ගෙට ගෙවදින විටත් බහිරව පූජාවක් තැබීම සුදුසුයි
බහිරව නාමය ඇසූ සැණින් මතකයට නැගෙන්නේ නිධානයයි. බහිරව නාමය හා නිධානය අතර සම්බන්ධතාවය එකිනෙක වෙන්කළ නොහැකි ලෙස බැදී ඇති බව පෙනේ. මුදල් නිකරුණේ වැයවීම, බඩු බාහිරාදිය අස්‌ථානගතවීම වැනි අවස්‌ථාවලදී බහිරවයා ගත්තා දැයි ජනවහරේ නිතර අසන්නට ලැබේ. එබැවින් වස්‌තුවක් වහාම අස්‌ථානගත කිරීමේ හැකියාව බහිරව දෙවියන් සතු වේ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් බහිරව දෙවියන් පාලනය කරන බව මන්ත්‍ර ශාස්‌ත්‍රයේ සඳහන් වේ.
විශ්වය ඇතුළු ස්‌වභාවික වස්‌තු දෙවියන් සතුකර ඇති බව “ආකාශ, පබ්බත, වන භූමි, තටාක, ගංඟා, මහා සමුද්ද ආරක්‌ඛන දේවතා” යනුවෙන් “ජය පිරිතේ” දී විස්‌තර වේ. පෞරාණික පූජනීය භූමි, වාස්‌තු විද්‍යාවේ ඉදිකිරීම්, පතල් හා භූමිය හා බද්ධ සියලුම දේ විශ්වකර්ම හා බහිරව දෙවියන් සතුව අණසකට යටත්ව, ආරක්‍ෂිතව පවතී. එසේම නිධන් වස්‌තු තැන්පත් කිරීම, ඉවත් කිරීම, වැව්, අමුණු, මාලිගා, පිළිම, දාගැබ් වැනි නිර්මාණ කාර්යයන් ආරම්භ කිරීමේ විශ්වකර්ම හා බහිරව දෙවියන් නැමදීම අතීතයේ සිට පැවැති සිරිතකි. පුදපූජා බාරහාර පැවැත්වීම එම කර්මාන්තයේ යෙදී සිටින්නන්ගේ ආරක්‍ෂාව බාධකයකින් තොරව හා යහපැවැත්මෙන් එම කාර්ය නිමාව තෙක් කරගෙන යැමේ හැකියාව මෙයින් බලාපොරොත්තු වනු ඇත.
දැනට නිමවෙමින් පවතින ශ්‍රී ලංකාවේ විශාල ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කුරුණෑගල රම්බඩගල්ල පිහිටා තිබේ. භාරතයේ ශිල්පීන් විසින් නිර්මාණය කරනු ලබන මෙහි කටයුතු දිනපතා ඇරඹීමට පෙර ඉදිකර ඇති විශේෂ භූමියේ විශ්වකර්ම හා බහිරව දේවතාවුන් වහන්සේලාට පුදපූජා පවත්වනු ලබති.
අතීතයේ රට පාලනය කළ නරපතියන් සතුව රන්, රිදී, මුතු, මැණික් හා වෙනත් වටිනා භාණ්‌ඩ බොහෝ තිබුණි. විදේශීය ආක්‍රමණිකයන්ගෙන් හා සොර සතුරන්ගෙන් පැමිණෙන පැහැර ගැනීම් වලින් මෙම භාණ්‌ඩ ආරක්‍ෂා කර ගැනීමට හා පසුකාලීනව නැවත ලබාගැනීමට සුරක්‍ෂිතව සඟවා තැබීම කාලෝචිත විය. මෙම වස්‌තුව සඟවා තැබීම සඳහා තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොගැවසෙන පාලන ප්‍රදේශයට මායිම්ව පිහිටි ගල්පර්වත, උස් වනභූමි හා ගංගා ආශ්‍රිත ප්‍රදේශ වේ. එදා සිටි නිර්මාණශීලී ගල් වඩුවන් යොදවා සුදුසු ශෛලමය ස්‌ථානවල ගල්කුහර නිර්මාණය කර ඇත. එම කුහර වැසීම සඳහා ගලින් නෙළන ලද පියන් පත්ද සාදා තිබිණි. වස්‌තුව මෙම කුහර තුළ තැන්පත් කිරීමෙන් පසු විශේෂිත බදාමයක් යොදා පියන්පත් නොගැලවෙන සේ වසනු ලැබේ. මෙම කාර්යය නිමවීමෙන් පසු කුහරය වැසූ ස්‌ථානය ගල් පර්වතය හා ස්‌වභාවිකව දර්ශනය වන බැවින් වස්‌තුවක් තැන්පත් කර ඇති බව සොයාගැනීම කිසිසේත් පහසු නොවේ. නිධන් වස්‌තු තැන්පත් කිරීම රහසිගතව සිදුවේ. එම ස්‌ථානයට වස්‌තුව හිමිකරු (නරපති) තැන්පත් කරන්නා, නරබිල්ලක් ලෙස තෝරාගත් පුද්ගලයකු හෝ මරණයට කැපවූ පුද්ගලයකු වධකයා සමඟ එක්‌කරගෙන එති. බහිරවයාට වත් පිළිවෙත් කිරීමෙන් පසු ගල්කුහරයේ වස්‌තුව තැන්පත් කරනු ඇත. මරණයට කැපවූ පුද්ගලයාට එම වස්‌තුව පෙන්වා ඒවා ආරක්‍ෂා කරදෙන ලෙස සැලකරනවාත් සමඟම වධකයා විසින් ඔහුගේ ගෙල සිඳ ක්‍ෂණයකින් ජීවිතක්‍ෂයට පත්කරයි. මෙය බහිරවයාට පුදදෙන නරබිල්ල ලෙස සැලකේ. මරණයට පත්වූ පුද්ගලයා සසර සැරි සැරීමේදී නැවත පුනර්ජන්මය ලබා කෙසේ හෝ නිධන් වස්‌තු තැන්පත් කළ ස්‌ථානයට පැමිණියහොත් එකී වස්‌තුව නිරායාසයෙන්ම ලැබීමට හේතු සාධක ඇතිවන බව පිළිගෙන ඇත.
පුද පූජා
දෙවියෙක්, භූතයෙක් අරක්‌ගත් ස්‌ථානයෙන් පළවා හැරිය නොහැක. කළ යුත්තේ ඔවුන් සතුටු කිරීම සඳහා පුදපූජා, භාරහාර වීම්, යාඥ හා කන්නලව් කිරීම් පමණි. අවශ්‍ය කාරණය ඉටුකර දෙන ලෙස අවංකව, සත්‍ය ලෙස කාලයක් තිස්‌සේ පුරුදු පුහුණු කළ අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් පුද්ගලයකු ඇදුරා ලෙස තෝරාගැනීම සුදුසුය. බදාදා හෝ සෙනසුරාදා දිනයක උදේ හෝ රාත්‍රි කාලය බහිරව ප්‍රජාව සඳහා සුදුසුය. ස්‌ථානය පිරිසිදු කළ යුතුය. අට කොනේ පහන් දැල්විය යුතුය. සුවඳ දුම්දීමද කළ යුතුය. ලී කැබලි වලින් අඩි 2 1/2 පමණ උසට තටුවක් තනා නෙළුම් කොළ අතුරා නෙළුම් මල් විසිඑකක්‌ද තැන්පත් කළ යුතුය. පහනක් දල්වා පෙරසේම සුවඳ දුම් දීමද සිදුකළ යුතුය. බහිරව ගොටුව සඳහා බත් පිසිය යුතුය. හත්මාලුව, ඇට පස්‌වර්ගය බැද ගත යුතුය. මස්, මාළු, බිත්තරයක්‌ද බැද ගොටුවේ තැන්පත් කළ යුතුය. කැවිලි, පලතුරු පහද, මල්වර්ග පහ, සුවඳ කුඩු සියල්ල තිබිය යුතුය.
පළමුව පංච ශීලයේ පිහිටුවා පිරිත් සච්ඡායනා කළ යුතුය. පසුව දේව ස්‌ත්‍රොaත දේව ආරාධනා කිරීම සුදුසුය. මහී කාන්තාව නැමදීම විශ්ව කර්ම හා බහිරව දෙවියන්ට පූජාව කැප කිරීම ශුභයි. බහිරව කන්නලව්ව දැහැන් කියවීම විසි එක් වරක් කියවීම සෑහේ. නිවාස ඉදිකිරීමේ මුල්ගල තබන අවස්‌ථාවේ හෝ සියලු ඉදිකිරීම් කටයුතු අවසානයේ නිවසට පිවිසීමෙන් පසුවද බහිරව පූජාව කිරීම වරදක් නොවේ. බහිරව පූජාවෙන් පසු භූමියේ දෝෂ, භූත දෝෂ ඉවත්වීම, නිවසේ ශ්‍රියාව නිවැසියන්ගේ ශුභවාදී ආකල්ප ඇතිවීම, අනවශ්‍ය වැයවීම දුරුවීම, භූමියේ හා ගෘහයේ ආරක්‍ෂාව පවත්වාගෙන යැමට හැකිවීම, ඇස් වහ කටවහ, හෝව, දුරුවීම යක්‍ෂ, ප්‍රේත, පිශාච හා නවග්‍රහ දෝෂ පහවීම සිදුවේ.
We found this article from Divaina on 2013/07/27.
Also Sinhala to English Google word to word translation can be found here