බලය පැතිරෙයි. රාහුගේ බලය අනෙක්‌ ග්‍රහයන්ගේ දෘෂ්ටි – සංයෝග මත තහවුරු කෙරේ. කේන්ද්‍ර සටහනේ 03-06-10-11 වැනි ස්‌ථානයන් රාහුට යහපත්ය. රාහු වෘෂභ, මිථුන රාශිවලදී සේම කන්‍යා රාශියද ශුභ ඵල ලබාදෙයි. රාහු 03 වැන්නේ සිටීමෙන් ගමන් බිමන් අධික වන කාලයකි. 04 වැන්නේ රාහු සිටීමෙන් නිතර ස්‌ථාන මාරු කරමින් පදිංචියේ වෙනස්‌කම් ඇතිකරවයි. එසේම රාහු 12 වැන්නේ වීමෙන් පිටපළාත්වල, දීර්ඝ ගමන් බිමන් විදේශ රටවල ගමන් යෙදීම සිදු වෙයි.

කේන්ද්‍රයේ රාහු සමඟ ගුරු (බ්‍රහස්‌පති) 01-03-04-09-10-11 වැනි ස්‌ථානයක සිටීමෙන්ද – නියමිත දශා කාලය එළැඹීමෙන්ද පිටරට යැමට අවස්‌ථා යෙදේ. මෙම ස්‌ථානය මේෂ, කටක, තුලා, මකර යන රාශියකට අයත්වීම වඩාත් ශුභ ඵල උදාකරයි. පිටරට මුදල් ඉපැයීමට එහි යැමට හැකියාව මින් ලැබේ.

කේන්ද්‍ර සටහනේ 09 වැන්නෙන්ද විදේශ ගමන් ගැන සොයා බැලේ. එසේම 12 වැන්නද ඊට අදාළය. රවි ග්‍රහයා 09 වැන්නේ සිටීනම් හා රවි දශාවක්‌ තුළ විදේශ ගමන් ඇතිවීම නොවැළැක්‌විය හැකිය. එසේම සඳු 09 සිටීමද විදේශ ගමන් යෙදීමට හේතුවක්‌ වෙයි. කේන්ද්‍රයේ මේෂ, කටක, තුලා, මකර යන රාශිවල ග්‍රහයන් යෙදී සිටීමද විදේශගත වීමට තවත් හේතුවකි. නාවික ක්‍ෂේත්‍රයේ රැකියා ලාභ ලැබෙන්නේ කටක ලග්න හිමියන්ගේ සඳු 11 වැන්නේ සිටි විටයි. (වෘෂභ රාශියේ) කේන්ද්‍ර සටහනේ බුධ ග්‍රහයා 05 වැන්නේ නොව 09 වැන්නේ ගුරු සමඟ සිටි විට හෝ ගුරු ලග්නයේ සිටීමෙන් හෝ විදේශ ගත වීමට අවස්‌ථාව උදාවෙයි. මෙම පිහිටීම විශේෂයෙන්ම මිථුන, කටක, කන්‍යා, ධනු මකර, කුම්භ යන රාශියක්‌ වී නම් විදේශ ගමන් වරදින්නේ නැත. එසේම විද්‍යාර්ථීන්ටද, උසස්‌ අධ්‍යාපනය සඳහා යොමුවිය හැකිය.

කේන්ද්‍ර සටහනේ සිව්වැන්න අධිපතියා සහ 09 වැන්න අධිපතියා සංයෝගව සිටීමෙන්ද පිටරට ගමන් රැකියා අවස්‌ථා යෙදෙයි. 09 වැන්න අධිපතියා 10 වැන්නේත් 10 අධිපතියා 09 ත් යෙදීමෙන් විදේශ ගමන් ඇතිකරයි. 09 වැන්න අධිපතියා සමඟ බ්‍රහස්‌පති (ගුරු) සිටීනම් පිටරට හෝ දුරබැහැර ගමන් බිමන් හෝ යෙදෙයි. 09 වැන්න අධිපති ග්‍රහයා රාහු සමඟ සිටීමද විදේශ ගමන්වලට ඉඩකඩ සැලසීමක්‌ වෙයි. රවි 09 සිටීමද විදේශ ගමන්වලට තවත් හේතුවකි. එසේම කේන්ද්‍ර සටහනේ සඳු 09 සිටින විට හා සඳු දශාවන් වලදී නොවරදවා විදේශීය ගමන් යෙදෙනු ඇත.

වන්දනා ගමන් බිමන්වල යෙදීමට සිත් දෙන්නේ සිකුරු 09 වැන්නේ සිටිවිටය. එසේම රාහු 09 සිටීමද වන්දනා ගමන් වලට හේතුවකි.

එසේම කේන්ද්‍ර සටහනේ මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ගේ 02-03-05-09-10-11-12 වැනි ස්‌ථානයක ගුරු රාහු, රවි – රාහු, සඳු – සිකුරු, ගුරු – ශනි ආදීන් සිටීමද පිටරට ගමන් බිමන් වලට හේතුවකි.

රාහු 08 වැන්නේ හෝ වැය ස්‌ථානයේ (12) සිටින කේන්ද්‍ර හිමියන්ගේ රාහු දශාවන් තුළ රවි – කුජ ශනි යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්‌වීමෙන් විදේශගත වූවද එහිදී ඒ ගමින් ඉතාමත් අසාර්ථක අයුරින් කරදර පීඩා වලට ලක්‌විය හැකිය. මේෂ, ධනු, මකර, කුම්භ ලග්න හිමියන්ගේ ලග්නගතව (01) රවි, ශනි, රාහු, කේතු හෝ කුජ සිටීමද පිටරට රැකියා කරන අය අවාසනාවන්ත, කරදර වලට භාජන විය හැකි ප්‍රවණතා වැඩිවේ. පිටරට සේවය කරද්දී ලෙඩ රෝග හෝ මරණය සිදුවන්නේ කේන්ද්‍රයේ 06 වැන්නේ (රෝගස්‌ථානය) පාප ග්‍රහයන් වන රවි-කුජ-ශනි-රාහු-කේතු සිටීමත් ඔවුන්ගේ දශාවක්‌ ලැබීමත් සිදුවීමෙනි. කේතු 09 සිටින කේන්ද්‍ර හිමියන්ට විශේෂයෙන් කේතු දශාවක්‌ තුළදී විදෙස්‌ගත වීමට කොතෙක්‌ උත්සාහ කළත් ඒවා සාර්ථක නොවේ. රාහු මේෂ රාශිගත වූ විට රාහු දශාවකදී දුර බැහැර ගමන් යෙදිය හැකිය.

පිටරට රැකියා අවස්‌ථා අපේක්‍ෂාවෙන් සිටින අය තම අදහස්‌ මුදුන් පමුණුවා ගැනීමට තම ඡන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව කරුණු සොයාබලා තීරණයට එළැඹීම වඩාත් සුදුසුයි.

We found this article from Divaina on 2013/03/01.
Also Sinhala to English Google word to word translation can be found here