මංගල පෝරුව සහ එහි චාරිත්‍ර වාරිත්‍ර

2633
මංගල
මංගල

මෙලොව ජීවත්වන සත්ත්වයන් අතරෙන් උසස්‌ මනසක්‌ ඇති සත්වයා මිනිසා නමින් හැඳින්වෙයි. කාලානුරූපව විවිධ වෙනස්‌වීම් වලට ගොදුරු වූ ඔහු නූතනයේදී ශිෂ්ට අශිෂ්ට වශයෙන් දෙකොටසකට වෙන්ව ශිෂ්ට මිනිසා විසින් සිය අනන්‍යතාව පිළිබඳව ඉමහත් ඕනෑකමකින් හා සැලකිලිමත්ව කටයුතු කරන බැව් පෙනී යයි.මේ අනුව මානව සමාජය තුළ පවතින විවිධ ඇදහිලි හා ඒ හා බැඳුන නානාවිධ චාරිත්‍ර අතර විවාහ මංගල්‍යයකදී සිදු කරනු ලබන මංගල පෝරුවේ චාරිත්‍රයට හිමිවන්නේ විශේෂස්‌ථානයකි. මවුපිය වැඩිහිටි ඇල්ම බැල්ම යටතේ නිසි වයසට පත්වන තරුණයකු හා තරුණියක අතර සිදුවන සාම්ප්‍රදායික විවාහයකදී ඔවුන්ගේ ඉදිරි ජීවිත සෞභාග්‍යවත් කරගැනීම සඳහා මෙම චාරිත්‍ර විධි උපයෝගි වන බැව් බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

මංගල පෝරුවේ මෙම සම්ප්‍රදායික චාරිත්‍ර විධි අද සමාජය තුළින් ක්‍රමයෙන් ඈත්වී යැමට පටන්ගෙන ඇති අතර, අත්තනෝමතිකව ඒවා වාණිජකරණයට ගොදුරුවීම නිසා බහු බූත ආදේශකයන් මේවා ගොදුරු කරගෙන ඇති බැව් කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුවී ඇති අතර, සිංහල ජාතියේ අනන්‍යතාව ආරක්‍ෂාවන මෙම චාරිත්‍ර විධි අන්ධ විශ්වාසයන්ගෙන් බැහැරකොට රැක ගැනීම ජාතියේම යුතුකම බැව් සඳහන් කළ යුතුය.

මංගල පෝරුවේ චාරිත්‍රය

මෙම මංගල පෝරුවේ චාරිත්‍රය ඔක්‌කාක රජ සමයේ ආරම්භ වූවක්‌ යෑයි සමහර තැනක සඳහන් වන අතර, ඉන් ඔබ්බට ගිය චාරිත්‍රයක්‌ යෑයි ද සමහරුන්ගේ මතයකි. මහා සම්මත නරපති යටතේ ආරම්භ වූවක්‌ යෑයි තවත් මතයකි. කෙසේ වුවද වර්තමානයේ දී මෙම චාරිත්‍ර විධි ඉටු කිරීමේ දී ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධ වෙනස්‌කම් දැකිය හැකිය. එසේ වුවද මෙහි සමස්‌ත අරමුණ වන්නේ අභිනව දම්පතීන්ගේ යුග දිවිය සෞභාග්‍යවත් කර ගැනීමට ආශිර්වාද කිරීමත් ඥතීන් අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්‌තිමත් කිරීමට ඉවහල් වන කරුණු ඉෂ්ඨ කිරීමත්ය. බෞද්ධ දර්ශනයට අනුව සිදු කරනු ලබන මෙම චාරිත්‍රයේ දී තුණුරුවන් දෙව් බඹුන් ආදීන් සිහිකරමින්, නමස්‌කාර කරමින්, පඬුරු වෙන්කරමින් අවසර ලබාගනී. මින් පෙනී යන්නේ මෙම චාරිත්‍ර විධි වඩාත්ම ඉහත සඳහන් කළ පරිදිම බෞද්ධ දර්ශනයට සමීප වූ බවකි.

මංගල පෝරුව සකස්‌ කිරීම ආරම්භ කිරීම සුබ මුහුර්තයකින්ම කළ යුතු බැව්

“සුපිරි සිදු ලෙස බිමක්‌ කරවා මඟුල් මඩුවට ඔබින මෙන්
සපිරි ගත් දඬු ගෙනත් තනවා මඩුව සුබ දින මොහොතයෙන්
එපිරි බඩබිම ලමින් පෝරුව කරන තැන විමසා සොඳින්
සපිරි කඩතිර උඩුවියන් සහ මල් පහන් වට දල්වමින්”

ආදී වශයෙන් පුරාණ පොත්වල සඳහන්ව ඇත. අතීතයේ දී මංගල පෝරුව සකස්‌ කිරීම සඳහා කුඹුරේ භාවිත කරන පෝරු ලෑල්ලක්‌ද සම්බන්ධ කරගත බැව් සමහර තැනක සඳහන් වේ. එමෙන්ම ජීවගුණයක්‌ ඇති දැව කොටසක්‌ පෝරුවට සම්බන්ධ කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. පලාපෙති, ලියෑවැල්, හංසජෝඩු ආදී මංගල වස්‌තූන්ගෙන් එය අලංකාර කිරීම නිසා මෙහි ඇති ජීවගුණය මනාව පිළිබිඹු වේ. සියලු චාරිත්‍ර වාණිජකරණයට හසුවී ඇති වර්තමානයේ රිජුෙම් වලින් සකස්‌ වූ මංගල පෝරුව ප්ලාස්‌ටික්‌ හා කඩදාසි මල් වලින් වර්ණවත් වී මංගල ජෝඩු රැසකට ආවරණය ලබා දෙමින් කුල කුමරුවකුට හා කුලකුමරියකට තරම් නොවන අරුමෝසම් භාණ්‌ඩයක්‌ බවට පත්වී ඇත.

මංගල පෝරුවේ සිව් කොන පොල් මල් සතරක්‌ තැබිය යුතුය. ලදපස්‌මල්, බුලත්, පඬුරු, කැකුළු සහල් ආදී සෞභාග්‍යය උදාකරන වස්‌තූන් පෝරුවේ තැබිය යුතු අතර නවග්‍රහයන් හා සිව්වරන් දෙවිවරුන් උදෙසා පහන් වෙන්කළ යුතුවෙයි. සශ්‍රීකත්වයේ පිළිබිඹුවක්‌ වන පුන්කලස්‌ සතරක්‌ පෝරුවේ සිව් කොන තැබීමට උපදෙස්‌ දී ඇත. අෂ්ඨික කියන අය වෙනුවෙන් දෙපාර්ශ්වයෙන් බුලත් හුරුලු සහිතව තෑගි තැබීම සමහර ප්‍රදේශවලදී දැකිය හැක. අෂ්ඨක කියන අය තෝරන අයුරු

“උතුන් තෙරුවන් වඳින පන්සිල් රකින ගුණදම් පුරන ඇත්තෝ
බැතින් ගුරුවර දෙමව්පිය හට නිතර බුහුමන් කරන ඇත්තෝ
නිතින් සතහට මෙත් ගුණෙන් යුත් සතර ශිල්පය දැන උගත්තේ
උතුන් සුබ මංගලම් කීමට මෙකී අය රජ තෝර ගත්තෝ”

යනුවෙන් සඳහන්ව ඇත.

පැරණි පොත්වල එසේ සඳහන් වුවද වර්තමානයේ බොහෝ අවස්‌ථාවල මත්පැන්වලින් සප්පායම් වූ මොනවා හෝ යාන් හෑල්ලක්‌ දොඩමින් මෙම පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නන් දක්‌නට ලැබීම අවාසනාවන්ත කාරණයකි. එපමණක්‌ ද නොව නක්‍ෂත්‍ර කරුවකු ලවා සාදවාගනු ලබන සුබ මුහුර්තයන් තුළ පෝරුවට නැංගවීම – බැස්‌සවීම් ආදිය සිදු කළ යුතුව ඇති නමුත් කැමරා කරුවන් සිය කැමරා කාචයට මේවා හසුකරගැනීමට උත්සුක වන අවස්‌ථාවලදී සුබ මුහුර්තයන් ගිලිහීයන අවස්‌ථා බොහෝ විට දැකීමට පිළිවන. එහෙයින් සරුවපිත්තල ආකල්පවලින් බැහැරව යථාර්ථවාදීව අපේ පාරම්පරික චාරිත්‍ර විධි පිළිබඳවත් ඒවා රැකගැනීම පිළිබඳවත් උනන්දු විය යුතු කාලය උදාවී ඇත.

පන්සිල්හි පිහිටුවීම

අෂ්ඨක කියන අය විසින් ප්‍රථමයෙන් පන්සිල්හි පිහිටා රැස්‌ව සිටින පිරිසද පන්සිල්හි පිහිටුවීම මැනවැයි සඳහන්ය. අනතුරුව පෝරුව පිළිබඳවත් මෙම චාරිත්‍රය පිළිබඳවත් විවරණයක්‌ කිරීම බොහෝ අවස්‌ථාවල දී සිදුවෙයි. යුවළ පෝරුවට නැංවීම සඳහා භූම දෙවියන්, සිව්වරන් දෙවියන්, නවග්‍රහයන් ආදීන්ගෙන් අවසරගත යුතුව ඇත. සුබ මුහුර්තය උදාවූ විගස ඇවැස්‌ස මාමාවරුන් දෙපොළ විසින් සිය බෑණා හා ලේලිය දකුණු හා වම් දොරටුවලින් පෝරුවට නැංවීම සිදු කරනු ලබයි. පෝරුවට නැංවීමේ දී

“ලකුණු දැන අප බෝසතානෝ විදුරසුන් පිට වැඩම කරමින්
මෙකුණු සසරෙහි තිබුන කෙලෙසුන් නසා අලුයම බුදු වෙමින්
අකුණු හඬසේ ගර්ජනා කර එවසවතු බිඳ හැරි තෙදින්
දකුණු පය පෙරටුව තබා පෝරුවට ගොඩවෙනු තැනක හරිදැන්”

ආදී වශයෙන් කියමන් කීම අගනේය.

මනාලිය මනාලයාට පැවරීම

යුවළ පෝරුවට නැංවීමෙන් පසුව ඉටු කළ යුතු චාරිත්‍ර රැසක්‌ ඇත. මනාලයා විසින් මනාලියට සුදු පිරුවටයක්‌ අන්දවා කරට සැට්‌ටයක්‌ දැමීම සිදුකරනු දැකිය හැකිය. මෙම සිරිත සමහර ප්‍රදේශවලදී රතුපාට ඇඳුම් කට්‌ටලයක්‌ භාවිතයෙන් සිදුකරනු ලබයි. ඉන් අනතුරුව තැලි පිළි හුවමාරු කරගත යුතුව ඇත. අතපැන් වත්කොට දෙසුලඟිලි හුයෙකින් බන්ධනය කොට මනාලිය මනාලයාට පැවරීමේ කර්තව්‍ය මනාලියගේ පියා විසින් සිදුකළ යුතුව ඇත. අතපැන් වත්කරන අතර දෙසූලඟිලි හුයකින් බැඳීමේදී

“සබ්බේ බුද්ධා බලප්පත්තා…” වැනි කියමන් කීව බැව් යශෝධරා කුමරියගේ හා සිද්ධාර්ථ කුමරුගේ විවාහ මංගල උත්සවය පිළිබඳව කරුණු හැදැරීමේ දී අවබෝධ වේ. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් අහසට අතපොවා එරන් සළුවක්‌ගෙන යශෝධරා කුමරියගේ සිහිනිඟ බඳවා හිස පටන් පාදාන්තය දක්‌වා සර්වා භරණයෙන් සරසා ඊශ්වර මහා රාඡේත්තමයානන්ගේ එරන් කරඬුවේ සඟවා තිබූ දිව්‍ය පිරිත් හුය ගෙන ඔවුන් දෙදෙනා වහන්සේලාගේ දෙසුලැඟිලි බැඳ සහම්පතී නම් මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේගේ එරන්කෙණ්‌ඩියෙන් පැන් ධාරා වත්කොට ඔවුන් දෙදෙනා වහන්සේ අභිවෘධියට පැමිණ වූ බැව් පැරණි පොත්වල සඳහන් කරුණුවලින් අවබෝධ වේ.

මෙම කරුණු ඉටු කිරීමෙන් අනතුරුව පැරණි හත්මුතු පරම්පරාව වශයෙන් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි ආතා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, කිරිකෑ මුත්තා වශයෙන් සඳහන් වන්නන් වෙනුවෙන් බුලත් හුරුලු හත බැගින් දම්පති යුවළ හුවමාරු කරගෙන පෝරුව මත පඬුරු සහිතව හෙලිය යුතු වේ.

මංගල

කිරිකඩ රෙද්ද පිළිගැන්වීම

කිරිකඩ රෙද්ද නොහොත් කිරිකඩ සේලය පිදීමේ චාරිත්‍රයට ද හිමිවන්නේ වැදගත් ස්‌ථානයකි. මනාලයා විසින් බුලත් හුරුල්ලක පඬුරු සහිතව රියන් දොළහක සුදු රෙද්දක්‌ රන් හෙප්පුවක්‌ මත තබා මනාලියගේ මවට පිළිගැන්විය යුතුය. මව විසින් එය පිළිගෙන හිසමත තබාගෙන ගෙතුළට යායුතුය. මේ සඳහා කිරිකඩ රෙද්ද පිළිගැන්වීම පිළිබඳව ජන සාහිත්‍යයේ අගනා කවි පන්තියක්‌ ඇත.

ඉමෙභද්‍ර මහා කප්පේ
සුබ්‍රහමා බ්‍රහ්ම ගාමකේ
ඔක්‌කාක රාජ කාලේන
බ්‍රහ්මාභිශේක පවත්තයි

…. ආදි වශයෙන් පටන් ගනී.

“රනින් කිල්ලෝටෙ යි
ඇමුණු එරන් කෙන්ද යි
රන්ගාපු ගිරය යි
තබා කිරිකඩ රෙද්ද පිදුවයි”

කවි විසි නවයකින් සමන්විත වන මෙම කවි පන්තිය පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ වෙස්‌සන්තර ජාතකයෙහි සඳහන් වන අන්දමට කාලිබැමිණිය විවාහකර දෙන අවස්‌ථාවේ දී ඇගේ මව විසින් දෙන ලද ඔවදන් මෙයට ඇතුළත්කොට ඇති බවකි.

හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ…. යනුවෙන්ද

“දුවණියනි හිමි හට
දෙවියන් ලෙසින් ගරු කොට”
වැනි කියමන් නිසා මෙම කිරිකඩ රෙද්ද පිළිගැන්වීමේ අවස්‌ථාව දීග යන දියණියට ඔවදන් දීමට ද අවස්‌ථාවක්‌ කරගත් බවක්‌ පෙනේ.
මෙම චාරිත්‍ර ඉටුකරන අතරතුර දැඩිමුණ්‌ඩ, සර්වදේව, බිම්බා, ආදී අෂ්ඨකත්, කාලවේලා ඇති පරිදි ශ්‍රී විෂ්ණු ආදී අෂ්ඨක ගායනා කොට නව යුවළට ආසිරි ප්‍රාර්ථනා කළ යුතු වෙයි.

අතීතයේ දී මෙම පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීම සඳහා පැය කීපයක්‌ මිඩංගු කළ අතර, අෂ්ඨක කියන්නන් දෙපාර්ශ්වයකට බෙදී උණුසුම් වාද විවාද ඇති වූ අවස්‌ථා තිබූ බැව් අප අසා ඇත්තෙමු.

කාලානුරූපව නැකත් කරුවන් විසින් නැකැත් සැකසීමේදී පැය භාගයක්‌ වැනි සුළු කාලයක්‌ මෙම චාරිත්‍රය සඳහා වෙන් කරනු ලැබේ. එම සුළු කාලසීමාවේදී පෝරුවේ චාරිත්‍ර නාම මාත්‍රිකව පමණක්‌ සිදු කරනු ලැබීම එම චාරිත්‍රයන්හි අනාගත පැවැත්මට මහත් බාධාවක්‌ බැව් පෙනේ.

මංගල පෝරුවෙන් බැසීම

යුවළ පෝරුවෙන් මිහිතලයට බැසීමට සුබ මුහුර්තය ළංවන විට ඒ සඳහා නියමිත අෂ්ඨක කිව යුතුය. අනතුරුව “රන් පත් පට පඬුරු දළුමුර ඔප්පු දී ජය මංගලම්”…. ආදී කවිද සස ජාතකය තේමා කොටගත් අෂ්ඨක ද භාවිත කිරීම සිදුකරනු ලැබේ. නවයුවළ පෝරුවට නැංවූ ඇවැස්‌ස මාමාලා දෙපළ විසින්ම ඔවුන් මිහිතලයට බැස්‌සවීමේ දී දැල් වූ පහන්තිරය සහිත පොල්ගෙඩිය දෙපලුවනසේ බිඳ එය ගෙයි මුදුන් වහලයට උඩින් විසිකිරීමට කවරෙකු විසින් හෝ සිදුකිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් වර්තමානයේ දී මෙම කටයුතු හෝටල්වල දී සිදු කරනු ලබන බැවින් යථෝක්‌ත චාරිත්‍රය ඒ අයුරින්ම ඉටු කිරීමට අවස්‌ථාවක්‌ නැත.

මිහිතලය මත පා තැබූ නව දම්පතීන් ශාලාවේ ඇති පිත්තල පහන දැල්වීම සිදුකරනු ලබයි. මෙම පහනේ තිර නවයක්‌ නවග්‍රහයන් වෙනුවෙන් වෙන්කර ඇත. මංගල කේක්‌ ගෙඩිය කැපීම යනු අතීතයේ දී ඉඳුල්පතේ කෑමේ චාරිත්‍රය නවීකරණය වූවකි. ඉඳුල්පතට එක්‌කරන කැවිලි අතරට කිරිබත් අනිවර්ය වේ. මෙයින් ගම්‍ය වන්නේ අභිනව දම්පතීන් සිය ඥති සමූහයා බුක්‌ති විඳීම සිදු කරනු ලබන්නේ අනාගතයේ දී ඔවුන් ලබන සියලුම සැප සම්පත් ඔවුනොවුන් බෙදා හදාගෙන බුක්‌තිවිඳින බැව් පෙන්වා දීමක්‌ විය හැක.

මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදිම පුරාණ චාරිත්‍ර-වාරිත්‍ර ක්‍රමානුකූලව පවත්වාගෙන ඒම නිසා සිංහල බෞද්ධ අනන්‍යතාව මත ගොඩනැංවුණ අපේ සංස්‌කෘතිය, ආචාර ධර්ම ආදී යහපත් ගුණාංග අද පවතින නවීන තාක්‍ෂණයේ හේතුවෙන් හා ඊට සමගාමී වූ වාණිජකරණය හේතුවෙන් කෙමෙන් ජාතියෙන් දුරස්‌වී යන්නට පටන්ගෙන ඇත. කුලකුමරියක සිය නිර්මල ජීවිතයේ දී මංගල ඇඳුමකින් සැරසී මංගල පෝරුවකට නැංවීම ජීවිතයේ ප්‍රථම වරටත් අවසාන වරටත් සිදුවිය යුතු බවට පැරණියන් ඇදහූ ඒ සිද්ධාන්තය වර්තමානයේදී යටකී වාණිජකරණය නිසාම කුලකුමරියන් සම්පූර්ණ මංගල ඇඳුමෙන් සරසා පෝරුමස්‌ථකාරූඪ කිරීමේ වෙළෙඳ ප්‍රදර්ශන අද සුලභය. මේ අනුව සිතන විට මංගල රැය ගතකිරීමේ පෙරහුරු ප්‍රදර්ශනද ඉදිරියේ දී පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මේ දුර්වලතා මගහරවාගෙන ක්‍රමානුකූල වූ චාරිත්‍ර ඉටුකිරීම පිළිබඳව විමසිලිමත් වීමට විද්වතුන් පෙරමුණගත යුතුව ඇත.

We found this article from Divaina on 2014/02/16.